බෑංචූන් නැව ගිලුණත්!

මහා ගංවතුරක් අපේ ගේ ඉස්සරහ. වෙල විතරක් නෙවෙයි, හන්දිය, බෝල් පිට්ටනිය, මහ පාර ඔක්කොම යට වෙලා. වෙලත් එක්ක තිබුණු මහ බෝක්කුව පේන්නවත් නෑ. බෝක්කුව ගාව කදුරු ගස්වල අතු ඉති විතරක් පේනවා. ඒ අතු ඉතිවලත් මිනිස්සු නැඟලා. මොකක්ද කරන්නෙ කියල හිතාගන්නවත් බෑ කාටවත්. වැස්ස එක දිගට වැහැලා අඩු කරනවා. පස්සෙ පටන්ගන්නවා ආයෙත්. ඉඩක් දෙන්නෙම නෑ කරන දෙයක් හිතාගන්න.

දණටත් උඩට වතුරේ බැහැගෙන මං ගියා බෝක්කුව ගාවට. මං පීනන්න දන්නෙ නෑ. ඒත් හිතුණා මිනිස්සු ගස් උඩ ඉද්දි මං ගෙදරට වෙලා ඉන්න හොඳ නෑ කියල. මාත් නැග්ගා බෝක්කුව ගාව කදුරු ගහකට. ගහේ තව අතුවල වාඩි වෙලා කට්ටියක්. දන්න කට්ටියක් බලනකොට. හන්දියේ සැලුන් එකේ සුදා, එළවළු කඩේ විජේ, මාළු කඩේ ජිනේ. එතනත් කඩයක් දාලාද කට්ටිය?

“බිස්නස් ඉවරෙටම ඉවරයි මහත්තයෝ!” විජේපාල කිව්වෙ මාව දැකලා.

“බිස්නස් මොනවද! මගේ ගේත් භාගයක් යට.”

ජිනදාස කිව්වෙ ගානක්වත් නැතුව. වැස්සත් නරක නෑ මාළුකාරයන්ට.

ගංවතුරෙත් මාළු ඉන්න පුළුවන්.

“ඉස්සර මේ හන්දිය යට වුණේ නෑ මහත්තයෝ. වැහි හතක් වැස්සත් බිස්නස් කළා අපි. ඒත් දැන් එහෙම නෑ. චුරු චුරු වැස්සටත් යට වෙනවා හන්දිය, බෝල් පිට්ටනිය, රේස් කඩේ ඔක්කොම.”

විජේ කියන්නෙ ඇත්ත. බෝල් පිට්ටනියක් හදන්නෙ නෑනෙ යට වෙන තැනක. රේස් කඩ කොහොමටත් දාන්නෙ නෑ එහෙම තැනක. රේස් දුවන්න බෑනෙ ගංවතුරේ.

“මේකට වගකියන්න ඕනත් මුන්මයි!”

ජිනේ කිව්වෙ සුදා දිහා බලාගෙන. සුදාට ඇහුණද කතාව? ඇහුණා නෑහුණා ගානයි මිනිහා. ඇහුණත් දෙන්න උත්තර තියෙයිද? සැලුන් එක හදලා තියෙන්නෙ වෙල ගොඩ කරලා.

“මට නෑහුණයි කියල හිතන්න එපා. වෙල ගොඩ කළේ වෙලට කුණු ගෙනත් දාන හින්දා උඹලා. මාළු කුණු, එළවළු කුණු, දහජරාව!”

මළ පැනලා සුදාට. උත්තර තිබුණාලු කිතුල් ගහට නැගපු එකාටත්:

“ඇරත් මං විතරද ගොඩ කළේ! ගජනායක රබර් කඩේ, මනුබන්දු දලු කඩේ, ණය උගුල් දාන අමරසිරි ක්ෂුද්‍ර මූල්‍ය කඩේ…. ඔය ඔක්කොම කඩ ගැහුවේ හන්දියේ වෙල් ගොඩ කරලා! කොටින්ම පන්සලේ ලොකු හාමුදුරුවො විෂ්ණු දේවාලෙ ගැහුවේ කොහේද?”

ඒකට උත්තරයක් ආවේ ජිනේගෙන්:

“ඒවා ඔක්කොම කළේ පර්මිට් අරගෙන.”

“පර්මිට්! කොහෙන්ද යකෝ හැල්, වෙල් ගොඩ කරන්න පර්මිට් ගන්නෙ! ඩීඕ ගෑනියි ගොවි නියාමක ගෑනියි ග්‍රාමයායි බලා ඉද්දි ඒවා සිද්ද වුණේ. ගමේ මිනිස්සු ඒජීඒටත් පැමිණිලි කළා. වැඩක් වුණාද!”

නැඟලා නහුතෙට සුදාට. යූටියුබ් සුදා නෙවෙයි මේ. වෙලේ සුදාත් නෙවෙයි. මේ අපේ ගමේ සැලුන් සුදා. ඒත් ඇත්තද මේ කියන්නෙ සුදා?

“ඇත්ත කතාව පර්මිට් එහෙක කතාව නෙවෙයි මහත්තයෝ.! විජේපාල පටන්ගත්තෙ කතාව, මං දිහාට හැරිලා. “වෙල් ගොඩ කරන එකේ අමුතු සූත්තරයක් නෑ. ඉස්සෙල්ලා කන්න හය හතක් වැඩ නොකර අත අරිනවා. පස්සෙ හෙමින් සීරුවේ එතන ගොඩ ගොවිතැන් කරනවා කෘෂිකර්මෙන් අවසර අරගෙන. ගොඩ ගොවිතැන් කිව්වෙ කොහිල, ගහල, හබරල, ඉන්නල, බතල, තම්පලා, මුකුණුවැන්න… පස්සෙ බැරියැ හීන් සීරුවේ එතන ඕන ගහක් කොළක් හිටවගන්න. නැත්නම් ගෙයක්දොරක් හදාගන්න. ඒකත් බැරි නම් පුළුවන් කුඹුර ගොඩ ඉඩමක් කියල හොඳ ගානකට විකුණගන්න. ලෑන්ඩ් සේල් පාරකට යන්නත් පුළුවන්.”

මාව ආංකල් වුණා විජේපාල කිව්ව දෙයින්. හැබෑට එහෙමත් කරනවාද මිනිස්සු?

“දැන් ගොඩකිරීම් නවත්තනවා බොරු මහත්තයෝ. දැන් කරන්න ඕන

ගංවතුර ගලන්න හරියට කාණු දාන එක.”

සුදා ආයෙත් කථා කරනවා. සුදාට අත්දැකීම් තියෙනවා ඒ ගැන. සැලුන් එක ඉස්සරහා කාණුව දැම්මෙත් සුදානෙ, දැන් කාණුවක් හොයාගන්න බැරි වුණත්.

“වෙලා තියෙන්නෙ දැන් කාණුත් වහලා බිල්ඩින් ගහන එක. බිස්නස් පටන්ගන්නෙම කාණු පද්ධති වහගෙන. දැන් බලපන් අර ඉස්පිරිතාලෙ මිනීකුණු කොහෙටද යන්නෙ කියල….”

ඉවර කරන්න ලැබුණෙ නෑ සුදාගේ කතාව. එක පාරටම මහ වැස්සක් ඇදහැලුණා ආයෙත්. කළු කරගෙන මුළු අහසම. යන්න, එන්න තැනක් නෑ කාටවත්. වැස්ස ඉවර වෙනකන් බලා ඉන්නවා ඇරෙන්න තිබුණෙ නෑ විකල්පයක්. බය හිතුණෙ මට මේ ඉන්නෙ අපි ගංවතුරක හින්දා. ගංවතුරෙත් ගහක් උඩ! වතුර මට්ටම වැඩි වුණොත් කදුරු ගහත් වතුර යට! මොකක්ද කරන්නෙ දැන්! සර්වාංගය මගේ සහළවන්න වුණා. පීනන්නවත් පුළුවන්ද අඩු තරමේ මට! මොන හෙණ ගෙඩියක්ද පාත් වුණේ මේ! ජීවිතං අනියතං මරණං නියතං!

ජීවිත ආසාව අතහැරලා බයේ ගැහි ගැහී ඉන්දැද්දි දෙයියන්ට ඔප්පු වෙච්චාවේ! වැස්ස නැවතුණා එක පාරටම. වැස්ස වලාහකයා වැහි වළාකුළු තුරුල් කරගත්තා වගෙයි දුක දැකලා අපේ. ඒත් අන්න ඒ වෙලාවේ අපි දැක්කෙ උතුරපු වෙල් යායෙ අමුතුම දසුනක්. මහ පිරිසක් වෙලේ ඔරු පදිනවා. තරුණ – නාකි කියල නෑ. ගෑනු – පිරිමි කියල නෑ. හැම ජාතියෙම මහ පිරිසක් ඔරු – පාරුවල නැඟලා එහේ මෙහේ හබල් ගහනවා. සිංදු කියනවා. නටනවා. සමහරු පෙනුණා අඩි ගහනවා. කුඩු ගහනවා. අයිස් ගහනවා. ගහලා නතර වෙන්නෙ නෑ. එක එකාට කුණුහබ්බෙන් බණිනවා. සරම් උස්සගෙන ගහගන්න කථා කරනවා. ගන්නම දෙයක් නැත්තෙ භාෂාව ඔවුන්ගේ. එකක් නෙවෙයි, භාෂා ගොඩයි. සිංහල, ඉංගිරිසි, දෙමළ මොන භාෂාවෙන් කථා කළත් සභ්‍යකමක් නෑ එක භාෂාවකවත්. ඉගෙන ගන්න ඕන නම් කුණුහබ්බ මොන භාෂාවෙන් හරි මෙන්න කියාපු තැන. මෙහෙම එක තැනයි දන්නෙ මං. කියන්න ඕන නෑනෙ අමුතුවෙන් ඒක.

මළ විකාර බලන් ඉඳලා ඇති තැන මං බැලුවා දන්න කියන මිනිහෙක්වත් ඉන්නවාද කියල මෙතන. මං ආංකල් වුණේ එතකොට දැකපු දෙයින්. දෙයියෝ සාක්කි! මේ ඉන්නෙ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා නේද! මෙහෙත් එහෙමයි. එහෙත් මෙහෙමයි. කවුද මේ? රත්තරන් ඇමැතිතුමා, මිරිස් ඇමැතිතුමා, පස් – වැලි ඇමැතිතුමා, වෙල්ලස්සේ මෝඩ චූන් ඇමැතිතුමා, මාළු ඇමැතිතුමා, ධම්මික පැණි ඇමැතිතුමී, හිටන් මන්ත්‍රීතුමා, නිල් බළකා මන්ත්‍රීතුමා, පඤ්චායුද මන්ත්‍රීතුමා, වම්බටු මන්ත්‍රීතුමා, පඩි පෙළේ නීතිඥතුමා, දෙමළ කොටි මන්ත්‍රීතුමා, ෆෙඩරල් මන්ත්‍රීතුමා”… මොන විස්මයක්ද මේ! විස්මය දෙපිටින් ගියේ තව තව ලොකු කට්ටිය ඉන්නවා දැක්කාම එතන. බස් මාමා, වෙන්ඩ ජනාධිපති මාමා, වෙන්ඩ අගමැති නැන්දා විතරක් නෙවෙයි, වෙලා ඉන්න ජනාධිපති බාප්පාත් හිටියා එතන.

විස්මයෙන් මුසපත් වෙලා මං කන්දුන්නා කියවා ගන්නෙ මොනවාද කියල මොවුන්. මට මුලින්ම ඇහුණෙ බස් මාමා කියපුවා:

“තමුන්නාන්සේලා දන්නවා ඇති, යහපාලන කාලයේ මං තිස්සමහාරාමයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි උදා ගම්මානයක් විවෘත කළා. දැන් කවුරුවත් විරුද්ධ වෙන්න එපා, මං මෙතනට යෝජනාවක් ගේනවා ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදිය යුතුයි කියල.”

තේරුණේ නෑ මට බස් මාමා ගෙනාපු යෝජනාව. ඉන්දියාවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි ලංකාවේ පිහිටුවලාද කියල විතරයි තේරුණේ. ඔව්, ලංකාව ඉන්දියාවේ පිහිටුවලාද දන්නෙත් නෑ. ලංකාව ඉන්දියාවේ කෑල්ලක් නිසා එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඉන් පස්සෙ ඇහුණෙ මට වෙන්ඩ ජනාධිපති කියන කතාව:

“ඔය කවුරුවත් මැතිවරණ කල්දාන්න ලෑස්ති වෙන්න එපා. ඒවා කළේ ඉස්සර. දැන් ඒවා බෑ. අරගල කරන්න සූදානම් ජනතාව ඕන වෙලාවක පාරට බැහැලා. ඒ වගේම බල කරනවා අපි අර ගුරුවරුන්ට දෙන්න කියල තුනෙන් දෙක. නොදුන්නොත් ගන්න හැටිත් දන්නවා අපි.”

වෙන්ඩ ජනපති කියපුවා තේරුණා වචනයක් නෑර මට. මොකද හරි සරලයි භාෂාව. හරි සරලයි! සරල නැත්තෙ ඒවා කියන විලාසේ. කෙමනෙන් බැරි නම් කරකෙන්! වෙන්ඩ අගමැතිතුමීගේ භාෂාව නම් සිංහලත් නෙවෙයි, දෙමළත් නෙවෙයි. ඒ හින්දා මං ඇහුන්කම් දුන්නා දැන් ජනාධිපතිතුමාගේ කතාවට:

“මතක තියාගන්න තවම රට බංකොලොත්. මැතිවරණවලට යනවා කියන්නෙ තවත් අපි බංකොලොත්කමේ කරවටක් ගිලෙන එක. ඒත් මං කල්දාන්නෙ නෑ මොකවත්. මට ඕන ඉක්මනටම 2048 ට යන්න. ඒත් ඊට කලින් අපි රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන්න ඕන. ගෝලීය ආර්ථිකයේ නව ප්‍රතිලාභ රටට එන විධියට අපි අධ්‍යාපනයේ, චින්තනයේ, සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණ ඇති කරන්න ඕන.”

ජනාධිපතිතුමා කියපුවාත් තේරුණා මට. තේරුණා. හැබැයි ටිකයි. පුදුම හිතුණෙ මට මේ කතාබතා මැද්දෙ කට්ටිය ගංවතුරේ බෑංචූන් ගහන හැටි දැක්කාම.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment