අරගලයක්!

එයාපෝට් එකට ගියේ මං යාළුවෙක්ගේ යාළුවෙක් රට ඉඳලා එනවා කියල බිරිඳ කිව්ව හින්දා. යාළුවෙක්ගෙ යාළුවා මල්ලිගෙ යාළුවෙක්ද? මල්ලිගේ නෙවෙයි, අයියාගේ යාළුවෙක්වත් එයාපෝට් එකට ආවේ නෑ. බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන වාඩි වුණා මං එතන තිබුණු පෝටරයෙකුගේ ඩක්කුවකට. බයද? බය වෙන්න එපා! පෝටර් මහත්තයා ඇවිත් නෑ තවම වැඩට. එයා එයාටම ගහගෙන ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලාලු. මිරිස් කොච්චර සැරද! ඩක්කුවේ වාඩි වෙලා ටික වෙලාවක් ඉද්දි ඇහුණා මට ෆ්ලයිට් එක සිංගප්පූරුවෙන් මත්තලට ඇවිල්ලා, එතනින් මෙතනට එන්නයි පරක්කුව කියල කියනවා. පොඩි පරක්කුවකුත් නෙවෙයි, පැය 24 ක පරක්කුවක්ලු. ඇත්තක්ද හැබෑට ඒක? ඇත්ත බව පෙනුණා වටපිටේ කට්ටිය කියපුවා ඇහුවාම. සිංහලෙන් නෙවෙයි, සුද්ද සිංහලෙන්:

“මුන්ට ඕන මේකත් විකුණන තත්ත්වෙට පත් කරන්න. ඒකනෙ මේවා මිනිස්සුන්ට එපා කරවන්නෙ, පරයො!”

ආපහු මං ගෙදර එන්න හැරෙද්දි ඇහුණෙ ඔන්න, දැන් ෆ්ලයිට් එක ආවා කියල නිවේදනය කරනවා. නිවන් ගියා වගේ වුණා මට. නැත්නම් ගෙදර යන්නෙ කොහොමද මං හිස් අතින්! ඒත් අලුත් ෆ්ලයිට් එකේ සෙනඟ එළියට එද්දි දැනගන්න ලැබුණෙ ඒ සිංගප්පූරු යානයේ කට්ටිය නෙවෙයි, ඇමෙරිකාවෙන් ආපු යානයේ කට්ටියක් කියල. ආයේ අපේක්ෂා භංග වෙලා ගෙදර යන්න හැරෙද්දි ඒ පාර මහ සෙනඟක් පොදිකනවා එයාපෝට් මගී පර්යන්තයේ. කට්ටියක් එතන කට්ටියකට ටොකු අනිනවා! තව කට්ටියක් හූ කියනවා. තවත් කට්ටියක් සුද්ද සිංහලෙන් කෑගහනවා. කවුද මේ කලබල කරන කට්ටිය? හැබෑට කවුද මේ?

“කවුරුවත් නෙවෙයි, පරාජිතයො ගෙදර ඇවිත්!”

ඒ කතාව කවුද කිව්වෙ? කිව්ව කෙනා සොයාගන්න කලින් මගේ ඇස් ඉදිරිපිට ප්‍රාදූර්භූත වුණේ අපේ ක්‍රිකට් ටීම් එකේ කළමනාකාරතුමා. හලංගොඩ මහත්තයා. එතුමා කවුරුවත් බලාපොරොත්තු නොවුණු විධියට මං කලින් වාඩි වෙලා හිටපු ඩක්කුව උඩට නැග්ගා. නැඟලා කතාවක් පැවැත්තුවා එතන මහ සෙනඟට:

“ආයුබෝවන් මිත්‍රවරුනි, මේ කතාව මං කරන්න නෙවෙයි හිටියේ. ඒත් ඒක කරන්න වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් අපි වර්ල්ඩ් කප් හතරක ෆයිනල් ඇවිල්ලා තියෙනවා. තව වර්ල්ඩ් කප් දෙකක් උස්සලා තියෙනවා. තවත් ඒවා උස්සලා බිම තියල තියෙනවා. අපි කවදාවත් මේ විධියට මූලික වටයෙන්ම පැරදිලා ගෙදර එන්න හිටපු කට්ටියක් නෙවෙයි. ඉතින් මේක අපටත් දුක අවස්ථාවක්. දුකයි ගොඩක්! හුඟක්ම දුකයි!!!!”

හලංගොඩ මහත්තයා කතාව නතර කළා මොහොතක්. එයාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා පෙනුණා ටිකක්. පස්සෙ කඳුළු පිහදාලා ලේන්සුවකින් ආයෙ කථා කළා:

“මං ඉල්ලන්නෙ මෙච්චරයි, මේ ළමයින්ට කිසි කරදරයක් කරන්න එපා. මෙයාලට දහිරිය දෙන්න. මෙයාලට හරි මහන්සියි. කවදාවත් මේ කට්ටිය මීට කලින් ඇමෙරිකාවට ගිහින් තිබිලා නෑ. ඇත්ත වශයෙන් මාත් ගිහින් නෑ. ඒ හින්දා මෙයාලට සීතල උහුලන්න බැරි වුණා ඇමෙරිකාවේ. ට්‍රැෆික් එකෙත් පැය ගාණක් හිටියා මෙයාලා. ඒත් අර කියපුවා ඇත්ත. අපට පිට්ටනි හතරක පුරුදු වෙන්න දාලා තිබුණා. පිට්ටනියේ ඉඳලා හෝටලේට දුර කිලෝමීටර් නවදාහකට වැඩියි. පැය එකහමාරක් අපට මඟට කාලය ගියා. ඒකටත් ක්‍රිකට් පරිපාලනේට දොස් කියන්න ලෑස්ති නෑ මං. ඒකට වගකියන්න ඕන කවුරුවත් නෙවෙයි, අන්න අර චීනෙටත් නැති ඇමෙරිකාවටත් නැති චං. චංගුමී නෙවෙයි. ජූලි චං. හැබැයි එයා මේක ඉන්දියාවට කළේ නෑ. අපටම කළා. කුසල්ට වීසා දෙන්න එයා දවස් දහයකටත් වඩා පරක්කු කළා! ඒවා ක්‍රීඩකයන්ගේ වැරදි නෙවෙයි.”

හලංගොඩ මහත්තයා කතාව නතර කළා ආයෙත්. මහන්සි පාටක් තිබුණා එයාට. වතුර උගුරක් බීලා පපුව අත ගගා හිටියා එයා. ෆිට්නස් ඕන ක්‍රීඩකයන්ට විතරද? කළමනාකාරයාට ඕන නැද්ද? අර බුලත්විට කන සිල්වවුඩ් සුද්දාට ඕන නැද්ද? පරිපාලනයේ ඉන්න ෂුගර් ඩැඩීලාට ඕන නැද්ද?

“එතකොට ලොක්කා, මොකද අර ක්‍රීඩකයො හෝටලෙන් එළියට ගියා කියන්නෙ?”

කවුද ඒ කෑගැහුවේ? ඇත්ත වශයෙන් මහ සෙනඟක් රැස් වෙලා මේ වෙද්දි එයාපෝට් ග්‍රවුන්ඩ් එකට. ග්‍රවුන්ඩ් නෙවෙයි, ලොබියට වෙන්න ඕන. ප්‍රශ්න අහන මිනිහා හොයන්න බෑ සෙනඟ මැද්දෙ. ප්‍රශ්නෙට උත්තර දෙනවාද එයා? කඩඉම් ප්‍රශ්නයක් වගේ පේන්නෙ. හලංගොඩ මහත්තයා නැග්ගා ආයෙත් ඩක්කුව උඩට. කථා කළේ සිරසෙ මයික් එකට:

“හෝටලෙන් කට්ටියක් එළියට ගියා තමයි. ඒත් මැච් එක පටන්ගන්න කලින් උදේ ඔක්කොම ක්‍රීඩකයො පිට්ටනියට ආවා. වැදගත් වෙන්නෙ පිට්ටනියට ඇවිත් ක්‍රිකට් ගහන එකද? නැත්නම් හෝටලේ ඉඳන් බියර් ගහන එකද?”

“එතකොට මොකක්ද ඒ කරන චෝදනාව?”

තවත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. උත්තර දුන්නෙ ඒකට ෂම්මි මහත්තයා. ෂම්මිත් ඉඳලාද මෙතන?

“හිටපු එක්කෙනා මේ චෝදනාව කළාට පස්සෙ මං මේ සිද්ධිය හොඳට හොයලා බැලුවා. මේකයි වෙලා තියෙන්නෙ එතන. අපේ ළමයින්ට එදා හෝටලෙන් දුන්නු කෑම කන්න බැරි වෙලා. අන්තිම සවුත්තු වෙලා ඇමෙරිකාවේ කෑම බීම. ඉතින් අපේ කට්ටියට ඕන වෙලා පුරුදු විධියට පොඩි කොත්තු පාරක් දාගන්න. ඉතින් ළමයි හෝටලෙන් එළියට බැහැලා කොත්තු ගන්න නිව්යෝක් නුවර වීදියක් වීදියක් ගාණෙ ඇවිදලා. ඒත් කිසි කඩේක කොත්තු තිබිලා නෑ. ඊළඟට ෆ්‍රයිඩ් රයිස් බලලා. ලම්ප් රයිස් බලලා. නාසිගුරානි බලලා. කිසිම දෙයක් හොයාගන්න ලැබිලා නෑ. නිව්යෝක් නුවර කොත්තු කඩ, රයිස් කඩ නෑ කියල ළමයින්ට තේරිලා තියෙන්නෙ ඔවුන් සෑහෙන වෙලාවක් පාරේ රස්තියාදු වුණාට පස්සෙ. ඉතින් ළමයි අන්තිමේ එහේ තිබුණු එකම කඩේ වන නයිට් ක්ලබ් එකකට ගිහින් කන්න තිබුණු ඒවා කාලා පාන්දර ග්‍රවුන්ඩ් එකටම ඇවිත් තියෙනවා.”

ෂම්මිගේ කතාවට බාධා වුණේ සෙනඟෙන් නැඟුණු අමතර ප්‍රශ්නයකින්:

“එතකොට අපි බංගලින්ට පැරදුණේ කොහොමද?”

ඒකට උත්තර දුන්නෙ නවීඩ්. නවීඩ් නවාස්. බංගලින්ට වැඩක් කරපු අපට වැඩක් කළාද නොකළාද කියල හාවක් හූවක් නැති පුහුණුකාරතුමා:

“අපට ප්‍රශ්නෙ තිබුණෙ බැටින්වල විතරයි. බෝලින් සුපර්බ්. බැටින් අපට බැරි වුණේ ඇයි? ඒකට උත්තරේ දැන් මෙතන කියවුණා. ක්‍රීඩකයො එළිවෙනකන් පාරවල්වල ඇවිදලා කොහොමද ළමයි ග්‍රවුන්ඩ් එකේ හොඳට සෙල්ලම් කරන්නෙ!”

නවාස් තව කථා කරන්න හදද්දි හලංගොඩ ටිකක් සැලුණා. ක්‍රීඩකයො හෝටලේ තියාගැනීම එයාගෙත් වගකීමක්. ඒත් සෙනඟ ආයෙත් නොසන්සුන් වෙලා කෑගැහුවා:

“අපට කැප්ටන්ගෙනුත් උත්තරයක් ඕන කරනවා? එයාට චෝදනා ගොඩක් තියෙනවා.”

ඒ ගෝරනාඩුව කළේ බෙල්ලෙ ඇත්දලක් එල්ල ගෙන හිටපු චණ්ඩියෙක් වගේ කෙනෙක්. හිටං වගේ මොනවායෙන් මොනවා කරයිද කියල හිතන්න බැරි බුවෙක්. ඒත් උත්තරේ ආවේ එයාට වනිඳුගෙන් නෙවෙයි, කණ්ඩම්බිගෙන්. පිතිකරණ පුහුණුකාරයාගෙන්.

“ඇත්තටම වනිඳු මේ වෙලාවේ ඉන්නෙ උණ ගැනිලා. නිව්යෝක්වල හීතලට එයාට ටිකක් උණ ගත්තා. කොවිඩ් 19 කියල අපි මුලින් සැක කළේ. පස්සෙ පරීක්ෂණයකින් හෙළි වුණා ඒක කොවිඩ් නෙවෙයි, මී උණ කියල. ඒ හින්දයි එයා පහුගිය ටිකේ මාධ්‍යයටවත් කථා කරන්න නොආවේ. දැනටත් එයා ඉන්නෙ වෙව්ල වෙව්ලා.”

සෙනඟ ටිකක් සන්සුන් වුණා කණ්ඩම්බි කියපු දේට. ඒත් ඊළඟ මොහොතේ සන්සුන්කම බිඳුණා බිම අතෑරුණු තීන්ත කූඩුව වගේ:

“නෑ, අපට වනිඳුගෙන් උත්තර ඕනා. එහෙම නැත්නම් මෙතන කවුරුවත් ගෙවල්වලට යනවා බොරු!”

තර්ජනයක් නේද ඒ? සහලවලා ගියා මාව. හැබෑට මෙතන ඉඳලා තියෙන්නෙ ක්‍රිකට් ප්‍රේක්ෂකයොද? අරගලකාරයෝද! මට තේරුණා ලොකු අවුලක මං පැටලිලා ඉන්නෙ කියල. මෙහෙම තැනකටද මං ආවේ කියල හිතුණා. බිරින්දෑ යාළුවෙක්ගේ යාළුවෙක් කතාවක් දාලා පටලලාද මාව උගුලක? නැත්නම් මං එයාපෝට් එකක් දැකලා නෑ කියල මාව එව්වාද මෙතනට? හිත හිතා ඉන්න දෙයක් නෑ. ආපහු යන්නයි ඕන. ඒත් කොහොමද ආපහු යන්නෙ? සෙනඟ නිසා කරන්න බෑ මොනවත්. තත්ත්වය පාලනය කරන්න ගුවන්තොටුපළ ආරක්ෂක භටයන්ටවත් ළං වෙන්න බෑ. ඉතින් මොකද වෙන්නෙ?

අන්තිමේ අරගලකාරයන්ගේ බල කිරිල්ලට ආවා කැප්ටන් එළියට. කිව්වා වගේ වනිඳු හිටියේ ගැහි ගැහී. ගැහි ගැහීම එයා ඩක්කුව උඩට නැග්ගා:

“මුලින්ම මං අපේ පැරදීමේ වගකීම භාර ගන්නවා. ඒත් මට කියන්න දෙයක් තියෙනවා. මං කැප්ටන්කම භාර ගනිද්දි ටීම් එකේ තිබුණෙ ලොකු අවුලක්. මට ඕන වුණේ අර්ජුන සර් වගේ ටිකක් හයිය පෙන්නලා අපි කාටවත් යටත් නෑ කියල පෙන්නන්න. ඒකයි මං මට ඕන ටීම් එක නොදුන්නොත් ඇමෙරිකාවට යන්න බෑ කිව්වෙ. ඒත් දැන් මට තේරෙනවා හැමෝටම අර්ජුනලා වෙන්න බෑ කියල. අන්තිමේ මං එකක් කියන්න කැමතියි. මං ආයේ කැප්ටන්කමේ ඉන්නෙ නෑ. මං ඒක ආපහු දසුන්ටම භාර දෙනවා. චාමිකට ටීම් එකේ ඉඩක් නැත්නම් මං අයින් වෙලා එයාට ඉඩ හදලා දෙන්න ලෑස්තියි.”

වනිඳු කතාව කරලා ඩක්කුවෙන් බහිද්දි සෙනඟ මීයට පිම්බාක් වගේ නිශ්ශබ්ද වුණා. ඒත් ඊළඟ මොහොතේ කනේ කරාබු දාගත්තු, මුහුණ පුරා රැවුල් වවා ගත්තු අරගලකාරයෙක් වගේ කෙනෙක් ඩක්කුවට නැඟලා තර්ජනාංගුලිය දිගු කළා මෙහෙම:

“ඔයා අපට කැප්ටන්කමේ හිටියත් එකයි. නැතත් එකයි. ඒත් මින් මනතට කණ්ඩායමට එන ක්‍රීඩකයො තීරණය කරන්නෙත් කැප්ටන්කම තීරණය කරන්නෙත් ක්‍රීඩකයන්ට කරන ගෙවීම් තීරණය කරන්නෙත් කවුරුවත් නෙවෙයි, අපියි. ඒක දැන්ම කරන්නෙ නෑ. ඡන්දෙන් පස්සෙ අපි ඒක බලා ගම්මු! ඡන්දෙන් පස්සෙ එයාපෝට් එකට වෙන දේත් අපි ඒ එක්කම බලා ගම්මු!”

අරගලකාරයා වේදිකාවෙන් බැස්සා විතරයි, මහ හඬින් රතිඤ්ඤා සද්දයක් ඇහුණා. පිරිසත් විසිරිලා ගියා අසුරු සැණින්.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment