ආදර අන්දරය!

කාලෙකට පස්සෙ මගේ ජේලර් මිත්‍රයෙක් හම්බුණා. “වැඩක් තියෙනවා ඉරිදා දිහාවේ එන්න පුළුවන් නම්?” කතාව අතරේ මිත්‍රයා විමසුවා. මිතුරු ඇසුර නොකළා වුණත් වැඩේ ගැන ඇහුවා මං.

“බන්ධනාගාරේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. උඹට තියෙන්නෙ ඇවිත් මැච් එක වාර්තා කරන එක.”

ක්‍රිකට් දැන් බලන්නෙ නැති බව පැවසුවා මං මිත්‍රයාට. සනත්, කළු ගහන කාලෙනෙ ක්‍රිකට් තිබුණෙ. දැන් මොන ක්‍රිකට්ද! ඉන්දියන්කාරයො ජෝගි නටන එල්පීඑල් සූදුව ඇරුණාම.

“මේක එසේ මෙසේ මැච් එකක් නෙවෙයි බං. හිරකාරයො ගහන මැච් එකක්.”

ඒ කතාවට ඇවිස්සුණා මගේ කුතුහලය ටිකක්. හැබෑට ඒවා නේද ක්‍රිකට් මැච්? එළියේ ගහපු ගේම් ඇතුළෙත් ගහන හිරකාරයො ක්‍රිකට් ගහද්දි කොහොම හිටීද! මං ඉතින් පහුගිය ඉරිදා හිරේ ගියා. එක හිරේකින් තව හිරේකට ගියා.

සංගක්කාරත් ඇවිල්ලා හිටියා මැච් එක බලන්න හිරගෙදරට. මහේල නම් ඇවිත් හිටියේ නෑ. එයා හිටියේ ඉන්දියාවේ. මුම්බායි ඉන්ඩියන්ස්ලාව පුහුණු කරනවා එයා. මං බැලුවා ඩිල්ෂාන්. ඩිල්ෂානුත් නෑ. එයා මොනවාද බෝල සෙල්ලමක් අලුතින් හඳුන්නලා දෙන්න වන් ගෝල්ෆේස් ගිහින්. මාවනුත් හිටියා නම් හොඳයි. අන්න පොරවල්. දැක්කානෙ සිරසෙ කථා කරපුවා. මාවන් අයියා, දාන්න පහක්!!!

පැවිලියන් තිබුණෙ නෑ හිරගෙදර. පඩිපෙළේ ඉඳන් අපි මැච් එක බැලුවෙ. වෙලේ සුදා දාපු බෝල් තමයි හොල්මන්. හොඳටම බැට් කළේ හරක් කටා. එක ටීම් එකක් කිව්වා අපේ ප්‍රධාන පිතිකරුවො දෙන්නෙක් නැති හින්දා අමතර ක්‍රීඩකයො තුන් දෙනෙක් ඒගොල්ලන්ට දෙන්න කියල. ක්‍රිකට් නීති වෙනස් කරන්න පුළුවනැයි හිරකාරයන්ට! මං ඇහුවා කවුද ඒ සුපිරි පිතිකරුවො දෙන්නා කියල. එක් කෙනෙක් කංජිපානි ඉම්රාන්ලු. අනෙකා ජූඩ් සමන්තලු – ඒ කිව්වෙ හිටන් ඇමරිකාවට යවපු එක්කෙනා. ඇත්ත වශයෙන් ඒක හරි. කංජිපානිගේ තියෙන්නෙ ක්‍රිකට් ඇඟක්. ජූඩ් සමන්තගෙ වුණත් එහෙම තමයි. බාගවිට ජූඩ් ඇමෙරිකන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගහනවාද දන්නෙ නෑ. රතන හිමියොත් හිටියා නම් ඇමරිකාවේ මිනිහා එහෙට ගහනවා සිකුරුයි.

මැච් එක බත් කන්න නතර කරපු වෙලේ මං කල්පනා කළා හිරකාරයො එක්ක ටිකක් කථා කරන්න. සංගා එක්ක කථා කරන්න බැරියැ ඕන වෙලාවක. එහෙමත් බෑ. සංගලා අල්ලන්න පුළුවන් අපට නෙවෙයි, ඉන්දියන්කාරයන්ට. අපට පුළුවන් ඔය පාලිත පෙරේරලා, ප්‍රේමසරලා එක්ක කථා කරන්න විතරයි.

මං ටිකක් හිරගෙදර වටපිටේ ඇවිද ඇවිද ගියා. ඇත්ත වශයෙන් ඒකත් වෙනම රටක්. වාට්ටු, ඉස්පිරිතාල, කාමර, ඒසී කාමර, කාර්යාල, කන්තෝරු, කැන්ටින්, සමුපකාර, පොලීසි, වැඩපොළවල්, සෙල්ලම් පිට්ටනි, ක්‍රීඩාගාර, ළමා නිවාස විතරක් නෙවෙයි, ටෙලිවිෂන්, ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, මොබයිල් ෆෝන්, වයිෆයි, ඔන්ලයින් සූම් පවා එතන තියෙනවා. ඔය දේවල් බල බල යද්දි එකපාරටම මං දැක්කෙ සුන්දර දසුනක්. කපල් එකක් මැයි මාර ගහක් යට අත්පටලාගෙන ප්‍රේම කරනවා. හිරකාරයෝත් මනුෂ්‍යයෝය. ඔවුන්ටත් නැද්ද ලව් කරන්න වරම්! ඇරත් තරුණ ජීවිත නිකන්ම ගෙවිලා යන්න දෙන්න හොඳද හිරේ ගියා කියල!

මට හිතුණා ටිකක් කථා කරන්න කපල් එක එක්ක. එළියේ ප්‍රේමයයි ඇතුළෙ ප්‍රේමයයි දෙකක් වෙන්නත් බැරි නෑනෙ. මං ළඟට ගිහින් “සමාවෙන්න! පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද?” කියල හිනාවෙලා වාඩි වුණා ගල් බංකුවක් උඩ.

“කොහොමද ඉතින් මෙහේ වාසදේසෙ?” මං මුල පිරුවේ තරුණයාගෙන්. හත්වලාමේ! තරුණයාගේ මුහුණ බැලුවාම මාව ගැස්සිලා ගියා. මගේ ඉස්සරහා හිටියේ දුමින්ද. රෙනෝගෙ මල්ලි දුමින්ද. වාඩි වෙච්ච තැනින් නැඟිටින්නත් පමා වැඩියි දැන්.

“තමුන්නාන්සෙ පත්තරේට දාන්න නම් ලෑස්ති වෙන්න එපා මෙතන ඒවා!”

දුමින්ද සිල්වා මහත්තයාගේ දබර ඇඟිල්ල මං දිහාට උලුක් වුණා. ඒකට කටේ කෙළ හිඳුණා මගේ. කථා කරන්න බැරිව ඉන්දැද්දි මං දුමින්ද කථා කළා.

“කමක් නෑ. දැන් මොනවා දැනගන්නද තමුන් මෙතනට ආවේ?”

දුමින්ද ප්‍රශ්න කළේ හිරකාරයා මමද කියල අඟවනවා වගේ. මං උත්තර නොදී හිටියා. හිරේම ඉන්න වෙයිද දන්නෙ නෑ උත්තර නොදුන්නොත් කියල මට එතකොට හිතුණා. ඉතින් මං උත්තර දුන්නා.

“මං ආවේ මැච් එක රිපෝට් කරන්න. ඔබතුමා ගැන ලියන්න නෙවෙයි.”

එතුමා කට කොනකින් හිනාවුණා.

“තමුසෙලා ගැන මං දන්නෙ නැද්ද!”

මං කල්පනා කළා මෙතනින් ගැලවෙන විධියක් ගැන. මං පිදුරුගහේ එල්ලුණා. තරුණිය දිහාට හැරෙමින් මං කථා කළා:

“මං මේ මෙහෙට ආවාමයි. මට ඇත්තටම සතුටු හිතුණා ඔයාලා මේ ඉන්න විධිය දැක්කාම.”

ඒත් ඈ දිහා බලද්දි මාව භිරාන්ත වුණා. මගෙ ඇස් අදහන්න බැරුව ගියා. ඒ හිටියේ හිරුණිකා!

“කමක් නෑ. ඔයා මෙතනට ආපු එක හොඳයි. මාත් මේ බල බලා හිටියේ පත්තරකාරයෙක් එනකන්.”

හිරුණිකා සැරෙන් නමුත් ප්‍රසන්න විධියට කථා කළා. “ඔබතුමිය මෙතන ඉන්නවා කියල දැනගෙන නෙවෙයි මං ආවේ.” ඒ අවසරයෙන් මං කිව්වා.

“නෑ, නෑ. ඔබතුමා ආව එක හොඳයි. ඒත් මේ මං කියන එකත් පත්තරේට ලියන්න!”

එතුමිය දිග විස්තරේකට ලෑස්ති වුණා. දුමින්ද දුමක් අදින්න මෙවෙලාවේ එළියට ගියා. සැහැල්ලුවෙන් මං එතුමියට ඇහුන්කම් දුන්නා ඒ ගමන:

“හැමෝම හිතන් ඉන්නෙ මං ඉවර වුණා කියල. ඔයා දැනගන්න අපි කොලොන්නාවේ ගෑනු. මගේ තාත්තා කොලොන්නාවේ ආසන සංවිධායක. මේ වගේ තැන්වලට අපේ තාත්තා බය වුණෙත් නෑ. මං බයත් නෑ. ඒත් එකක් කියන්නම්. මං මේ අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගන්න ගිහින් මෙහෙට ආවේ. ඒත් මෙහෙට එන්න ඕන නියම නයි ඉන්නවා ඔය රනිල් රාජපක්ෂගේ කල්ලියේ. මං අවුරුදු තුනක් බලන් ඉන්නෙ නෑ. මෙහෙ ඉඳලාම එවුන් මෙහෙට ගේන්න වැඩ කරනවා. දැනුත් මං දුමී එක්ක කථා කර කර හිටියේ එහෙම දෙයක් ගැන.”

හිරුණිකා කථා කළේ සැහැල්ලුවෙන්. පාර්ලිමේන්තුවයි හිරගෙදරයි එකයි වගේ. ඒ කියන්නෙ ඉස්සරහටත් එන්න පුළුවන්ද මෙහෙට? ඇයි බැරි? හිරගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ටනෙ. ඒත් ගැටලුවක් තියෙනවා. ප්‍රතිවාදියෙක් නේද හිරුණිකාගේ දුමින්ද?

“ඔයා කල්පනා කළේ දුමින්ද මගේ වෛරක්කාරයෙක් කියල නේද? අහගන්න. එහෙම බෙදීම් නෑ හිරගෙදරදි. දේශපාලනයේ සදාකාලික හතුරොත් නෑ, සදාකාලික මිතුරොත් නෑ. මෙහෙත් එහෙම තමයි.”

හිරුණිකා කියා සිටියා අවධාරණය කරලා. ඒත් දුමින්ද ඉන්නෙ එයා කියන රනිල් රාජපක්ෂ එක්කලානෙ.

“පිස්සුද අනේ! දුමින්ද ඒගොල්ලොත් එක්ක හිටියේ අර දඬුවම අයින් කරගන්න විතරයි. නැතුව එයාලාට ඇති දේශපාලනයක් නෑ.”

හැම උත්තරේකම එතුමියගේ පරස්පරයක් මට දැනුණෙ.

“දුමින්දව ඇතුළට දැම්මෙ හැබැයි ඔබතුමියනෙ. එතකොට දැන්…?”

හිරුණිකා හිනාවුණා ඒකට.

“මට තිබුණෙ දුමින්ද එක්ක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, කොලොන්නාවේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. කුඩු පිළිබඳ ප්‍රශ්නයක්. මෙහෙට ආපු ටිකට මං ඒ ප්‍රශ්නය විසඳගත්තා. එයා මට හිමි තැන පිළිගත්තා. මං එළියට ගිය ගමන් එයාව එළියට ගන්නවා. ඔන්න බලන්නකො!”

පුදුම නීතියක්නෙ මේක කියල හිතුණෙ නෑ මට. නීතිය අන්ධයි කියල දන්නවා මං. ඒත් පුදුම හිතුණා හිරුණිකා දුමින්ද ගැන කථා කරපු විධිය ගැන. ඇත්ත වශයෙන් එයාගේ කතාවේ තිබුණා සඟවන කතාවක්. ඒක තමයි එයාට අලුත් පෙම්වතෙක් ලැබිලා කියන එක. නරකද ඒක? නරක නෑ, නරක නෑ. සමාජ ක්‍රියාකාරිනියකට අවුරුදු තුනක් එක තැනක ඉඳන් පොල්ගාන්න පුළුවනෑ!

“මේක ලියන්න ඔයා විශේෂයෙන්. මං හිරේ කියල නටන කට්ටියක් ඉන්නවා ඔය අපේක්ෂකයෙක්වත් දාන්න බැරිව ඉන්න කපුටු කාක් පිලේ. අපට 2015 කරගන්න බැරි වුණු දේ තමයි ඔය එක්කෙනෙකුට අච්චු දීලා මෙහෙට දාගන්න බැරි වුණු එක. ඒත් මේ සැරේ දිනුවාම අපි ඒ අයට අච්චු දෙනවාමයි!”

හිරුණිකාට පුළුවන්ද ඉල්ලන්න ඡන්දෙට මේ සැරේ? මොන කතාද මේ! දැක්කෙ නැද්ද මද්දුමබණ්ඩාර කියපුවා? එයා කිව්වෙ අභියාචනයක් දැම්මාම හිරේ නෙවෙයි, හෙට එල්ලනවා කිව්වත් ඡන්දෙට ඉල්ලන්න පුළුවන් කියල. අපේ කතාව අතරේ දුමින්ද ආවා ආපහු. දුමින්ද හිටියේ කුඩු ගහලා වගේ. කුඩු ගහලා වගේ නේද හැමදාම හිටියේ මිනිහා!

“මොකද මෙයා කාගෙවත් ඉත්තෙක්ද?”

ඔහු ඇසුවේ හිරුණිකා දිහා බලලා.

“නෑ. මෙයා හාල්මැස්සෙක්. මෙයා දන්න දේශපාලනේකුත් නෑ.”

ඈ එහෙම කිව්වාම දුමින්ද හැරුණා මගේ පැත්තට.

“ලොක්කා, පොලිසිය, නීතිය, අධිකරණය, දේශපාලනය, මාධ්‍ය… ඔය ඔක්කොම බොරු වචන. සල්ලියි උඩින් එන හයියයි එක්ක ඒවා ඔක්කොම අහෝසි වෙනවා. පේන්නෙ නැද්ද තමුසෙට ඒවා?”

බයයි මට දුමින්ද එක්ක සංවාද කරන්න. ඩයොලොග්වල යෙදෙන්න බැරි මිනිස්සු ඉන්නවා දේශපාලනයේ. ඒ අය එක්ක පුළුවන් ඩයලොග් නෙවෙයි, මොනලොග්. ඒ කිව්වෙ එක් කෙනෙක් කථා කරනවා. අනෙකා “එහෙම නේද හාමුදුරුවනේ! එහෙම තමායි!” කියල දෙසනවා.

“තව දෙයක් තියෙනවා ලොක්කා. ඔයගොල්ලො ලියනවකො හිරකාරයන්ගෙ වරප්‍රසාද ගැනත්. මෙහෙ හිරකාරයන්ට කිසිම වරප්‍රසාදයක් නෑ.”

දුමින්දගෙන් මං ඇහුවා මොනවාද ඒ කියල.

“ඇයි හිරකාරයන්ට හිරේ ඉඳන් ඡන්දෙ ඉල්ලන්න බැරි? යන්තම් හිරේ ඉඳන් පාර්ලිමේන්තු යන්න දැන් ඉඩ හැදිලා තියෙනවා. හිරේ ඉඳන් පාර්ලිමේන්තු ගියා විතරයැ, කැබිනට් ඇමැතිකමකුත් ගත්තානෙ චොකා මල්ලි. ඇයි මටත් බැරි මං කලින් දරපු තනතුරු දරන්න? අර නිවාස සංවර්ධන අධිකාරියේ එහෙම…”

දුමින්දගේ කතාව ඉවර වෙන්නත් කලින් මැච් එක ආපහු පටන්ගත්තා. මං ආවේ මෙහෙට මැච් එක වාර්තා කරන්න මිස ලව් කතා ලියන්නයැ කියල හිතුණා මට. මං ගල් බංකුවෙන් නැඟිට්ටා. මං සමු දීලා ඔවුන්ට මැච් එක බලන පඩිපෙළ දිහාට ඇවිදන් ගියා. ඒ යන අතරේ හැරිලා බැලුවා ජෝඩුව දිහා. බරපතල වැඩ සහිත සිර දඬුවම්! අපේ පත්තරේ පළ වූ වාර්තාව මට මතක් වුණා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment