අදියුරු සෙවීම!
“බයිලා නෙවෙයි, ලියනවා නම් බලන්න දැන් බලන්න පුළුවන් නාට්‍යයක් එහෙම තියෙනවා නම්!”
ප්‍රධාන කර්තෘතුමා පත්තරේ විවේචනයක් කළා මං ලියන ඒවා. ඒක අභියෝගයක්. බලන්න පුළුවන් නාට්‍යයක් නැද්ද අද? ටෙලිනාට්‍ය ගැන කියන්න දෙයක් නෑ. වේදිකා නාට්‍ය? ඒවා හැදෙන්නෙ නෑ. ඇත්තටම නැද්ද හොඳ නාට්‍යයක් අද? මේ ගැන හිත හිතා ඉද්දි අතුරුගිරියේ මරු නාට්‍යයක් දැක්කෙ. මාරම මාරයි! ඒ වගේ නාට්‍ය නේද හැදෙන්න ඕන? නාට්‍යයේ නම ‘පාතාලේ සොල්දාදුවෝ.’ ඔහොම නාට්‍යයක් හැබැයි ඉස්සරත් තිබුණා නේද? නම අහද්දි මුලින්ම හිතුණෙ ඒක. ඒත් පස්සෙ ඇහුණා කවුද කියනවා “මේක නව පිටපත” කියල. ංආ! එහෙම නම් කමක් නෑ. අද කාලෙ කොපි හැම තැනම. කොපි චැට් පේන්නෙ නැද්ද! ඉතින් මං කල්පනා කළා ‘පාතාලේ සොල්දාදුවෝ’ නව පිටපත ගැන ලියන්න.
මුලින්ම බැලුවා මං කවුද නාට්‍යයේ අධ්‍යක්ෂවරයා කියල. දන්න කියන හැමෝම කිව්වෙ කංජිපානි ඉම්රාන් කියල. ඒත් කංජිපානි අල්ලන්න බෑ. එයා ඩුබායිවල. ප්‍රංශෙ ද කොහෙදත් කියනවා. තවත් කෙනෙක් කිව්වා ලොකු පැටී කියල. පොඩි පැටී නම් අල්ලන්න පුළුවන්. අන්න අරෙහෙ පිට්ටනියෙ ක්‍රිකට් ගහනවා. පොඩි පැටීලා ගොඩයි ටීම් එකේ. හැමෝටම ඕන ලකුණු නැතත් ටීම් එකේ රැඳෙන්න. මිලියන ගණනින්නෙ පඩි ඉතින්. ඒත් ලොකු පැටී කොහොමද අල්ලන්නෙ! “එයාව අල්ලනවා බොරු! එයාත් ඉන්නෙ ඩුබායි.” ඒත් තවත් කෙනෙක් කිව්වෙ “ඔය කවුරුත් නෙවෙයි අධ්‍යක්ෂකයා. ඒකා ඉන්නෙ රට ඇතුළෙම” කියල. ඒත් කිව්වෙ නෑ මිනිහා කවුද කියල එයා. මට හිතුණා හොඳම දේ නාට්‍යයේ රඟපාපු නළු නිළියන්ගෙන්ම අහන එක කියල. ඉතින් මං ගියා මුලින්ම ප්‍රධාන නළුවා හම්බෙන්න. ඒ, අර ටැටූ මලෙයා. ඒත් ටැටූ මලෙයා මුලින්ම කළේ මාව දැකලා අඬපු එක.
“අනේ බුදු අයියෙ, කවුරුවත් ඇත්ත කතාව දාන්නෙ නෑ. ඔයා ඇත්ත කතාව ලියන්න. බුදු හාමුදුරුපල්ලා! මං පාඩුවේ හිටපු මිනිහෙක්. මං බලපිටියෙ පැත්තෙ පොඩි පොඩි බිස්නස් ටිකක් කළා තමයි. ඒත් මං මේ වගේ අසමජ්ජාති වැඩවලට සම්බන්ධ වෙන්නෙ නෑ. මාව මේකට මොකක්දෝ කරුමෙකට පටලැවුණා. නැත්නම් මං හොඳ අපූරුවට සුද්දෙක්ගෙන්, සුද්දියක්ගෙන් ගතමනාවක් හොයාගෙන ලස්සනට හිටපු මිනිහෙක්.”
මට පුදුම හිතුණා ටැටූ මල්ලි කියපු දේ ඇහුවාම. ඇයි එයා මේ වගේ සුපිරි නාට්‍යයකට සම්බන්ධ වීම ගැන දුක් වෙන්නෙ?
“ඒ වුණාට සුපිරි වැඩක් ඔයා කරලා තියෙන්නෙ.” මං කිව්වා එයාගේ හිත හැදෙන්න. ඒත් එයා අඬන එකමයි කළේ.
“ඇයි අයියෙ එහෙම කියන්නෙ? මං පැත්තක හිටපු මිනිහෙක්. මාව මේකට කොහොමහරි තල්ලු කළා. තල්ලුවෙන් මාව මැදටම ගියා. මං නළුවා වුණා. එහෙම නම් මං කියන්නම් මේකෙ පිටිපස්සෙන් කවුද හිටියේ කියල. එක එකා ගාණෙ කියන්නම්…”
ටැටූගේ කතාව ගියා ටිකක් හරි පැත්තට. නම තියපු හුඟක් නාට්‍යවල ලංකාවේ පිටිපස්සෙන් හිටපු චරිත කියවෙන්නෙ නෑ. ඒක අපරාධයක්. ඉතිං මං උනන්දුවෙන් ටැටූ මල්ලිට කන් දුන්නා:
“අහගන්න. මේකෙ ඉස්සරහින්ම හිටියෙ මගේ ගෑනි. ඒකිගෙන් ගැලවිල්ලක් තිබුණෙම නෑ. සල්ලි ඉල්ලලා මාව කෑවා. මං කෝච්චියට බෙල්ල තියන්නත් ගියා කීප සැරයක්. ඒත් මගේ අයියායි අම්මායි බේරගත්තා මාව. අයියා කිව්වා ‘උඹයි මෙතන වැරදි. ගෑනියෙක් ගත්තා නම් ගෑනිව සතුටු කරපන්’ කියල. අම්මා කිව්වා ‘මටත් දැන් බන් අතේ fදාතේ නෑ. උඹ සල්ලි හොයාපන් මොන මළදානයක් කරලා හරි. සල්ලි නැතුව කොහොමෙයි ජීවත් වෙන්නෙ යකඩෝ!’ කියල. තාත්තා කිව්වෙ ‘යකෝ, අද කළු සල්ලි – සුදු සල්ලි කියල නෑ. එහෙම බැලුවොත් හැම එකාගෙම අතේ තියෙන්නෙ ලේ වැක්කෙරෙන සල්ලි තමයි’ කියල. මගෙ ඥාති සනුහරේම මාව කන්න හැදුවා අයියෙ. ඉතින් මං මේකෙ රඟපාන්න එකඟ වුණා.”
මට දුක හිතුණා ටැටූ ගැන. ඒත් ටැටූට ගාණක් හම්බුණා නේද රඟපෑවාට?
“වැඩක් නෑ අයියෙ. වැඩක්ම නෑ. හම්බුණු ලක්ෂ දාසයෙන් දහයක් ගෑනි ගත්තා. ඒකි මං දැක්කා ඒකෙන් ඇඳුම්කැඩුම්, ලිප්ස්ටික්, කියුටෙක්ස්, බෑග්මලු, සපත්තු, ටැබ් අරවා මේවා අරගෙන ෂෝක් කරනවා. ඉතිරි ලක්ෂ හයෙන් තුනක් අම්මායි තාත්තයි අයියායි කොල්ලකෑවා. මට ඉතුරු වෙච්ච තුනෙන් තමයි කොස්ටියුම් පවා හොයාගන්න සිද්ධ වුණේ. මට විතරක් නම් බැරියැ, ගෑනිට! ටැටූ එක ගහගත්තෙත් මං ගාණක් ගෙවලා. මොකෝ මං ටැටූකාරයෙක්යැ!”
ටැටූ මලෙයාගේ කතාව අහන්න අහන්න මගේ දුක වැඩි වුණා. ඒත් මං දැනගත යුතුම වුණා කවුද මේකෙ නියම අධ්‍යක්ෂවරයා කියල. ඒත් එයාගෙන් ඒකට උත්තරයක් ආවෙම නෑ. බැරිම තැන මං ඇහුවා මොකක්ද මේ කංජිපානි, ලොකු පැටී ගැන කතාව කියල. මෙන්න ටැටූ කියපු දේ:
“ඇත්තටම අයියෙ, කංජිලා, පැටීලා හොඳ මිනිස්සු. කංජි ගැන කිව්වොත් එයා කළේ පාරෙ කැඳ තට්ටුවක් දාගෙන මිනිස්සුන්ට ඖෂධීය පානයක් දුන්නු එක. ලොකු පැටී ගැන නම් මං දන්නෙ නෑ වැඩිය. ඒත් මිනිහෙක් මැදපෙරදිග වගේ රටකට යනවාද අයියෙ ජීවත් වෙන්න පුළුවන් නම් මේ රටේ?”
ටැටූගෙන් තව විස්තර දැනගන්න විධියක් නෑ. එයා හිරගෙදර දැන්. මේ ටික හරි අහගත්තෙ මං අර අතුරුගිරියේ පොලිස් ලොක්කන්ට පිං සිද්ධ වෙන්න. ඒගොල්ලො ටැටූව දවස් දෙකක් බලහත්කාරයෙන් පොලිස් කූඩුවේ රඳවාගත්තා. නවරත්න ඔයිල් ඔළුවේ ගාන්නද කොහෙද ඔළුවේ කැක්කුමට. මේ අතර ටැටූගේ කතාව අහපු කට්ටියක් කිව්වෙ ඕකෙ අධ්‍යක්ෂවරයා ක්ලබ් වසන්තමයි කියල. ඒක ඇත්තක්ද? ඒත් කොහොමද මිනිහා අල්ලන්නෙ? මිනිහා දැන් තුන්වන ලෝකෙ. නෑ, පරලෝකෙ. බැරිද බිරින්දෑගෙන් අහගන්න ඒ ගැන? අමාරුවෙන් බිරින්දෑ අල්ලගත්තාට පස්සෙ මෙන්න ඈ කියපු දේ:
“ක්ලබ් වසන්ත කියල ජරා නමක් දාලා තියෙනවා මගෙ මහත්තයාට කවුරුහරි. ඒක ඉස්සෙල්ලාම ඉල්ලා අස්කරගන්න. මගෙ මහත්තයා පිං කඳක්. එයා නයිට් ක්ලබ් කළා තමයි. ඒත් එයා ඒවායේ වැඩ ඇල්ලුවෙත් පිරිත් දාලා. දැක්කානෙ, එයාගේ අතේ කොච්චර පිරිත් නූල් තිබුණාද කියල. රත්තරනුත් තිබුණා තමයි. ඒත් ඒවා එයා හරිහම්බ කරපුවා. හරිහම්බ කරන් ජීවත් වෙනවාට මේ රටේ මිනිස්සු ඊර්ෂ්‍යායිනෙ….. ංආ ඔය අහන්නෙ අර ගෙජ්ජි වළල්ල ගැනද? ඒක එයා අතේ බැන්දෙ එයාගෙම කැමැත්ත උඩ. ඇයි එයාගේ ගෙජ්ජි ගැන අහන්නෙ? අහන්නකො මැදමුලනෙ ගෙජ්ජි ගැන!”
ක්ලබ් වසන්තගේ බිරිඳ කාරුණිකයි. එයා මේවා කථා කළේ වෙඩි වැදිලා තුවාල පිටින් ඉන්දැද්දි. එයා මට මෙහෙමත් කිව්වා:
“වසන්ත අයියා මේ රටේ උදව් නොකරපු කෙනෙක් නෑ. ඔය ටැටූ කඩේ විවෘත කරන්න ගියෙත් නව පරපුරට උදව්වක් විධියට. ඇත්ත, එයා පාතාලෙටත් උදව් කළා. පාතාලෙන් උදව් ගත්තත් තමයි. ඒත් එයා එච්.ආර්. වසන්ත කෙනෙක්. හදවත රත්තරන් වසන්ත කෙනෙක්. මං කැමතියි එයාට ක්ලබ් වසන්ත නැතුව එච්.ආර්. වසන්ත කියනවා නම්. එච්.ආර්. ජෝතිපාලගෙ සිංදු විතරයි එයා ඇහුවෙ. මං එයා
ගැන පොතක් ලියන්න ලෑස්ති වෙනකොටමයි මේ කරුමෙ සිද්ධ වුණේ. අනේ මගේ වසන්ත අයියා!!!”
බිරින්දෑ අඬ අඬා කථා කළාට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැන හරි තොරතුරක් දුන්නෙ නෑ. බලාපොරොත්තු සුන් වෙච්ච මං ආපහු ගෙදර ගියා. ගිහින් නාට්‍යයේ යූටියුබ් කෑලි බල බලා සිටියා. අන්න එතනදි මට සැක හිතුණා අධ්‍යක්ෂවරයා අතුරුගිරියේ ඩීඅයිජී ලොක්කාද කියල. ඩීඅයිජී ගැන ආන්දෝලනයක් දැනටත් යනවා. මං කෙළින්ම ගියා ඩීඅයිජී මහත්තයා හම්බෙන්න. ඒත් මං ලැබුවේ බලාපොරොත්තු නොවුණු අත්දැකීමක්. මෙන්න ඩීඅයිජී මහත්තයා මං ඉස්සරහ අඬනවා.
“හරිම දුකයි මල්ලි මට කරලා තියෙන දේ. හරිම දුකයි. පොඩි උන් නැත්නම් මං පනිනවා මුහුදෙ. කමක් නෑ. හෙට අනිද්දා මගෙ ජොබ් එක නැති වෙයි. ඒත් මං ජීවත් වෙනවා. ජීවත් වෙන්න තරම් මුදලක් මං එෆ්ඩී කරලා තියෙනවා. පොලිසියට යන්නෙ මිනිහෙක් පොල් ගාන්න නෙවෙයිනෙ මල්ලි. උසස් වීම් ලැබෙන තරමට අමතර පඩි වැඩි වෙනවා. ඒක දන්නවානෙ. අමතර පඩි! නිකන් හිතන්න. ඇයි පොලිස් රාලහාමිලාට නාට්ටාමි කෙනෙකුට ගෙවන පඩියවත් නොගෙවන්නෙ මේ රටේ? ඒ, අර අමතර වේතනය හින්දානෙ ඔවුන්ට ලැබෙන.”
මට ඕන වුණේ අධ්‍යක්ෂවරයා එයාද කියල දැනගන්න. ඒත් එයා කිව්වෙ මේක ඒකට:
“මට ඔය දෙකයි පනහේ නාට්‍ය කරන්න ඕන නෑ මහත්තයෝ. ලක්ෂ දහයට පහළොවට කවුද ඕවා අධ්‍යක්ෂණය කරන්නෙ! හොඳ නාට්‍යයක්, චිත්‍රපටියක් කරන්න අඩු ගාණෙ කෝටි හත අටක් යනවා අද කාලෙ. මට ඕන වුණේ මිනිස්සුන්ට පෙන්වන්න මෙන්න පුතෙයා කියල. ඒක වැරදිද? අද හැමෝම කියනවා අපරාධ මර්දනය කරන්න ඕන කියල. ඒත් අපරාධකාරයො මාධ්‍ය ඉස්සරහට ගෙනැල්ලා පෙන්වන්න බෑ. මේක පුදුම නීතියක්නෙ. මේ වගේ නීති නිසා නේද පාතාලෙ කවදාවත් මඩින්න බැරි?”
අන්තිමේ හිතුණා මට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා දේශබන්දු ද කියල. ඒත් එතුමා හම්බෙන්න ටිකක් මහන්සි වෙන්න සිදු වුණා:
“ඔයා ආවේ මං මේකෙ මහමොළකාරයා කියල අල්ලන්නද? මාව කූරු ගණින්න යවන්න හුඟක් දෙනෙක් දත කෑවා. අර කරුණාවන්ත බීස්කූන් වහන්සේත් දත කෑවා සෑහෙන. ඒත් කෝ යැව්වාද මාව? ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් මං අධ්‍යක්ෂණය කරන්නෙ දුෂ්ටයා අල්ලන ‘යුක්තිය’ වගේ නාට්‍ය මිසක ඔය බලු වටින්නෙ නැති නාට්‍ය නෙවෙයි. මං එකක් කියන්නම්. දැනටමත් අපි ඔය පාතාලේ සොල්දාදුවෝ අටසීයකට වඩා අත්අඩංගුවට අරන් තියෙනවා. ඕක තව පෝය හතකින් අපි ඉවර කරනවා. එච්චරයි!”
මට සතුටක් දැනුණා දේශබන්දුතුමා ගැන. ඒත් අසතුටක් දැනුණා එයා නාට්‍යය කළේ නෑ කිව්වාම. දැන් කොහොමද අදියුරුතුමා හොයාගන්නෙ? බැරිද අධිකරණය නඩුව විසඳනකන් ඉන්න? ඒත් එතකොට අදියුරුතුමා මැරිලා ඉන්න බැරි නෑ. හදිසියේම මගෙ ඔළුවට ආවා නාට්‍යයේ අදියුරුවා අර ගෝටා ගැන, නන්දිකඩාල් ගැන විතරක් නෙවෙයි, පාතාලෙ ගැනත් නවකතාවක් ලියපු මහවිරුතුමා ද කියල. ඒත් පස්සෙ හිතුණා එයා දැන් හබන් කුකුලෙක් කියල. ඔහොම කාලය ගෙවෙද්දි තමයි මට නියම මිනිහා ඔළුවට ආවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ ආරක්ෂක ඇමැතිතුමා ටිරාන්. ඒත් එයා ඔක්කොටම වඩා අල්ලන්න අමාරු වුණා. ඒත් වැඩේ අතෑරියේ නෑ මං. මේ, මඟ රැකලා ඇල්ලුවාම එතුමා කිව්ව දේ:
“ඔයගොල්ලො දැනගන්න, මං නාට්‍යකාරයෙක් නෙවෙයි. මං ඇමැති කෙනෙක්. ඒවගේම මටත් උඩින් තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලො අධ්‍යක්ෂණය ඉල්ලුවොත් මං අධ්‍යක්ෂණය කරන්න පුළුවන්. එච්චරයි!”
● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]