අපේක්ෂකයෝ !
මං කල්පනා කළා ජනාධිපතිවරණයට ඉල්ලන්න. ඒත් ඉල්ලනවා වගේ නෙවෙයි, කවුද ඇප තැන්පත් කරන්නෙ? ඇපත් නැතිව ඉද්දි කොහොමද ඇප තියන්නෙ පනස්දාහක්? කල්පනා කර කර ඉන්නකොට මට කෙනෙක් කිව්වා “ඕක මහ ලොකු දෙයක්ද? ගිහින් නාමල්තුමා හම්බෙන්නකො” කියල. එයාට පුළුවන්ද ඇප තියන්න? එයාගේ ලයිට් බිලත් ගෙව්වෙ වෙන කෙනෙක් නේද? මං ඇහුවා උත්තර දුන්නු කෙනාගෙන්. “නෑ. ඇප තියන එක සුළු දෙයක් ඒ ගොල්ලාට. ඊටත් අපේක්ෂකයෙක් හොය හොයා ඉන්නෙ ඒ අය,” ඒ මනුස්සයා ඊළඟට කිව්වා. හැබෑද ඒක? අපේක්ෂකයො නැති පක්ෂත් තියෙනවාද?
ඉතින් මං ගියා නාමල්තුමා හම්බෙන්න. ඒ, මැදමුලනෙ පරණ වලව්වට. යනකොට වලව්වෙ ජනෙල් පඩියේ එල්ලිලා කෙනෙක් කතාවක් කරනවා: “අයින් වෙන්න! අයින් වෙන්න! අද සර් හම්බෙන්න විධියක් නෑ. සර් අම්බානිගෙ පුතාගේ මඟුල් ගෙදර ගිහිල්ලා. නෝනාත් ගිහිල්ලා. කවුරුවත් අද ගෙදර නෑ!” මං බැලුවා තාත්තාද, බාප්පාද කියල. බලද්දි ඒ දෙන්නාම නෙවෙයි, සිකුරිටිකාරයෙක් කථා කරනවා. ඒත් මගෙ වාසනාවට මැදමුලනෙන් එළියට බහිනකොටම මෙන්න නාමල්තුමා එනවා වීඑයිට් එකක. ඉස්සර වගේ නෙවෙයි දැන්. ලොක්කෙක් දැක්කත් සොක්කෙක් දැක්කත් වීදුරුව අරිනවා එතුමා. ඉතින් මැදමුලනෙ මැදමිදුලෙ ඉන්නකොට මං එතුමා වීදුරුව ඇරියා. “මොකෝ මේ?” ඇහුවා එතුමා. මං කාරණේ කෙළින්ම කිව්වා:
“මං ආවේ ජනාධිපති අපේක්ෂකකම ගන්න.”
නාමල්තුමා බිරින්දෑගේ මුහුණ බැලුවා. එතුමිය හිටියේ පවුඩරුයි ලිප්ස්ටිකුයි නාලා. රත්තරන් ගුලියක්, මැණික් වගයක් එල්ලිලා වැටුණා සාරියෙනුයි අතිනුයි කරිනුයි. ඩේසි ආච්චි මතක් වුණා මට. ඒත් නාමල්තුමා කාරණේ තේරුම්ගත්තා. “පොඩ්ඩක් ඉන්න. මං උරචක්‍රමාලේ එල්ලලා එන්නම්” එතුමා කිව්වා. කිව්වා වගේම ආවා ටිකකින් එතුමා. ඇවිත් ආසනයක් පිළියෙළ කළා මට. මැදමුලනෙ නෙවෙයි, නෙළුම් මාවතේ. ඒත් නෙළුම් මාවතට යනකොට එතන තවත් කට්ටියක්. ජොනී, කුට්ටි, චානක, සාගර කාරිය ඔක්කොම. ඒ අය මට හිනා වුණා. මාත් හිනා වුණා. ටික වෙලාවක් යද්දි මෙන්න ආවා ඩීපී. ඩීපී හිනා වුණේ නෑ. මූණ නොරොක් වෙලා හිටියෙ. එයා ආපු වාහනේ මං බැලුවා. ටුක් ටුක් එකක්. දෙයියනේ! රටේ ලොකුම කෝටිපතියා නෙවිද මේ? ළඟ හිටපු කෙනෙක් මට කිව්වා ත්‍රීවීල් එකක තමයි හිටන් ආවෙත් කියල. එතකොට මට හිතුණා ඇයි මං ආවේ නැත්තෙ ටුක් ටුක් එකක කියල. අන්න එතකොට මතක් වුණා මට ඩීපීගෙ කොම්පැණිය නේද මගෙ ටුක් ටුක් එකට තට්ටු කළේ කියල.
නාමල්තුමා ප්‍රශ්න විමසීම ඇරඹුවා: “ඉස්සෙල්ලාම කියන්නකො ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙන්න තමුන්නාන්සේගෙ සුදුසුකම් මොනවාද කියල.” ඒ ප්‍රශ්නය හරිද කියල හිතුණා මට. කොච්චර සුදුසුකම් තියෙන මිනිහෙක්ද මං! මං උත්තර දුන්නා මෙහෙම:
“මුලින්ම මං නයිට් ක්ලබ් එකක දොර අරින වහන වැඩේ කළා. ඊළඟට කාර් පාට්ස් විකිණුවා. මං හොඳ බිස්නස්කාරයෙක්. මගෙ කාර් තමයි ඔය හැම තැනම දුවන්නෙ.” “ඒත් දේශපාලන සුදුසුකම් නෑනෙ ඔතන!” නාමල්තුමා කිව්වා බලාපොරොත්තු සුන් වෙලා වගේ. මං එතකොට ඇහුවා “කාර් ලීසිං කරලා සීස් කරන එකෙයි කාර් පාට්ස් විකුණලා හරිහම්බ කරන එකෙයි වඩා හොඳ මොකක්ද?” කියල. මං කිව්ව දේ එතුමා තෝරබේරගන්න බැරුව වගේ බලන් හිටියා. බලන් ඉඳලා මා දිහා බලද්දි මං ඩීපී දිහා බැලුවා. ඩීපී හිටියේ ෆෝන් එකේ අලුත් කාර් වගයක් බල බලා. “ඒත් ඔය කිව්ව දේ ජනාධිපති අපේක්ෂකකම ගන්න නම් ප්‍රමාණවත් නෑ!” නාමල්තුමා මට කිව්වා මුහුණ ඇඹුල් කරගෙන. මට එතකොට මතක් වුණා ඇයි මගෙ අනික් සුදුසුකම් කියන්නෙ නැත්තෙ කියල. ඉතිං මං කිව්වා “මගෙ තාත්තා හිටපු ගම්සභා සභාපති කෙනෙක්. බාප්පාත් ගම් සභාපති වුණා. අනික් බාප්පාත් ගම් සභාවේ වැඩ කළා. ලොකු තාත්තා අවුරුදු අසූවකටත් වැඩි කාලයක් ගම් සභාවේ ඉන්නවා. නැන්දත් හිටියා. ලොකු තාත්තාගේ පුතාත් ඉන්නවා එතන. ඔය හින්දා මාත් ගම් සභාවේ වැඩ කරලා තියෙනවා” කියල. ඒකට එතුමාගේ ඇස් ටිකක් ලොකු වුණා. “ඒත් මොනවාද ගම් සභාවේ කළේ ඔබතුමා?” කියල ඇහුවා ඊළඟට. මං කිව්වා “හුඟක් මං කළේ සංවිධාන වැඩකටයුතුයි බිස්නසුයි” කියල. “ඒ කිව්වෙ?” “මුලින්ම සභාවේ තරුණයන් වෙනුවෙන් තරුණ බළකායක් හැදුවා. ඊළඟට ස්පෝර්ට්ස් චැනල් එකක් කළා. සභාවේ ඉන්න ගමන් ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කළා. ඒ කිව්වෙ රගර් ගැහුවා” කියල මං කිව්වා. නාමල්තුමා තවම පැහැදීමක් නෑ සුදුසුකම් ගැන. “අඩු ගානෙ සමාජ සේවා වැඩවත්?” එතුමා ඇහුවේ එතුමාගෙන්ම වගේ. ඉතිං මං ඒකත් කිව්වා: “කාලයක් මං ප්‍රාදේශීය පත්තර වාර්තාකාරයෙක් විධියට වැඩ කළා. ඒ අතරේම ග්‍රාම නිලධාරීකමත් කළා. ඔය ගංවතුර ආධාර එහෙම මං තමයි බෙදා හැරියේ ඒ දවස්වල.” ඒකටත් එතුමා පැහැදුණේ නෑ.
මට අන්තිමේ තේරුණා සම්මුඛ සාකච්ඡාව පක්ෂග්‍රාහීයි කියල. මට නෙවෙයි, ඩීපීකාරයාට අපේක්ෂකත්වය දෙන්නයි යන්නෙ කියල හොඳටම පැහැදිලි වුණා. මං එළියට බැස්සා. දේශපාලනය මහ තුච්ච දෙයක් කියල හිතුණා මට. ඇයි අනුන්ගේ පානින් එළිය බලන්නෙ, මටම බැරිද පක්ෂයක් ලියාපදිංචි කරලා ඡන්දෙට යන්න කියල එවෙලාවේ මගෙ ඔළුවට ආවා. මට ඒ එක්කම මතක් වුණා එක එකා අඳේට හදන තාත්තාගේ කුඹුරු තියෙනවා නේද, කුඹුරක් උගස් තියල බැරිද ඇප මුදල හොයාගන්න කියල. ඒ සිතුවිල්ලත් එක්ක ප්‍රීතියක් දැනුණා මට. මං නෙළුම් මාවතෙන් රාජගිරිය දිහාට ආවා සැහැල්ලු ගමනින්.
රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය හරිය පහු කරනකොටම මං දැක්කා දැකලා පුරුදු දෙන්නෙක්. මං ළඟට ගියා. බැලින්නම් පරණ හමුදාකාරයෙකුයි පරණ ඉංජිනේරුවෙකුයි. හරියටම කිව්වොත් ෆීල්ඩ් මාෂල්තුමායි පාඨලීයි. මුලින්ම මං ෆීල්ඩ් මාෂල්තුමාට සැලියුට් එකක් දැම්මා. ඊළඟට පාඨලීට අත් දෙක එකතු කරලා ආයුබෝවන්! කිව්වා. මං කථා කරන්න කලින් ඒ දෙන්නා ඇහුවා “ඔබතුමා කොහෙ යන ගමන්ද?” කියල. හැංගි හොරා මොකටද? මං කෙළින්ම කිව්වා සිද්ධිය. ඒ එක්කම කිව්වා “මං වෙනම තරග කරන්න හෙට ඇප මුදල් තැන්පත් කරනවා” කියල. මගේ කතාවට පාඨලී කලබල වුණා. “දැන් තමුන්නාන්සෙට ජන බලයක් තියෙනවාද?” එතුමා කලබලේම ඇහුවා. මං පැහැදිලි කළා එතුමාට ගෝල්ෆේස් අරගලයේ ජන බලය හදපු හැටි. ඊළඟට ජාතික ජන බලවේගය හදන්න ගුරු වර්ජන, සිසු උද්ඝෝෂණ මෙහෙයවපු හැටි. “අනේ මටත් බැරිද ඔබතුමාගෙ පක්ෂෙට බැඳෙන්න?” තව විස්තර කියන්න කලින්ම පාඨලී අඬා වැටුණා. මං ඔළුව අතගාලා කැමැත්ත දුන්නා. මාෂල්තුමා නම් එහෙම මෝහනය වුණේ නෑ මට. එයා ඇහුවා මගෙන් “තමුන්නාන්සේ දින්නොත් මට මොනවද හම්බුවෙන්නෙ?” කියල. එච්චර දුරදිග හිතලා තිබුණෙ නෑ මං. කෝකටත් මං කිව්වා “ඔබතුමාට මං ආරක්ෂක ඇමැතිකම දෙනවා” කියල. සතුටු වුණේ නෑ මාෂල්තුමා. එයා ඇහුවා “ආරක්ෂක ඇමැතිකමයි සංචාරක ඇමැතිකමයි දෙකක් දෙන්න බැරිද?” කියල. අතින් පයින් යනවායැ. මං කිව්වා හා කියල. ඒත් ටිකකින් ඇහුවා
“මොකටද සංචාරක ඇමැතිකම?” කියල. එතකොට කිව්වා එතුමා “මට පොඩි හෝටල් ටිකක් හදන්න තියෙනවා” කියල. මං හිනාවක් පෑවා. මතක් වුණා මට හෝකන්දර හෝටලේට ත්‍රීපේස් ලයිට් ගත්තු හැටි එතුමාගේ. මේ අතරේ මං දෙන්නාගෙන් දෙකක් ඉල්ලා හිටියා වැඳ වැටිලා. මාෂල්තුමාට කිව්වා මං, “මළාට මැතිවරණ වේදිකාව් නම් කථා පවත්වන්න එපා!” කියල. පාඨලීට කිව්වා “කොහේ ගියත් තනියම වාහනේ එළවන්න එපා, කට්ටියක් එක්ක යනවා මිසක” කියල. මං කිව්ව දේ දෙන්නාම පිළිගත්තා කිව්ව දේ තේරුණේ නැතත්.
රාජගිරියෙන් එළියට එන්න හදද්දි මට තවත් කෙනෙක් හම්බුණා. ඒ, මහින්දානන්දතුමා. හිටියේ එතුමා කේන්තියෙන්. “වැඩක් නෑ කථා කරලා. අපිත් මැදමුලනට තමයි. ඒත් අර මැදමුලනෙ බින්න බැහැපු හරක් ටික දන්නෙ නෑ උන්ගෙ එකෙක් දැම්මොත් ඇපත් නෑ” කියල. තේරුම්ගන්න බැරි වුණා එතුමා කියපුවා මට. ඇප නැති වෙන්නෙ කොහොමද? එයාලට හොඳට සල්ලි තියෙනවා ඇප තියන්න. නැත්නම් අම්බානිගේ පුතාගේ මඟුලට යනවායැ ලංකාවේ ඉඳන්! මහින්දානන්දතුමා ගිහින් තිබුණෙ තවත් කාටද ඇප තියන්න. එයා ගාවම හිටියා තවත් කෙනෙක් ඇප තියන්න ඇවිත්. ඒ, එස්බීතුමා. එස්බී මාව දැකපු ගමන් ආයුබෝන්! කිව්වා. ඇප තියන්න ආවාද, ඇප දෙන්න ආවාද කියල හිතුණ මට. මං ඇහුවා එතුමාගෙන් එක ප්‍රශ්නයක්. ඒ, ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විධියට නෙවෙයි, පරණ ප්‍රාදේශීය වාර්තාකාරයෙක් හැටියට: “කවදාවත් හිතුණෙ නැද්ද ඔබතුමාට ජනාධිපති අපේක්ෂකයෙක් විධියට ඉදිරිපත් වෙන්න?” ඒත් මට උත්තර දුන්නෙ නෑ එතුමා. මං ආයෙත් ඇහුවා ප්‍රශ්නයක්: “බැරිද මේවා ගැන පොතක් ලියන්න?” අන්තිමේ එතුමා කිව්වා මට මෙහෙම:
“පුළුවන්. ඒ වුණාට ලියන්නෙ නෑ!”
● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]