‘මං ජනාධිපති’

“මැදමුලනෙ පැත්තෙ හොඳ නාඩගමක් රඟ දක්වනවා. යමුද බලන්න?”

මගෙ මිත්‍රයෙක් කථා කළා මට. ‘මනමේ’වලින් පස්සෙ හොඳ මට්ටමේ නාඩගමක් දැකපු නැති හින්දා මාත් එකතු වුණා මිත්‍රයා එක්ක නාඩගම බලන්න. ඇරත් මැදමුලන නුපුරුදු තැනක්යැ! අපි හම්බන්තොට පාස් කරගෙන මැදමුලනට ගියා. යනකොට වැඩේ තියෙන්නෙ ගරා වැටිච්ච වලව්වක. සමහරු කිව්වා ඒක වලව්වක් නෙවෙයි කියලත්. කොහොම හරි මුලින් හිතුවේ මං චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ වගේ දකුණෙ හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් නාඩගම කරන්නෙ කියල. බැලුවාම අපි පුදුම වුණා. නාඩගම්කාරයො වෙන කවුරුවත් නෙවෙයි, දේශපාලනඥයො කණ්ඩායමක්. එහෙම කට්ටියකට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද?

නාඩගමේ නම වුණේ ‘මං ජනාධිපති.’ ඒ වෙනකොටත් ඒ නම ගහපු දැන්වීම් හම්බන්තොට තාප්පයක්, බිත්තියක් ගාණෙ අලවලා තිබුණා. නාඩගමේ ප්‍රධාන නළුවා වුණේ නාමල් රාජපක්ෂ. චරිතෙට හරියන්න එතුමා උඩු රැවුලකුත් වවාගෙන සිටියා. ප්‍රධාන චරිතයට අමතරව එතුමා තවත් චරිතයක් රඟපෑවා. ඒ, සෙල්ලම් ළමා. නාඩගමේ අත්වැල් ගායනය කළේ අපි දන්න කියන දේශපාලනඥයො ටිකක්. ජොනී, චානක, සාගර, සංජීව එදිරිමාන්න වගේ අය ඉදිරියෙන් සිටියා එතන. පිටුපස ඉඳලා වේදිකා පරිපාලනය කළේ බැසිල් රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ගරු රඟපෑමක්. එතන හැබැයි ගෝඨාභයවත් චමල්වත් සිටියේ නෑ. නාඩගමට මිනිස්සු හූ කියයි කියල නාවද දන්නෙ නෑ.

මං කල්පනා කළා නාඩගම පටන්ගන්න කලින් ටිකක් කථා කරන්න නාමල්ට. ඒත් එතන හිටපු ජයන්ත කැටගොඩ ලොක්කා කිව්වා “දැන් නම් කථා කරන්න බැහැ මහත්තයෝ. රිහර්සල්වලට වෙලාව නෑ. දන්නවානෙ අනෙක් පැත්තෙන් එන නාඩගම්කාරයො කවුද කියල?” හැබෑට කැටගොඩ නේද නියම නළුවා? ඒත් බැලුවා මං මොකක්ද කැටයා කියන්නෙ කියල. එයා විස්තර කළාට පස්සෙයි තේරුණේ මේක නාඩගම් තරගයක්ය, තවත් අය තවත් නාඩගම් තරගෙට ඉදිරිපත් කරනවාය කියල. ඒත් මං ප්‍රධාන නළුවා කෙරේ දක්වන උනන්දුව දැකලා අන්තිමේ කිව්වා කැටගොඩ “එහෙනම් විනාඩියක් කථා කරලා එන්නකො” කියල. මං මගේ යාළුවාව එළියේ නවත්තලා නාමල්තුමා සොයාගෙන ගියා.

ඒ වෙලාවේ එතුමා සිටියේ නේපථ්‍යාගාරයේ. මං කෙළින්ම නේපථ්‍යාගාරයට ඇතුල් වුණා. වේශ නිරූපණ ශිල්පියා විධියට හිටියෙත් අත්වැල් ගායනයට හවුල් වෙන කෙනෙක්. ඒ, ජොනියා. ජොනී හුඟ දෙනෙකුට වේශ නිරූපණය කරලා තියෙනවා නේද කියල මතක් වුණා මට. ඒත් එතුමා නාමල්ට දාපු මේකප් එක නම් හරි නෑ පුතෝ!

“හැබෑට ඔබතුමා ඇයි මේ වෙලාවේ නාඩගමේ ප්‍රධාන නළුවා වුණේ?”

පවුඩර් නාගෙන හිටපු නාමල්තුමා දැකපු මං ඇහුවා. එතුමා මෙන්න දුන්නු උත්තරේ:

“කාරණා කීපයක් තියෙනවා. එකක් තමුන්නාන්සේ දන්නවාද දන්නෙ නෑ අපි නාඩගම්කාරයො පරම්පරාවක් කියල. අපේ තාත්තා, ලොකු තාත්තා, බාප්පලා දෙන්නා එහෙම මේ ප්‍රධාන භූමිකාව අවුරුදු ගාණක් නිරූපණය කරලා තියෙනවා. ඒ නිසා මට මුලින්ම ඕන වුණා අපේ පාරම්පරික උරුමය ඉස්සරහට අරගෙන යන්න. ඊළඟට මට ඕන වුණා අපටත් මේවා කරන්න පුළුවන් කියල පෙන්වන්න. අපි මේකට ඉදිරිපත් නොවුණා නම් අපට වෙන්නෙ වෙන අය නටන නාඩගම් කට ඇරගෙන බලා ඉන්නනෙ. එහෙම වෙන්න දෙන්න බෑනෙ. අපිටත් ඔය මනමේ රජු, වැදි රජු, වැදි දෙටු චරිත කරන්න පුළුවන් කියල පෙන්වන්න බැරිය එතකොට.”

එහෙම කියද්දි එතුමා මට මතක් වුණා එතුමාගේ අනික් චරිතය ගැන. ඒකත් මං ඇහුවා.

“නියම නාඩගම්කාරයෙක් කියන්නෙ ඕන චරිතයක් කරන්න පුළුවන් කෙනෙකුට. ඉතින් මං හිතුවා සෙල්ලම් ළමා චරිතයත් කරන්න. මොකද විසිළු චරිතයකුත් නැත්නම් මිනිස්සුන්ට විනෝදයක් නෑනෙ.”

ඒත් පුළුවන්ද එතුමාට නාඩගම් තරගයෙන් ජයගන්න? ඒකට එතුමා නොපැකිලව උත්තර දුන්නා.

“ඇයි අපට දිනන්න බෑයි කියල හිතනවාද? අපට මේවා තරග නෙවෙයි සහෝදරයා! මං ක්‍රීඩා ඇමැති වෙලා ඉන්න ගමන් ශ්‍රී ලංකා රගර් කණ්ඩායම මෙහෙයවලා දිනපු තරග දැකලා තියෙනවාද ඔබතුමා?”

නාමල්තුමා එහෙම උත්තර දෙනකොට මේකප් දදා හිටපු ජොන්ස්ටන් මොහොතක් වැඩේ නතර කළා.

“මල්ලි, මේක අපට තරගයක් නෙවෙයි. අපි මේකෙන් දිනනවාමයි. දිනන්න පුළුවන් නළුවෙක් අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ කියල හොඳට මතක තියාගන්න.”

ජොනී කිව්වා එහෙම. එහෙම කියනකොට මං දැක්කා එතුමාත් නාමල්තුමා එක්කම පවුඩර්, තොල් සායම්, කම්මුල් සායම්, කුකුල් සායම් නාගෙන ඉන්නවා. ඒක නම් හිනා යන කෝමලියකුගේ මූණක්. ඒත් මං හිනා වුණේ නෑ. මේ අතරේ නේපථ්‍යාගාරයට ඇතුල් වුණා සාගර. සාගර තිතටම රැවුල කපලා. මෙයාත් චරිතයක් රඟපානවාද?

“යකෝ! ඔක්කොම රඟපානවා නම් කවුද ශාලාවේ තිරේ උස්සන්නෙ, පාත් කරන්නෙ?” සාගරට මගේ ප්‍රශ්නේ දැනිලා ද කොහෙද උත්තර දුන්නා මං දිහා බලාගෙන.

සද්ද නැතුව මං එළියට ආවා නේපථ්‍යාගාරයෙන්. එළියේ එක විජ්ජුම්බරයක්. කට්ටියක් පන්දම් පත්තු කරනවා. කට්ටියක් පිදේනි තටු හදනවා. කට්ටියක් වෙස්මුහුණු පළඳිනවා. මට හිතුණා නාඩගම එක්ක තොවිලෙකුත් නටනවාද කියල. අන්න එතකොට මං දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා වලව්ව මිදුලෙ රෝද පුටුවක වාඩි වෙලා ගිමන් හරිනවා. මං එතුමා ළඟට ගිහින් දණගැහුවා. හිතේ නලියන ප්‍රශ්නයක් ඇහුවා.

“ඇත්තටම මහින්ද මහත්තයා දන්නවාද පුතා මේ කරන්න යන වැඩේ?”

මහින්ද මැතිතුමා මං දිහාට හිස එසෙව්වා. කිතුල් ගහට හෙණ ගැහුවා වගේ ලෙඩා දුකා වෙලා ඉන්න හැටි දැක්කාම මට දුක හිතුණා. එතුමා තතන තතනා මට උත්තර දුන්නා.

“මෝඩයෙක් නෙව! ඔන්න ඔහේ කාලා ආපුවාවෙකො පරිප්පු!”

තේරුණේ නෑ මට එතුමා කියපුවා. මං ආයෙත් ඒ ගැන ඇහුවා. එතුමා ආයෙම කථා කළා.

“එක සැරයක් අපේ මලෙයා ගම කෑවා. මෙයාට ගමක් කන්න බෑ. ඒත් මෙයාත් පාඩම් ඉගෙනගන්න එපැයි. මට හිතෙන්නෙ මේකාව ගොනාට අන්දනවා වටේ ඉන්න කට්ටිය.”

ටිකක් ටිකක් තේරුණා මට මහින්ද මහත්තයා කියපුවා. ආයේ කථා කරන්න අවස්ථාවක් හම්බෙයිද කියල විශ්වාසයක් නැති හින්දා එතුමාගෙන් තව විස්තර ඇහුවා මං. හුඟක්ම ඇහුවා නෙළුම් පොහොට්ටුව ගැන.

“මිත්‍රයා, පොහොට්ටුව කියන නමටවත් මං කැමති වුණේ නෑ. පොහොට්ටු කියන්නෙ නිකන් හොටු වගේනෙ. ඕක ඔතනට ආපු හැටි දන්නවාද? මතකද අර හිටපු ලොකු නෝනා අර නෙළුමක්ද මොකක්ද ගෙනාවා? සුදු නෙළුම්, නිල් නෙළුම් විකාරයක් කළා මතක ඇතිනෙ එයා මංගල එක්ක එකතු වෙලා. අන්න එතනින් ඒක ආවේ. ඒත් ඕනම දේකට අවසානයක් තියෙනවා. අත, පුටුව, බුලත්කොළේ වගේ පොහොට්ටුවත් ඉවරයි දැන්. අලියා වුණත් ඉවර වෙයි මේ සැරේ මට හිතෙන විධියට. එහෙම වෙනකොට අපි කරන්න ඕන අලුත් සංකේතයකට, අලුත් දේකට යන එක. ඒත් මෙයාලා ඒකම අල්ලන් ඉන්නවා.”

මහින්ද මහත්තයාගේ කතාවේ ලොකු අරුතක් තිබුණා. මං එතුමාට වැඳලා සමුගන්න හදනකොටම එතනට ආපු තව කෙනෙක් එතුමාට වඳින්න ගත්තා. ඒ, වෙන කවුරුත් නෙවෙයි, ප්‍රධාන නළුවා. නාමල්තුමා. එතුමා වටයක් වැඳගෙන ගිහින් තව වටයක් වඳින්න අරගෙන තිබුණා. ඒත් වඳිද්දි මහින්ද මැතිඳාගේ සාටකේ පැටලුණා එතුමාගේ සාටකේ. කොච්චර බේරන්න හැදුවත් පැටලිල්ල ලිහාගන්න බැරි වුණා. මාත් බැලුවා පැටලුම අරින්න. මොන! එක පැටලීමක් අරිනකොට තව පැටලීමක්. මේ අතර වෙන ගමනක් යන ගමන් එතනට ඇවිත් හිටියා රත්තරනුයි මහින්දානන්දයි. ඒ දෙන්නා සාටක හටන දැකලා මහින්ද මහත්තයාගේ සාටකේ කොනක් පාදගෙන එළියට ඇද්දා. ඒ පාර සාටකේ අඩක් කැඩිලා ගියා. අඩකටත් වැඩියි ඇත්ත වශයෙන්. ඊට පස්සෙ එතනට ආවා බැසිල්. බැසිල් තවත් පොටක් ඇද්දා. තවත් කොටසක් කැඩිලා ගියා. නාමල්තුමා වඳින ගමන් සාටක පොටවල් පාද පාද පොඩි පොඩි කෑලි කඩනවා. අන්තිමේ මහින්ද මහත්තයාට තරහා ගියා.

“එහාට යනවලා ඔක්කොම! මේක මහ කරදරයක්නෙ. දැන් ඉතින් මේ සාටකේ ගන්න දෙයක් නෑ. කෝ මේ හරියේ ඉන්නවාද ශිරන්ති? ළඟපාත නැත්නම් කියනවා ගෙදර ගිහින් නාමල්, අලුත් ඇඳුමක් මහන්න කියල. හැබැයි මේ සාටක මඟුල් නම් මැහිලි එපා කියන්න. අපේ තාත්තා තමයි ඕක ගෙනාවේ. ඒත් දැන් ඕකෙන් ඇති වැඩක් නෑ. ඇරත් කුරහන් වැවෙන්නෙ හම්බන්තොට විතරද? හලාවත, පුත්තලමේ කුරහන් වැවෙන්නෙ නැද්ද? ඒ පැත්ත වියළි කලාපය නෙවෙයිද? මේවා මේ තාත්තා නටපු පිස්සුවක්. අපිත් හරක් වගේ ඒක අනුකරණය කළා. මම නම් ඒක පොඩි අතේ වාසියකට පාවිච්චි කළේ. ඒත් මේකා, මේ නාමල්! මොන එහෙකට ඕක අඳිනවාද මන්දා! ඇඳපන්කො අර අර්ජුන වගේ සරමක්. ඕන වෙලාවට සරම නැතුව උනත් දුවන්න බැරියැ!”

මාත් මගේ මිත්‍රයාත් ගෙදර එන්න බලාගෙන මහින්ද මහත්තයාගෙන් සමුගෙන නාඩගම් පරිශ්‍රයෙන් එළියට බැස්සා. ඒ, නාඩගමට කොච්චර ලක ලෑස්ති වුණත් ඒක පෙන්නයිද කියල විශ්වාසයක් නැති හින්දා. වලව් මිදුලෙන් එළියට එන්න කලින් කෝකටත් අපි දෙන්නා ආයෙත් පාරක් හැරිලා බැලුවා මහින්ද මහත්තයා දිහා. එතුමා රෝද පුටුවේ සිටියේ සාටකයක් නැතුව.

“මරුනෙ සාටකේ නැති වුණාම!”

මිත්‍රයා කිව්වා මා එක්ක විහිළුවට වගේ. මටත් හිතුණා ෂෝක් තමයි කියල. ඒත් එතුමා ළඟ ඒ වෙනකනුත් වැඳගෙන සිටි නාමල්තුමා නම් සාටකේ එක්ක ඉන්නවා පෙනුණා. හැබැයි සාටකයක් කිව්වාට සාටක කෑල්ලක්! සීයෙන් පංගුවකටත් අඩු කෑල්ලක්!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment