ඒ.කේ.ඩී. ඇවිල්ලා!

බයිසිකලේ එළවගෙන ගියා මං ගාලු කොටුවේ. ගාලු කොටුව අමුතු තැනක්. හැම පාරක්ම වන් වේ. වන් වේ නැති පාරක් හොයාගන්න බැරි හින්දා බෝක්කුවක් උඩ සිගරට් බිබී හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවා “මේ පාරත් වන් වේද?” කියල. සිගරැට්ටුව පාත් කරපු මිනිහා කිව්වා “බයවෙන්න එපා, එළවගෙන යන්න! ඒ.කේ.ඩී. ඇවිල්ලානෙ! මොන සංඥාවක්වත් වලංගු නෑ දැන්” කියල. මට හිතාගන්න බැරි වුණා මිනිහා කිව්ව දේ. කවුද හැබෑට ඒ.කේ.ඩී.? මුලින් හිතුණෙ මට කළුපටිකාරයෙක්ද කියල. මතකනෙ ඉස්සර හිටපු ජී.ඒ.ටී. ජී.ඒ.ටී. ලිවේරා නම දැක්කත් බයයිනෙ අපි. ඒත් පස්සෙ කෙනෙක් කිව්වා

“ඒ.කේ.ඩී. කිව්වෙ සංගීතකාරයෙක්” කියල. සංගීතකාරයෙකුට පුළුවන්ද පාරවල්වල සංඥා පුවරු වෙනස් කරන්න!

කොටුවේ ගමන ඉවර කරලා එද්දි මෙන්න ඇල්ලුවා පොලිසිය. “කොහෙද ඕයි යන්නෙ? වන් වේ කියල දන්නෙ නැද්ද?” ට්‍රැෆික් රාලහාමි මුරගෑවා දඩකොළ පොත අතට අරන්. පූරුවේ වාසනාවකටද කොහෙද මට කියවුණා නිකන් “ඒ.කේ.ඩී.” කියල. කියවෙච්ච ගමන් ඒක ට්‍රැෆික් රාලහාමි දෙකට නැමිලා බැගෑපත් වුණා.

“සමාවෙන්න සර්! දිගටම යන්න! කිසි බාධාවක් නෑ!”

දැන් නම් දැනගන්න ඕනමයි ඒ.කේ.ඩී. කවුද කියල. ගාලු ගමන අහවර කරලා මං ගියා හන්දියට ඒ.කේ.ඩී. ගැන දැනගන්න.

“ඔය කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි, හමුදාවේ ලොක්කෙක්.”

එහෙම කිව්වෙ හන්දියේ යූඇන්පීකාරයෙක්. යූඇන්පීකාරයො විශ්වාසද? විශ්වාස මිනිස්සු අද කොයින්ද! කෝකටත් ඇහුවා තව ප්‍රශ්නයක් මං මිනිහාගෙන්.

“මොන හමුදාවේද එයා හිටියේ? හමුදාව කිව්වාම ගැලවීමේ හමුදාවෙ වෙන්නත් බැරි නෑනෙ.”

“එයා හිටියේ රතු හමුදාවේ. පස්සෙ රතු හමුදාවෙන් චේ හමුදාවට බැඳුණා.”

“චේ හමුදාවට කිව්වෙ? අර පිදෙල් කැස්ත්‍රෝගේ හමුදාවටද?”

“නෑ. පිදෙල්ගේ හමුදාවට එයා බැඳෙන්න විධියක් නෑ. එතකොට එයා අනුරාධපුරේ වෙල් වැඩ කරනවා. එයා ගොවිරාළ කෙනෙක්ගේ පුතෙක්නෙ.”

පුදුම හිතුණා මට යූඑන්පී ලොක්කා දන්න දේවල් ගැන. ඒත් චේ හමුදාවක් තිබුණාද ලංකාවේ?

“ඇයි අප්පා! ඒකවත් මතක නැද්ද?”

යූඑන්පීකාරයාට තරහා ගියා ටිකක්. ඒ හින්දා උත්තර දුන්නෙ එයා ළඟ හිටිය කෙනෙක්.

“මතකද අර ට්‍රාන්ස්පෝමර ගිනිතිබ්බ එවුන්? නැත්නම් පාලම් පුපුරවපු එවුන්? එහෙමත් නැත්නම් බස් පුච්චපු, බේරෙ වැවට බස් තල්ලු කරපු එවුන්? එහෙමත් නැත්නම් රෑ හතෙන් පස්සෙ ලයිට් දාන්න නොදුන්නු එවුන්? මතකද හමුදාවේ පවුල් පිටින් මරා දැම්මා? පළාත් සභා ඉල්ලපු, ඊට වැඩ කරපු අය බුරුතු පිටින් වෙඩි තියල මැරුවා?”

මං කිව්වා “මතක නෑ. මං ඉපදිලා නෑ එතකොට” කියල. ලොක්කා හිස කැසුවා අතින්. කසලා උත්තරයක් දුන්නා මට.

“උපදින්න ඕන නෑ තමුන්ගෙ ඉතිහාසය දැනගන්න. ඒත් මතක තියාගත්තොත් හොඳයි ඒවා කරපු චේගුවේරාකාරයො තවම ඒකට සමාව ඉල්ලලා නෑ. ඔය ඒ.කේ.ඩී.කාරයා කියන්නෙත් තමන්ට ඒ ගැන තියෙන්නෙ කම්පනයක් විතරයි කියල.”

පස්සෙ දැනගත්තා මට උත්තර දුන්නෙ ශ්‍රී ලංකාකාරයෙක් කියල. ශ්‍රී ලංකාකාරයාට තව දෙයක් කියන්න තිබුණා.

“කම්පනය ඕන පැත්තකට පෙරළා ගන්න පුළුවන් වචනයක්නෙ. තව අවුරුදු කීපයකින් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි ඔය හාදයන්ට කියන්න පුළුවන් ඒ කාලෙ වෙච්ච දේවලට තමුන්ට තියෙන්නෙ කම්පනයක් කියල. ඒත් එකක් කියන්නම්. මේ රටේ අම්බරුවන්ට මතක නැති අතීතය අපට මතකයි හොඳට.”

ශ්‍රී ලංකාකාරයා යන්න ගියා එහෙම කියල. ඒත් තවම මට නිරාකරණය වුණේ නෑ ඒ.කේ.ඩී. පලහිලව්ව. බැලුවාම ඔය මුලකුරුවලින් නම් තියෙන එවුන් හොයන එකත් ලේසි නෑ. එහෙම නම් ඇති අය කොච්චර ඉන්නවාද! අර කංජිපානි ඉම්රානුත් අකුරු තුනෙන් ආවානෙ කේ.පී.අයි. කියල.

“ඒ.කේ.ඩී. කියල අපේ පැත්තෙ හිටියා බුලත්විටකාරයෙක්. හැබැයි ඔය කියන කෙනා මෙයා වෙන්න බෑ. මොකද මෙයා හෙමිජ්ජෙක්. කථා කරන්නෙ දෙපැත්ත බල බලා. ඒත් හෙමින්.”

ඒ ගමන කථා කළේ හන්දියේ අලුතින් දාපු එළවළු කඩේ රත්නෙ. තවත් කිව්වා රත්නෙ.

“මෙයා ඔය කියන කෙනා වගේ නෙවෙයි. මෙයාට හොඳ රහක් තියෙනවා. සිංදුවක් එහෙම යද්දි අතින් තාල අල්ලනවා පේනවා. හැබැයි තාල අල්ලන්නෙ වැරදියට. පුදුමෙ කියන්නෙ වයසට යන්නෙත් නෑ මේ අපේ ගමේ ඒ.කේ.ඩී.කාරයා. වයසත් පනස්පහක් වෙනවා. තවම කෙස් ගහක් ඉදිලා නෑ. වෙලාවකට හිතෙනවා හඬකැවීම් නිලධාරියෙක් වුණා නම් මරු කියල මෙයා. මොකෝ ඒ තරමට හඬ උස් පහත් කරන්න දන්නවා මෙයා.”

රත්නෙ ටිකක් විසිළුවට වගේ කථා කළේ. මං ගෙදර යන්න පිටත් වෙන්න හදද්දි තවත් කෙනෙක් කථා කළේ. මිනිහා හන්දියේ සුදාගේ සැලුන් එකෙන් කොණ්ඩෙ කපන්න ආපු කෙනෙක්.

“ඒ.කේ.ඩී. කියන්නෙ ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරපු කෙනෙක් මං හිතන්නෙ. ගුවන්විදුලියේ තමයි ඔය අකුරු තුනේ අය හුඟ දෙනෙක් ඉඳලා තියෙන්නෙ. ටී.ඩී.කේ., කේ.ඩී.කේ., යූ.ඒ.එස්., කේ.ඒ.ඩබ්ලිව්. ඔය ඔක්කොම ගුවන්විදුලියේ නම්නෙ.”

“නෑ. මං ඒක පිළිගන්නෙ නෑ. අකුරු තුනේ එවුන් දේශපාලනයේ නැද්ද?”

සුදා හවුල් වුණේ කතාවට.

“ඇත්ත. ඒත් අපි දේශපාලනය ගැන කථා නොකර ඉමු. කථා කළොත් කට කපයිද කවුද දන්නෙ! මොකද කාරණාකරණ වෙලා තියෙන හැටියට එහෙම කාලෙකටනෙ පාර හැදිලා තියෙන්නෙ.”

කොණ්ඩෙ කපන්න ආපු මනුස්සයා උත්තර දුන්නා.

“ඔව්. ඒක හොඳයි. ඔය ගුවන්විදුලියේ වැඩ කරපු කී දෙනකුගේ ජීවිත අහිමි කරපු අයත් හිටියාද ඔය අකුරු තුනේ දේශපාලන පක්ෂවල?”

සුදා කිව්ව කතාව තේරුණේ නෑ මට. ඇහුවෙත් නෑ මං ඒ ගැන. තහනම් වචනය දේශපාලනය හින්දා. හන්දියෙන් මං ගෙදර යන්න පාරට බැස්සෙ අවුල විසඳගන්න බැරිව.

“මොකෝ නිකන් දාහට අරන් සීයට දීලා වගේ?”

පාරෙදි හම්බුණේ මට ග්‍රාමසේවක මහත්තයා. ග්‍රාම නිලධාරිතුමා දන්නවා මාව මං දන්නෙ නැති වුණාට එච්චර එතුමාව.

“මං කල්පනා කළේ කවුද මේ ඒ.කේ.ඩී. කියන්නෙ කියල.”

මං කිව්වා පෙර අවුලෙන්ම.

“අයියෝ! ඕකද? කිසි සැකයක් හිතන්න එපා. එයා සී.අයි.ඒ.කාරයෙක් නෙවෙයි. සුමන්දිරන් එකතු වුණාට එල්.ටී.ටී.ඊ.කාරයෙකුත් නෙවෙයි. ඉන්දියාව එහෙට ගෙන්නුවාට රෝකාරයෙකුත් නෙවෙයි. කෙටියෙන්ම කියනවා නම් එයා මේ රට ගලවගන්න ආපු සපුමල් කුමාරයෙක්.”

ජී.එස්. කියපුවා ඇහුවාම මට සැහැල්ලුවක් ආවා.

“එහෙනම් කමක් නෑ. මං හිතුවේ ඒ.කේ.ඩී. කිව්වාම අයිආර්සීකාරයෙක් කියල.”

මට කියවුණා එහෙම.

“අයිආර්සීකාරයො තමයි එයාලා. ඒගොල්ලාට වෙන්න බැරි කෙනෙක් නෑ. ඔය කැම්පස්වල නවකවදවලටත් එයාලනෙ සම්බන්ධ. ඒත් මේ වෙලාවේ ඇවිත් ඉන්නෙ එයා ඔය මොන ජාතියෙන් හරි රට ගලවගන්න. පහුගිය කාලෙම රට ඉවර කරපු එවුන්නෙ අපේ බලයේ සිටියේ.”

ග්‍රාම නිලධාරි තැන විස්තර කළා තවදුරටත්. එතුමාට මඟදි එකතු වුණේ සංවර්ධන නිලධාරිතුමියක්.

“අපි මේ කථා කර කර ආවේ අපේ ඒ.කේ.ඩී. ගැන මිස්.”

රාලහාමි ඩී.ඕ. මිස්ට කාරණය යොමු කළා.

“ඔව්. ඔව්. එතුමා ඇවිත් ඉන්නෙ මේ රට ආපහු ඉහළට ඔසොවන්න. අපි එතුමාව පත් කරගත්තෙ මේ රට සංවර්ධිත රටක් කරන්න.”

ඩී.ඕ. මිස් කියපු කතාව ඇත්ත වෙන්න ඇති කියල හිතුණා මට. මොකද එයා රජයේ සේවිකාවක්. රජයේ සේවකයො කියන්නෙ හෙට වෙන දේ අද දකින අයනෙ. මේ රට වෙනස් කරන්නත් මුල්ම පියවර තියලා තියෙන්නෙත් ඉතිහාසයේ තැපැල් ඡන්දනෙ.

“මිස්ටර්, බයවෙන්න කාරි නෑ. අපේ ඒ.කේ.ඩී. ගැන විශ්වාසයෙන් ඉන්න. විශ්වාස නැති හැම කෙනාගේම ඡන්ද ඊළඟ පාර ඒ.කේ.ඩී. ගන්නවා කියල එතුමාම කිව්වානෙ.”

සංවර්ධන නිලධාරිතුමිය කියාගෙන ගියා. තවත් කිව්වා එතුමිය.

“අපට ඕන සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් චේන්ජ් කරන්න බෑ නිකන් සාම්ප්‍රදායික දූෂිත දේශපාලනඥයන්ට. ඒ.කේ.ඩී. වගේ ප්‍රගතිශීලී, වාමාංශික නායකයකුට විතරයි ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්.”

මං කට බලියාගෙන හිටියා ඩී.ඕ. මිස් කථා කරන දිහා. එතුමිය කතාව හමාර කරනවාත් එක්කම කට ඇරියේ ග්‍රාම රාලහාමි.

“සමහරු කියනවා ඉංග්‍රීසි බෑ කියල එතුමාට. මං අහන්නද කාරණයක්? මං ෆුට්බෝල් බලන මිනිහෙක්. දැකලා තියෙනවාද කවදාවත් රොනාල්ඩෝ ඉංග්‍රීසියෙන් කථා කරනවා? ලයනල් මෙසී ඉංග්‍රීසියෙන් කථා කරනවාද? නෑ. ඉතිං ඒ.කේ.ඩී.ට ඉංග්‍රීසි බැරි වුණාට මොකෝ! ඇරත් සිරිසේනට ඉංග්‍රීසි පුළුවන්ද? එයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය ඇමතුවෙත් සිංහලෙන්. ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියක් ලෝකෙ තියෙනවා. එතනදි අපේ ජාතික ගීය වයවන්න අපට හැකි වෙලා නෑ කවදාවත්. එහෙම එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිංහලෙන් අපේ කතාවක්වත් ඉදිරිපත් කරන්න වටින්නෙ නැද්ද?”

කතාව ඉවර වෙද්දි ග්‍රාම රාලහාමි අපි ගේ ළඟටම ඇවිත් පයින් ඇවිදගෙන. රජයේ සේවකයාත් රජයේ සේවිකාවත් මගෙන් සමුගත්තෙ ‘වී’ අකුර පෙන්නලා මට. මං කල්පනා කළා මොකක්ද කියල ඒ ‘වී’ අකුරේ තේරුම. ඒ කියන්නෙ වින් කියන එකද? වින් කරලා ඉවර වෙද්දි වින් වෙන්න පුළුවන්ද? බාගවිට ළඟ එන අනික් මැතිවරණයෙදි වින් ඉල්ලනවා වෙන්න පුළුවන්. සමහර විට මේ ජේ.වී.පී. කියන එකේ කෙටි හැඳින්වීමද? එහෙමත් නැත්නම් ‘වළක වැටුණා’ කියන එකද? කල්පනා කර කර ගෙදර ගිහින් මං ටීවී එක දැම්මා. එතකොට දැක්කා ටීවී එකේ අලුත් ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙනවා. දිවුරුම කරලා ඉවර වෙලා කථා කරන්න ගත්තා එතුමා විදේශ තානාපතිවරු ඉස්සරහ. ඒ, සිංහලෙන්. එතකොට හිතුණා මට මෙයා තමයි එහෙනම් ඒ.කේ.ඩී. වෙන්න ඕනෙ කියල. කථා කරපුවාත් එයා සිංහලෙන් කථා කරපු අපේ හිටපු ජනාධිපතිතුමාට වෙනස් නැති හින්දා මට හිතුණා ඒ.කේ.ඩී.ත් නියම නායකයෙක් වෙයි කියල. මොකද හිටපු එක්කෙනා ළඟක් වෙනකන් වන්දි මුදල් ගෙව්වානෙ අධිකරණයට.

මොනවා වුණත් එතුමා කථා කරලා ඉවර වෙද්දි මං හිතෙන් කිව්වා “නිර්ධන පන්තියට ජයවේවා! ධනපති පන්තිය කම්බස් වේවා!” කියල.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment