මේ මාගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

163

ලැජ්ජ බය

මං එක දෙයක් ගැන කියන්න පැකිලෙන්නෙ නෑ: මං කිසි ලැජ්ජ බය ඇති මිනිහෙක් නෙවෙයි. ලැජ්ජ බය මගෙ ඇඟේ ගෑවිලාවත් නෑ. මං හිතන්නෙ ලැජ්ජාව – බය ගැන අපි හැමෝම ලොකු මුළාවක ඉන්නෙ. මිනිහෙක් හෙළුවැල්ලෙන් ඇවිදින්න ලැජ්ජ වෙන්න ඕනද? මේ ලෝකෙ උපදින හැම මිනිහාම පොඩි එකෙක් විධියට ඇවිද්දෙ කළේ කලිසම්, කමිස
ඇඳගෙනද? ආදම්, ඒවා සිටියේ ඇඳුම් ඇඳගෙනද? කවුරුත් එහෙම තමයි. දැන් මං වැඩිය ටීවී බලන්නෙ නෑ. ඒත් ටීවී එකේ දොඩන කරන හැම මිනිහාම මං දකින්නෙ හෙළුවෙන් ඉන්නවා. උදේ පත්තරේ කියවන ටීවීකාරයාගෙ ඉඳලා රෑ නිවුස් කියවන ටීවීකාරයා දක්වාමත් දේශපාලන සාකච්ඡාවලට එන දේශපාලනඥයන්ගේ ඉඳලා චැම්පියන් ස්ටාර්ස්ලා, කොපිචැට් නළුනිළියො දක්වාමත් මං දකින්නෙ හෙළුවැල්ලෙන් දඟලනවා. එකෙකුටවත් ලැජ්ජ බයක් නෑ. මාත් එහෙමයි. මං කිසි ලැජ්ජ බයක් නැති මිනිහෙක්.

ඊයේ මට මගේ පරණ මිත්‍රයෙක් කථා කළා. මං රැකියා විරහිතයෙක් බව මිත්‍රයා දන්නවා. මිනිහා ඇහුවා කැමතිද ආයෙත් රස්සාවක් කරන්න කියල. මං දෙපාරක් හිතුවෙ නෑ, කැමතියි කිව්වා. පස්සෙ කිව්වා වැඩේ ලෑස්ති කරලා මට කථා කරන්නම් කියල. හැබැයි මිනිහා දුරකථනය තියන්න කලින් මං ඇහුවා මොකක්ද වැඩේ කියල. ඔහු කිව්වෙ ප්‍රකාශකයෙක් ළඟ වැඩ කරන්න කියල. ප්‍රකාශකයෙක් ළඟ රස්සාවක්? මොන ලැජ්ජ නැති රස්සාවක්ද ඒක? ඒත් මං ඒ ලැජ්ජ නැති වැඩේට කැමති වුණා. ඇත්ත වශයෙන් ඕක මට අලුත් රස්සාවක් නෙවෙයි. වතාවක් මං ප්‍රසිද්ධ ප්‍රකාශකයෙක් ළඟ ප්‍රකාශන කළමනාකරු විධියට වැඩ කළා. ප්‍රකාශන කළමනාකරුට ඉංග්‍රීසියෙන් කියන්නෙ පබ්ලිෂින් මැනේජර් කියල. මැනේජර්කම මං ආස රස්සාවක් නෙවෙයි. ඉස්සර අපේ තාත්තා සමුපකාරෙ මැනේජර් වෙලා ඉන්දැද්දි හවසට ගෙදර එන්නෙ මුළු පළාතම ගඳ ගස්සගෙන. යටිමඩිගහපු බොම්බෙලි කරෝල තාත්තාගෙ මල්ලෙ තිබුණා. තාත්තා මල්ල විසි කරලා ඇඟපත සෝදගෙන එද්දි ඒ ගඳ අතුරුදන් වුණත් අර පබ්ලිෂින් මැනේජර්කම ගත්තාට පස්සෙ මගේ ඇඟේ දැවටුණු ගඳ තාමත් මගෙ ඇඟෙන් වහනය වෙනවා.

එදා ප්‍රකාශකයා ළග මට එතන රාජකාරි කීපයක් කරන්න තිබුණා. එකක් අලුතින් මුද්‍රණය කරන පොත්වල මුද්‍රණ අංක පරණ මුද්‍රණ අංකයෙන්ම යැවීම. ඒක මොන අපරාදයක්ද කියල ඔහෙලාට හිතෙයි. මොකද පොතක් පළ කරන වාර ගණන පොතක සඳහන් වීම පොතේ විශිෂ්ටත්වයට කොච්චර හොඳද? ඇරත්, පොත් දාහක් අලුතින් ගහද්දි අලුත් මුද්‍රණ වර්ෂය සඳහන් කරන්න ඕන. ඒක සම්මතයක්. නැත්නම් කොහොමද කෙනෙක් පොතේ ඉතිහාසය දැනගන්නෙ? ඒත් අපි වෙනස්. අපි ක්‍රමය වෙනස් කරපු මිනිස්සු. අපි ඒක වෙනස් කළා. හේතුවක් තියෙනවා ඒකට. පොතක මුද්‍රණ වර්ෂය සඳහන් කළොත් කතුවරයාට දැනගන්න පුළුවන් තමන්ගෙ පොතේ අලුත් මුද්‍රණයක් ඇවිත් කියල. එතකොට ඒ ලේඛකයා අපේ හාම්පුතා ළඟට ඇවිත් අලුත් මුද්‍රණයේ කර්තෘභාගය ඉල්ලලා කනිපින්දන් ගහනවා. ඒකට ඉඩ දෙන්න පුළුවන්ද අපට? රස්සාවක් කරනවා නම් එතන සුබසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒකට අපි වැඩ කළා. ඒවගේම වැඩිපුර අලෙවි වෙනවා කියල හිතන පොත් වරකට දාහක් නෙවෙයි, පන්දාහක් මුද්‍රණය කළා. ඒත් පරණ මුද්‍රණ අංකයෙන්. කියන්නෙ නම් සිංහල නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය කියල. ඒත් ඒවා එහෙම තමයි.

තව විලිලැජ්ජ නැති දෙයක් මං කළා. ඒ තමයි කවුරුහරි බෝතල් පත්තරකාරයෙක් අපේ හාම්පුතාට පත්තරෙන් නෙළලා තිබ්බොත් ඒ නෙළපුවා හයිලයිට් පෑනකින් මාක් කරලා හාම්පුතාට පෙන්වීම. පෙන්නලා විතරක් නතර වුණේ නෑ, අපේ සුධීමතුන්ගේ නමින් අර පත්තරකාරයාට කණ පැලෙන්න උත්තරත් ලිව්වා. ඇත්ත වශයෙන් මං එහෙම පත්තරවලට ලියපු උත්තර ලිපි එකතු කරලා අපේ ප්‍රකාශන අධිපතිතුමා නමින් දැන් දුසිම් ගානක පොතුත් පළ කරලා තියෙනවා. මට මතකයි හාම්පුතාගෙන් අයින් වෙන්න කිට්ටුව මං එතුමාගේ ස්වයංචරිතාපදානය ලිව්වා. ස්වයංචරිතාදානයක් කියන්නෙ තමුන් ගැන තමුන්ම ලියන පොතක්. මං ඒ සම්ප්‍රදායත් වෙනස් කළා. ඒක කළේ විප්ලවවාදියෙක් වෙන්න බලාගෙන නෙවෙයි, සන්තෝසමක් දෙනවා කියල අධිපතිතුමා පොරොන්දු වුණු නිසා. ඒත් පොත පළ වුණාට පස්සෙ එතුමා පොරොන්දු වෙච්ච සන්තෝසම දුන්නෙ නෑ. ඒකට මං දුක් වුණේ නෑ. මොකද මට වංචා කළාට මං වාර්ෂික සාහිත්‍ය සම්මාන උත්සවේ සංවිධානය කරද්දි ලොකු ගානකට විද්දා. මොනවා වුණත් දැන් එතුමාගේ ස්වයංචරිතාපදානය හැම පසළොස්වක පෝය දවසකම උපාසකම්මලාට නොමිලේ බෙදා දෙනවා ඉඳහිටලා මං පත්තරවල දකිනවා.

ඉතින් මං ඔය විධියේ ලැජ්ජ නැති මිනිහෙක්. ලැජ්ජාව – බය අපේ සමාජ ප්‍රගමනයට ලොකු බාධාවක් කියල මං හිතන්නෙ. දැන් ළමයෙක් ගන්න. ඒ ළමයා ලැජ්ජයි කියල ඉදිරියට නොආවොත් ඒ ළමයා හැමදාම මුළුගැන්වෙනවා. ලැජ්ජාව කියන එක තුට්ටුවකට මායිම් නොකරන මිනිස්සු මේ ළමයින්ට පෙන්නලා දෙන්න ඕන. අර පාර්ලිමේන්තුවේ එච්. ප්‍රේමචන්ද්‍ර කියල මන්ත්‍රීතුමියක් ඉන්නෙ. එතුමිය මේ පාසැල් දරුවන්ට හොඳ ආදර්ශයක්. මට මතකයි ඉස්සර අපේ අම්මලා තාත්තලා ගමේ තරුණියක් ඩෙනිම් කලිසමක් ඇඳගෙන පාරෙ ගියොත් කියන කතා. අපෝ! විලිසංගෙ නැති නැට්ටිච්චියක්! ඒත් දැන් තත්ත්වෙ කොහොමද? වෙසක් පෝය දවසෙ අපේ ගෑනි පන්සල් යන්නෙත් ඩෙනිම ගහගෙන. මේ ළඟදි මං විශ්වවිද්‍යාලෙට ගියා අහම්බෙන්. ඒකෙ කැන්ටින් එකේ තරුණ ජෝඩු ඉන්න හැටි දැක්කාම මට ලොකු සතුටක් දැනුණා. මොකද ඔවුන් හිටියෙ කිසි විලිසංගයක් නැතිව. හෙට අනිද්දාම අපි නිව්යොර්ක්, ලොස්ඇන්ජලීස් ගානට දියුණු වුණොත් ඒ මේ තරුණ තරුණියො හින්දා කියල කිරිගහට ඇන්නා වගේ කියන්නැහැකි. අරගල කරන්නෙත් මේ අයම වීම ජාතියේ වාසනාවක්.

මට හිතෙන්නෙ අපි සිස්ටම් චේන්ජ් එකකට සූදානම් වෙන්න ඕන. හැබැයි සිස්ටම් චේන්ජ් කියන වචනෙ කියනකොට මට බඩේ අමාරුවක් හැදෙනවා. මේ දැනුත් එහෙමයි. ඒ හින්දා ඒ වචනෙ මං පාවිච්චි කරන්නෙ ළඟපාත කක්කුස්සියක් තියෙනවා නම් විතරයි. සිස්ටම් චේන්ජ්වලට වඩා හොඳ වචන අපේ ශබ්දකෝෂයේ නැද්ද? දැන් දුස්රා කියන වචනෙ බලන්න. ඒක අපේ මුරලිදරන් නිසා ලෝකෙට ගියා. ඒවගේම ඩිල්ෂාන් නිසා ඩිල්ස්කූප් ගියා. ඒ වගේ අපේ සලකුණ තියෙන වෙනසක් අපට ඕන වෙනවා. මොනවා වුණත් හරීන් මන්ත්‍රීතුමා කරන වෙනසට මං කැමතියි. විලිලැජ්ජාව කියල කලඳක් තියෙනවා නම් ඒ වෙනසට කට්ටිය එකතු වෙන්නෙ නෑ. ඒත් ඔවුන්ට විලිලැජ්ජාව නෑ. ඒක ප්‍රගමනයක්. ඒ වගේ ප්‍රගමන ඡන්දෙ කිට්ටුව විතරක් දකින්න ලැබීම නම් කනගාටුයි.

ගෙදරට වෙලා තනියම ඉද්දි සමහර වෙලාවට මට දුක හිතෙනවා. පත්තරේ වැඩ කරපු මුල් කාලෙ සමහරු මං සම්මුඛ සාකච්ඡාවකට ලක් කළාම මගෙ අතේ සල්ලි මිට මෙලෙව්වා. ඒත් මං විලිලැජ්ජාව තිබුණු හින්දා ඒ සල්ලි බාරගත්තෙ නෑ. දැන් තමයි ඒ කරපු මෝඩකම්වල තරම තේරෙන්නෙ. ඒ මෝඩකම් කරන එක මං නැවැත්තුවේ අර පොත් අධිපතිතුමා ළඟ වැඩට ගියාම. මොකද එතුමා පොත්වලින් ලාබයක් නෑ, පාඩුයි කියල මරුවට ගණන් හිලව් දාලා ඔප්පු කරනවා. ඒවගේම මොන කුණු පොතක් හරි තමන් ගැහුවා නම් සම්මාන උළෙලෙදි උඩට ගන්න හැටි එතුමා දන්නවා. එතුමා විතරක් නෙවෙයි, සියලු පොත්කාරයො දන්නවා. ඉතින් අපි ඉස්සරහට යන්න නම් විලිලැජ්ජාව නැති කරන්න ඕන. එහිදී අපට අපේ රතු අයියලා මල්ලිලාගෙනුත් යමක් ඉගෙනගන්න පුළුවන්. මොකද ඔවුන් තමයි ඡන්ද වර්ජනය කරන හැටි අපට ඉගැන්නුවේ කාලයකට ඉස්සර. ඒ දවස්වල ඡන්දෙ දාපු මිනිස්සු පෙට්ටියේ යවලා ඒ පෙට්ටිය දණින් උඩට උස්සන්නවත් දුන්නෙ නෑ ඔවුන්. ඒත් දැන් ඔවුන් ඡන්දම ඉල්ලනවා. ඡන්ද ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. ඡන්දෙ නොතිබ්බොත් රට අකර්මණ්‍ය කරනවා කියනවා. විලිලැජ්ජාව කියල කලඳක් ඔවුන්ට තියෙනවාද? නෑ. අන්න නියම ප්‍රගතිශීලී මිනිස්සු.

මං මෙච්චර වෙලා ලිව්වෙ විලිලැජ්ජ නැතිකම ගැන. මොන විලිලැජ්ජාව නැතත් ගෙදර උන්දෑ කියන දේකදි නම් මම මට අනුව තීරණ ගන්නෙ නෑ. උන්දෑ අනුව තීරණ ගන්නෙ. ඒ මොකද? මට ඒකටත් විලිලැජ්ජ නෑ.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment