මේ යන්නේ නොබැඳි ගමනක්ද? වහල් ගමනක්ද?

86

අඩු වැඩි වශයෙන් සුළු වෙනස්කම් යම් යම් කාලවකවානුවලදී දැකිය හැකි වුවද සමස්තයක් ලෙසින් ගත්කල අපේ අතීත නායකයන් නොබැඳි ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම නිදහස් ලංකාවේ ආරම්භයේ සිටම දැකිය හැකි විය.

කුඩා රටක් වුවද ඒ අතින් සියලූ දෙනාගේ ගෞරවය දිනාගන්නා ආකාරයේ හැසිරීමක් ශ‍්‍රී ලංකාවට උරුමව තිබුණි. විදේශ ප‍්‍රතිපත්තිය අතින් බොහෝදුරට ස්ථාවරභාවයක් අපේ ආණ්ඩුවලට තිබීම පැහැදිලිව දැකිය හැකිවිණ.

සේනානායකවරුන්ගේ ආණ්ඩු කාලවලදී චීනය සමග ඇතිකරගත් රබර් – සහල් ගිවිසුම අපේ නොබැඳි ප‍්‍රතිපත්තිය පෙන්නුම් කරන හොඳ අවස්ථාවක්. චීනය සමග ඒ ගිවිසුමට ගියහොත් බටහිර ආධාර අපේක්ෂා නොකරන්නැයි කියන තර්ජනය තිබියදී සේනානායක රජය ඒ ගිවිසුමට එළඹුණේ කිසිදු රාජ්‍යයක තර්ජනයනට දණ නොනමන ලෙසින් තිරසාර නොබැඳි ප‍්‍රතිපත්තියක පිහිටා සිටිමිනි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජය ලද ජපානයෙන්, සිදු කළ හානිවලට වන්දි ලබාගත යුතුය යන ජයග‍්‍රාහී බලවතුන්ගේ ස්ථාවරයට විරුද්ධව යමින් වැටුණු රටකින් වන්දි ලබා ගැන්මට යෑම සුදුසු නොවන බවට සැන් ප‍්‍රැන්සිස්කෝ ජගත් සමුළුවේදී කුඩා රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගත් නිර්භීත ස්ථාවරය අදද ජපන් ජනතාව කෘතවේදීව සිහිපත් කරති. එදා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මේ කුඩා රට වෙනුවෙන් ”වෛරයෙන් වෛරය නොසන්සිඳෙන” බවට ධම්ම පදයේ එන ”නහී වේරේන” ගාථාව උපුටා කථාව පවත්වා තිබුණේ ජේ.ආර්. ජයවර්ධන එවකට ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයායි.

එමෙන්ම චීන – ඉන්දීය ආරවුල පැවති අවධියේ එය සමතයකට පත් කිරීම සඳහා මුල් වෙමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව ද අපට පෙන්නුම් කරන්නේ, ශ‍්‍රී ලංකාව ප‍්‍රමාණයෙන් කුඩා රටක් වුවද, නොබැඳි ප‍්‍රතිපත්තියේ පිහිටා සියලූ දෙනාගේ ගෞරවය හා විශ්වාසය දිනාගනිමින් අපේ අභීත නායකයන් ක‍්‍රියාකර ඇති ආකාරයයි.

එහෙත් අද ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කොයිබටද යන්න සැබවින්ම ප‍්‍රහේලිකාවකි. චීනය මෙන්ම ඉන්දියාව ද අපේ ඓතිහාසික මිත‍්‍රයන්ය. අප කිසිදු රාජ්‍යයක් සමග ආරාවුල් ඇතිකරගත යුතු නැත. එහෙත් අප කිසිදු රාජ්‍යයක් ඉදිරියේ දණ නැමිය යුතුද නැත. රණසිංහ පේ‍්‍රමදාසයන් ජනපතිව සිටි අවධියේදී අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙසින් ඇඟිලි ගැසීම් අපේ රටේ ගෞරවයට හානියක් ලෙසින් සලකමින් විදේශීය සාම සාධක හමුදාව ආපසු යැවීමට ගත් තීරණය මගේ මතකයට නැගේ.

වර්තමාන පාලනය බලය ලබා ගත්තේ ජාතික ස්වෛරීත්වය සහ ආරක්ෂාව යන සටන් පාඨය ඉහළින්ම මතු කරමිනි. නමුත් අද සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

ශ‍්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති අවධියේ වෙළෙඳ සමාගමක් ලෙසින් මේ කලාපයට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයන්ගේ මතකය අවධි කරන ලෙසින්, අද චීන වෙළෙඳ සමාගමක් අපේ ස්වෛරීභාවයට අභියෝග කරමින් සිටී. පොහොර සම්බන්ධව අපේ රාජ්‍ය ආයතන, පර්යේෂණ ආයතන, විද්වතුන් ඒවායේ හානිකර බව පිළිබඳව දී ඇති තීරණ තීන්දු ඔව්හු අභියෝගයනට ලක්කරමින් සිටී. මේ අතර තානාපති කාර්යාල විසින් අපේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම ප‍්‍රකාශ කර තිබේ. පොහොර සම්බන්ධ හානිකර බව ගැන රජයේ පර්යේෂණාගාරවල පර්යේෂණවලින් අනතුරුව අපේ රාජ්‍ය හා සම්බන්ධ විද්වතුන් ගෙන ඇති තීරණ තීන්දු පිළිබඳව මෙන්ම රජයේ ආයතනයක් වන මහජන බැංකුව සම්බන්ධයෙන් ද බාහිර රාජ්‍යයක් සිදුකරන මේ අභියෝගයන් ගැන මේ වනතෙක් රජය හෝ විදේශ අමාත්‍යාංශය කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නොතිබීම පුදුමයකි.

මේ හැරෙන්නට තානාපති කාර්යාලවලින් කෙරෙන කැඳවීම්වලට බුරුතු පිටින් අපේ ඇමැතිවරුන් ඔවුන්ගේ කාර්යාල වෙත යමින් රටේ ගරුත්වය හෑල්ලූ කිරීම ගැන පළවන මාධ්‍ය වාර්තා අපි දකිමින් සිටිමු. මේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. අපේ අතීත නායකයන්ගේ ජාත්‍යන්තර තලයේ හැසිරිම් එදා අපේ රටට ගෙනදුන්නේ අභිමානයකි. අද මේ සිදුවෙමින් පවතින්නේ සිතාගත නොහැකි තත්ත්වයකි.

අපි එක් කඳවුරකට තල්ලූවීම, ඔවුන් මතම රැඳී සිටීම වැනි හේතූන් නිසා අනෙක් කඳවුරේ ප‍්‍රහාරයනට ලක්වීම අපි දකිමින් සිටීමු. ජිනීවාහි හෝ බ‍්‍රසල්ස්හි මානව හිමිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආදිය උල්ලංඝනය කිරීම් වැනි කරුණු මත අපේ රටට ඇඟිල්ල දික්වන අවස්ථාවලදී අපේ රට හුදෙකලාවීම පෙන්නුම් කරනුයේ, අපේ රට නොබැඳි පිළිවෙතින් බැහැරවීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදුව ඇති තත්ත්වයයි.

අපේ භූගෝලීය පිහිටීම හේතුවෙන් ලොව බලවතුන්ගේ විශේෂ අවධානයක් අපේ රට කෙරේ තිබීම සාධාරණය. මෙහිදී අපේ විදේශ ප‍්‍රතිපත්තිය මැනවින් තුලනය කරගැන්ම අවශ්‍යවේ. වෙනස්වී ඇති ලෝක බලතුලනය තුළ අපි නොබැඳි පිළිවෙතින් බැහැරවී, පැවැත්ම උදෙසා එක් බලවතෙකු මත රැඳී සිටින්නට කටයුතු කළහොත් ඇතිවිය හැකි ගැටලූ සහගත තත්ත්වයන්හිදී අපේ රට ද පොරපිටියක් වීම සිදුවනු ඇත.

මැතිවරණ ජයග‍්‍රහණ සඳහා මතු කළ ජාතික ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව යන කරුණු දැන් අමතකව ගොස් ඇතිසේය. මාතෘභූමිය කිසිදු බලගතු රටක හෝ කඳවුරක වහල් දේශයක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුව ඇත. ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටවල ආරක්ෂාව සහ අභිමානය උදෙසා නොබැඳි පිළිවෙත මෙන්ම නොබැඳි කඳවුර ද ශක්තිමත් කර ගනිමින් ඒ මග යා යුතුව ඇති බව මගේ විශ්වාසයයි.

advertistmentadvertistment
advertistmentadvertistment