මේ රෝමයේ සීසර් නොවෙයි… මහපාරේ මිනී මරන ලීසිං-සීසර්

268

● ලීසිං නොගෙව්වොත් කොම්පැනිය අමාරුවේ

● වාහනේ ගේන්න යවන සීසර්ලා හැසිරෙන්නේ කුලී හමුදාවක් වගේ

මංකොල්ල කල්ලියක් විසින් පසුගිය සතියේ තවත් වටිනා මනුෂ්‍ය ජීවිතයක් බිලිගෙන ඇත. ඒ වත්තේගම පොල්ගොල්ලේ මීගම්මන වත්තේ විසූ තිස්පස් හැවිරිදි අවිවාහකයකු වන ජාලිය කුමාර නමැති සුළු ව්‍යාපාරික තරුණයාවයි.

හිමිදිරි උදයේ තම නිවසේ ගරාජයේ ගාල්කර තිබූ තමා හරිහම්බ කරන් කන ලොරි රථය පැහැරගෙන යද්දී ඒ පසුපස දිව ගිය ජාලිය කුමාරව එකී මෘගයන් විසින් පහර දී ඝාතනය කළාද වාහනයෙන් බිමට ඇද දමා මියෙන්නට සැලැස්සුවාද එසේත් නැතිනම් වෙනත් හේතුවක් මත ජාලිය මිය ගියාද යන්න තාමත් නොවිසඳුණු රහසකි.

කල්බදු හෙවත් ලීසිං ප්‍රශ්න නිසා මෙසේ අවාසනාවන්ත අන්දමට මිය ගිය පළමුවැන්නා ජාලිය පමණක් නොවේ. මිනීමරු සීසර්ලා විසින් උඩුමහලින් බිමට ඇද දමා පොලු මුගුරුවලින් පහරදී අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ නුගේගොඩ පොඩි චූටි ගැන ජනතාවට තාම මතක ඇත. එසේම මීගමුවේ කමල්රාජ් නමැති අධම සීසරයා විසින් මහමගදී වාහනයක් උස්සන්නට ගිය කල වාහන හිමිකරු එය දීමට පැකිලෙද්දී එහි සිටි මෙලෝ දෙයක් නොදන්නා වාහන හිමිකරුගේ දස හැවිරිදි දරුවා ග්‍රහණයට ගෙන වාහනය නොදෙන්නේ නම් දරුවාගේ ගෙල කරකවා මරණ බවට තර්ජනය කළ අසික්කිත පහත් ජඩ ක්‍රියාවත් අපට අමතක නැත.

ඇරියස් වුණු වාරික ගෙවන්නට නොහැකිව හිත් පිත් නැති සීසර්ලා නමැති මංකොල්ලකරුවන්ගේ තාඩන පීඩන තර්ජන ගර්ජන නින්දා අපහාස මානසික සහ ශාරීරික වධ හිංසා දරා ගන්නට නොහැකිව සිය දිවි නසා ගත් පුද්ගලයන් ගැන ද අපි දනිමු. අසල වන රොදකට වැද කෘමිනාශක බෝතලයක් පානය කොට සිය පණ නසාගත් වේයන්ගොඩ සරත් සහ නිවස පිටුපස කොස් ගසේ අත්තක ලණුවක් බැඳ එහි ගෙල වැලලාගෙන මියගිය පාදුක්කේ කුමාර ගැනත් මෙහිදී සංවේගයෙන් යුතුව සිහිකරමි. ණයකාරයන් වුවද ඔවුන්ද මනුෂ්‍යයන්ය. වැඩි අධ්‍යාපනයක් නැති මුදල් හදිස්සිය පමණක් ඇති අසරණ කල්බදු අයදුම්කරුවාව මෙකී සමාගම් විසින් මුලින්ම රවට්ටන්නේ කල්බදු අයදුම්පතින් සහ ගිවිසුම් කොළ සෙට් එකෙනි. ඒවායේ ඇති සියල්ලක්ම ඇත්තේ ඉංග්‍රීසි බසිනි. ඉංග්‍රීසි බස යනු අප රටේ සම්බන්ධීකරණ භාෂාව මිස රාජකාරි කරන රාජ්‍ය භාෂාව නොවේ. (අප රටේ රාජ්‍ය භාෂා වන්නේ සිංහල සහ දමිළ භාෂාවන් ය.)

මුදල් හදිස්සිය ඇති ගනුදෙනුකරුවා අර ගිවිසුමේ ඇති කිසිම දෙයක් නොතේරුණද තම අවශ්‍යතාවය දැඩි නිසා කරුණු කාරණා කිසිවක් නොවිමසා එහි ඇති තිත් පේළි උඩ ඔහේ තම අස්සන යොදයි.

ගිවිසුමක් සඳහා සාමාන්‍යයෙන් පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතුය. මෙහිදී එකී පාර්ශ්වයන් සියල්ලන්ටම සම බලයක් සම අයිතියන් හිමිවීම ආචාර ධර්මයන්ට මෙන්ම නීත්‍යානුකූලභාවයටත් අදාළය. නමුත් ඉංග්‍රීසි නොදන්නා ගනුදෙනුකරුවාට ලීසිං කොම්පැනි ඉංග්‍රීසියෙන් පමණක් ලියූ ගිවිසුම් කොළ පුරවන්නට දීමෙන් කරන්නේ බලවත් අසාධාරණයකි. කොම්පැනිය ඉහළ ගොස් ගනුදෙනුකරු පහළට දමයි. මෙනයින් බලන කල 2000 වසරේ 56 දරණ කල්බදු මූල්‍ය පනත් ගිවිසුමේ ඇති සෑම පාර්ශ්වයකටම හිමි සමානතාවයේ සංඝටකය ඔවුන් අමු අමුවේම උල්ලංඝනය කරයි.

නොවැළැක්විය හැකි කරුණක් නිසා මිස කල්බදු ගෙවන්නන්ගෙන් බහුතරයක් දෙනා හිතාමතා තම වාරික ගෙවීම අතපසු කරන්නේ නැත. සහරාන්ලාගේ පාස්කු දින ප්‍රහාරය, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා රට වසා දැමීම, ඇඳිරි නීතිය, ලෝක ආර්ථිකය බිඳ වැටීම, ඉන්ධන හා බලශක්ති අර්බුද ආදී කරුණු නිසා මුළු රටම රාජ්‍යයම ආණ්ඩුවම සහ මහ පරිමාණ ව්‍යාපාරික ලෝකයම වැටී ඇති මේ මොහොතේ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය ගැන කුමන කතාද?

කල්බදු (Leasing) ක්‍රමයට හෝ කුලී සින්නක්කර (Hire Purchase) ක්‍රමයට ණයක් ගත් අයෙකු නියමිත දිනට නියමිත ක්‍රමයට එය ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ඔහු හෝ ඇය ඒ වෙනුවෙන් තමා අත්සන් කරන කල්බදු ගිවිසුමට අනුව නීතියෙන් බැඳී සිටී. එහි තර්කයක් නැත. නමුත් හදිසි අවස්ථා නොවැළැක්විය හැකි ආපදා අර්බුද, මූල්‍ය ගැටලු අප කාටත් කවදා කොයි වෙලේ හෝ පැමිණිය හැක. මෑත කාලයේ රටේ මතුවුණ අප කලින් සඳහන් කළ අර්බුද සහ ව්‍යසන නිසා පහර වැදුනු කණ්ඩායම් කීපයක්ම තමා කල්බදු ක්‍රමයට ලබා ගත් වාහනවලට වාරික ගෙවා ගන්නට නොහැකිව ඉතා අසීරු තත්ත්වයන්ට පත්වී සිටී. ත්‍රිරෝද රථ හිමියන්, බට්ටන් සහ බඩී වැනි කුඩා ට්‍රක් රථවලින් ව්‍යාපාර කරන්නවුන්, චූන් පාන් කරුවන්, පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ මිලදී ගත්තවුන්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං ව්‍යාපාර රැකියා ආදිය කරන්නන් මෙන්ම කුඩා වාහන මිලදී ගත් මාසික පඩි ගන්නා මධ්‍යම පන්තිකයන් ද මේ අතරින් මුල් තැන ගනී. කල්බදු ගනුදෙනුකරුවන් නියමිත අන්දමට වාරික ගෙවීම පැහැර හරිද්දී වැඩිපුරම අමාරුවට අසීරුතාවයට පත්වන්නේ කල්බදු පහසුකම් සපයන සමාගම්වල ලොකු කුඩා සේවකයන්ය. අත් දිගට ඇඳ ටයි පටි පැළඳ ඉංග්‍රීසියෙන් කතා කරමින් සීත කාමරවල සිටියාට උන් ජීවත්වෙන්නේද මේ ගනුදෙනුකරුවන් විසින් ගෙවන වාරික මුදලින් බව උන් මෙන්ම අපද දැන ගත යුතුය. සුංගම්කරුවන් නොහොත් පොලියට මුදල් දෙන්නන්, අසරණයා ගසා කා අයථා ලෙස මුදල් උපයන්නන්, ස්ත්‍රීන්ව කාම වෘත්තියේ යොදවන්නන් කිතු දහමට අනුව පාපිෂ්ඨයන් වන අතර ජේසුස් වහන්සේ ඔවුන්ව පිළිකුළින් යුතුව හෙළා දැක ඇත. බුදුන් වහන්සේ දෙසූ ආර්ය අෂ්ටාංගික මාර්ගවලට අනුව ඉහත කී රැකියා සහ ව්‍යාපාර සියල්ල දහමට පටහැණිවේ.

වාරික මුදල් ගෙවීමට නොහැකිව අසරණ වූ ගනුදෙනුකරුවාට දුරකතනයෙන් සහ මුහුණට මුහුණ බලාගෙන අසික්කිත විදියට බැණ වදින තර්ජනය කරන ලීසිං කොම්පැනිවල ටයි පැළඳි වැදගත් මහත්තුරු මම අනන්තවත් දැක ඇත. ඔවුන් ගැන මට ඇත්තේ පිළිකුළ මුසු අනුකම්පාවකි. ඔවුන් කන්නෙ බොන්නේ ජීවත්වන්නේ අසරණයා ගෙවන වාරික මුදලින් බව මම උන්ට කීපවරක්ම කියා දී ඇත. මංකොල්ල කල්ලි ලෙස හඳුන්වන සීසර්ලා තග දමා අත පය කඩා බෙල්ල කරකවා හෝ ඝාතනය කර වාහන උස්සන්නේ හුදෙක් මුදල් වලට මිස උන්ට වෙනත් තරහක් අරෝවක් ඇති නිසා නොවේ. මෙසේ ඔවුන්ට මුදල් දී උසිගන්වා එවන්නේ මුදල් අහේනියෙන් පෙළෙන අවස්ථාවාදී ලීසිං සමාගම්කරුවන් ය.

පවතින නීතියට අනුව ආවාට ගියාට වාහනයක් ඉස්සීමට සීසරයෙකුට දැන් නොහැක. ඒ සඳහා අප දන්නා අන්දමට ක්‍රම දෙකක් ඇත. ඉන් පළමුවැන්න ඍජුවම අධිකරණයකට ගොස් එහිදී ලබා ගන්නා නියෝගයක් මත නීත්‍යානුකූලව වාහනය අත්පත් කර
ගැනීමයි. දෙවැනි ක්‍රමය ඉස්සීම හෙවත් සීස් කිරීමයි. සීස් කරන්නටත් ආවාට ගියාට බැරිය. සමාගම විසින් මුලින්ම කළ යුත්තේ ගෙවිය යුතු ඇරියස් එක ගැන විස්තර දන්වා තම ගනුදෙනුකරුට ලිපියකින් දැනුම් දීමයි. එසේ දැනුම් දී සතියකට පසු දෙපාර්ශ්වය අතර ඇති ගිවිසුම අවලංගු කළ යුතුය. ඉන්පසු වාහනය ඇති සහ ගනුදෙනුකරු වෙසෙන ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දමා පොලිස් නිලධාරියෙකුගේද සහය ඇතුව අදාළ පුද්ගලයාගේ නිවසට යා හැක. මෙහිදී පොලිස් නිලධාරියාගේ කාර්යභාරය වන්නේ වාහනය ඉස්සීමට සහය දීම නොව මෙතනදී යම් සාමය කඩවීමක් සිදුවුණොත් එය පාලනය කිරීමයි. සීසර්ගේ සහ ගනුදෙනුකරුගේ ආරක්ෂාව, ප්‍රජාවේ සාමය සහ ආරක්ෂාව පාලනය කිරීම ඔහුගේ රාජකාරියයි.

අධිකරණ නියෝගයක් මත උස්සන ලද වාහනයක් රැගෙන යා යුත්තේ පෞද්ගලික අංගනයකට (යාර්ඩ් එකකට) නොව අධිකරණයට හෝ අධිකරණය විසින් නම් කරන ස්ථානයකටයි. වාහනයේ ඇති අමතර කොටස් බැටරිය, කැසට් රේඩියෝව, ඩීවීඩී යන්ත්‍රය, වායුසමීකරණය හෝ වෙනත් කිසිම උපාංගයක් ගැලවිමට හෝ හොරා කෑමට සීසරයාට හෝ සමාගමට කිසිදු අයිතියක් නැත.

ගිවිසුමට අනුව දෙපාර්ශ්වයටම සම අයිතියක් ඇති නිසා නඩු භාණ්ඩය වන වාහනය අධිකරණයෙන් ඉල්ලා සිටිමට දෙපාර්ශ්වයටම හැකියාවක් ඇත. කෙසේ වෙතත් එය තීරණය කරන්නේ අධිකරණයයි. ගෙවිය යුතු වාරික මුදලින් 75%‍ (සියයට හැත්තෑ පහක්) ගෙවා ඇත්නම් බොහෝ විට ගනුදෙනුකරුට වාහනය ලබා දෙන බව මා අසා ඇත.

අද අප රටේ ඇති මේ කල් බදු නීතියේ වාසිය ඇත්තේ ගනුදෙනුකරුට නොව සමාගමට වන අතර එය සමාන වන අන්දමට අදාළ පනත් සහ නීති වෙනස් විය යුතු බව නැවතත් කියමි.

වාහන උස්සන සීසර්ලා බහුතරයක් දෙනා අවර වැඩට ලැදි පාතාලයට සම්බන්ධ අණක් ගුණක් නැති නඩු දෙක තුනක් ඇති හිරේ විලංගුවේ වැටුණු ජඩයන් බවට සමාජයේ අප අසා ඇතත් සීසර්ලාගේ සංගමයක් ඇති බව මා දැනගත්තේ ඊයේ උදේ වරුවේයි. මට එම සංගමයේ ලේකම් වන ප්‍රියන්ත ලියනගේ මහතාව අඳුන්වා දුන්නේ මගේ මිතුරෙක් සහ ඥාති සොයුරෙක් වන රොෂාන් මහතා විසිනි. ලේකම් ප්‍රියන්ත විසින් මට එකී සංගමයේ සභාපති වන සංජීව කුමාර මහතාව ද හඳුන්වා දුනි.

එම සමස්ත ලංකා දේපළ අත්පත් කරගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත මහතා කියා සිටියේ ඔවුන්ගේ සංගමය නීත්‍යානුකූල බවත් එය කොළඹ සමාගම් මන්දිරයේ ලියාපදිංචි කර ඇති බවත්ය. තම සංගමයේ මෙකී වෘත්තිකයන් දාහකට අධික ප්‍රමාණයක් මේ වන විට සාමාජිකත්වය ලබා ඇති බවත් ඒ සියලු දෙනාම මේ ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ඇති නීත්‍යානුකූල වෘත්තිකයන් බවත් ඔහු වගකීමෙන් යුතුව පැවසීය.

ර්‍ණඅපේ සංගමයට අපි සාමාජිකයෙක්ව බඳවා ගනිද්දි කරුණු කීපයක් ගැන අවධානය යොමු කරනවා.”

සංගමයේ සභාපති සංජීව මහතා තම අදහස් එසේ ප්‍රකාශ කරන්නට විය.

ර්‍ණඔහු සමාජයේ අප්‍රසාදයට ලක් නොවුණු චරිතවත් අයෙක් විය යුතුයි. අදාළ පොලිසියෙන් සහ ග්‍රාම නිලධාරිතුමා ගෙන් ඒ බව සනාථ කරන සහතිකයක් අවශ්‍යයි. එසේම අයදුම්කරු රජයේ රැකියාවක නියුතු වුණ හෝ ආරක්ෂක සේවාවක වැඩ කරල විශ්‍රාම ගිය අයකු නම් ඒක අමතර සුදුසුකමක්. විනය විරෝධී කටයුතුවල යෙදිල පෙර වැරදි තියෙන්න බෑ.”

පසුගියදා මහනුවර වත්තේගම ජාලිය කුමාර තරුණයා මිය යෑමේ සිද්ධිය ගැන මා සංගමයේ ලේකම් ප්‍රියන්තයෙන් විමසා සිටි අතර ඔහු මෙසේ පැවසීය.

ර්‍ණඒ සිදුවීමට සම්බන්ධ අය ගැන අපි දන්නෙ නෑ. ඔවුන් අපේ සංගමයේ සාමාජිකයන් නෙවෙයි. අපි සේවයේ යෙදෙන්නේ උදේ හයේ සිට සවස හය දක්වා කාලය තුළ විතරයි. අනික අපි මැර බලය සහ ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නෑ.”

අවසාන වශයෙන් ඔහු මෙසේද පැවසීය.

“එක මකුණෙක් කෑවම අනික් ඔක්කොම මකුණන් මරන එකනෙ අපේ සමාජ ක්‍රමය. අපිට ඒක වෙනස් කරන්න බෑනේ. ඒත් අපේ අරමුණ මේ සීසිං කියන වෘත්තියට වටිනාකමක් දීල ඒක හරි විදියට වැදගත් වෘත්තියක් වශයෙන් යළි සමාජ ගත කරන්නයි.”

සමස්ත ලංකා දේපළ අත්පත්කරගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ මහතුනි, ජනතාව ඔබ ගැන අවදියෙන්.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment