මේ වසරේ සංචාරක පැමිණීම් ලක්‍ෂය පනී – වැඩිම පිරිස ඉන්දියාවෙන්

170

මේ වසරේ (2021) සංචාරක පැමිණීම් ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ. මේ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ඉකුත් නොවැම්බර් 28 දින දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ගණන 101,872 ක් බව සංචාරක අමාත්‍යංශය පවසයි.

කොරෝනා වසංගතය සමග මෙසේ සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. එසේම නොවැම්බර් මස 01 වෙනිදා සිට පෙරේදා (28දා) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව වැඩිම සංචාරක පිරිසක් පසුගිය දින 28 තුළ පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප‍්‍රංශය, ඇමරිකාව, කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාවෙන් සංචාරකයන් පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 13,368 කි. ඉන්දියාවට පසු පසුගිය දින 28 ක කාලය තුළ වැඩිම සාංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 3,449 කි.

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය රුසියාව, ප‍්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක ප‍්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම වසර 06 කට පසු රුසියාවට සහ ප‍්‍රංශයට සෘජු ගුවන් ගමන් ද ආරම්භ කළ අතර රුසියාවේ AERO FLOT ගුවන් සමාගමත්, ප‍්‍රංශයේ AIR FRANCE ගුවන් සමාගමත්, ශ‍්‍රී ලංකාවට මේ මස මුලදී සෘජු ගුවන් ගමන් ආරම්භ කළහ. මේ තත්ත්වය එම රටවල සංචාරකයන් ශ‍්‍රී ලංකාවට ආකර්ෂණය වීමට හේතු වූ බව ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන විට යුරෝපා කලාපයේ රටවල් ගණනාවක ශ‍්‍රී ලංකාව විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කොට ඇත. ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment