මේ විදියටම පාතාලය මර්දනයට පොලිසිය වැඩ කළානම් හොඳයි – නාමල්

81

පොලිසිය දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කරන්න දරන මහන්සිය ඔය විදියටම පාතාලයත් මර්දනය කරන්න ක්‍රියාත්මක කළොත් බොහොම හොඳ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔය විදියටම පාතාලය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කළා නම් බෙලිඅත්ත අධිවේගයේ එක්සිට් එකේදී පස්දෙනකු මරල දානකම් පොලිසිය නොදැන ඉන්න විදියක් නෑ යැයි ද ඔහු කීවේය. නාමල් රාජපක්ෂ මහතා සිය සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ මහතා බැලීම සඳහා පෙරේදා (25දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

“මම ආවේ මල්ලි බලන්න. මට කලින් මල්ලි ආවා. බොහොම හොඳයි, පොලිසිය සෙනසුරාදා දවසේ, නිවාඩු දවසේ උදෙන්ම නැගිටලා නීතිපති උපදෙස් ක්‍රියාත්මක කරන්න කොළඹ ඇවිල්ලා. එහෙ නැති හින්දා හයිවේ එකදිගේ තංගල්ලට යන පාරෙ ගිහිල්ල බෙලිඅත්ත පිටවීමේ ස්ථානයෙන් නතර කරලා යෝෂිතව අරන්. ජනතාවගේ බදු මුදල්වලින් යන පොලිසියේ වාහන කිහිපයක් දාලා ආරක්ෂාවක් දිලා කොළඹ සී.අයි.ඩී. එකට ගෙනල්ලා කටඋත්තර ලියලා තිබුණා. පොලිසිය වැඩ කරන්න ඕන ඔහොම තමයි.

ඔය විදියට පාතාලය මර්දනය කිරීමටත් පොලිසිය කටයුතු කළානම් බෙලිඅත්ත ඔය එක්සිට් එකේදී පස්දෙනකු මරල දානකම් පොලිසිය නොදැන ඉන්න විදියක් නැහැ. අපිට එන්න කිව්වා නම් සෙනසුරාදා, ඉරිදා, සඳුදා කියලා අදාළ නැතිව අපි ඇවිල්ල තියෙනවා. අපි පොලිසියටත් ආණ්ඩුවටත් කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න, හැබැයි නෝන්ඩි වෙන්න බැහැ. යහපාලන කාලයේ ඔය කටයුතු භාරව හිටපු මහත්තය තමයි පොලිසිය භාර අමාත්‍යවරයා. ඉතින් දැන් යහපාලන ආණ්ඩුවේ ඉතිරි ටික ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුවට අනුව පොල්සම්බෝල කන එක ජාතික අපරාධයක්. කිරි හොදි කන එක ජාතික අපරාධයක්. අපේ මත්ස්‍ය අස්වැන්න අඩු නිසා මාළු පිටරටින් ගේන්න වෙනවා කියලා වැනි දේ කියන නිසා ආණ්ඩුව අපහසුතාවකට පත්වන එක වහගන්න හොරු ඇල්ලුවා කියලා අපිව අල්ලලා ජනතාවගේ හිතේ ගෞරවය දිනාගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ආණ්ඩුවේ මානසිකත්වය.

මහින්ද රාජපක්ෂ මහතා බලාගැනීමට දරුවන්ට බැරිද යන්න නාමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ “ලිඛිතව එව්වයින් පසුව උත්තර දෙන්නම්” කියාය.
චමින්ද සිල්වා


advertistmentadvertistment