මේ ශෝකජනක කතාවට සවන් දෙන්න

1071

(පොලිසිය ගැන හදිසියේම අපට දුක හිතෙයි)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් සිදුවීම් දෙකක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරනු ලැබේ. ඉන් පළමුවැන්න වන්නේ දකුණු පානදුර පොලිස් වැයික්කියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් පොලිස් කාන්තාවන් එක්කෙනෙකුගේ හෝ දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමය. එතුමාගේ දෙකයි පනහේ හැසිරීම පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ ප්‍රසිද්ධියට පත්ව තිබේ.

අපේ අවධානයට ලක්වන ඊළඟ කතාව වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමැති තරුණ කාන්තාව විසින් පොලිස් නිලධාරීන් ප්‍රසිද්ධියේ බදා ගනිමින් ඔවුන් අපහරණයට ලක්කර ඇති බව පොලිසිය විසින් අධිකරණයට ප්‍රකාශ කර තිබෙනු ලැබීමය. හිරුණිකා පොලිස්කාරයන් බදා ගන්නේ කාරණා දෙකක් මත ක්‍රමෝපායීය සිරිතක් වශයෙනි. කිසියම් උද්ඝෝෂණයක් පැවැත්වෙන විට පොලිසිය එතැනට පැමිණි කල්හි ඔවුන්ගෙන් විරෝධයක් එල්ලවීමට කලින් හිරුණිකා ඉදිරියට පැන පොලිස් නිලධාරීන් බදාගනී. එසේ බදා ගැනීම සඳහා ඇය විසින් නිදහසට කරුණු දෙකක් ඉදිරිපත් කරයි. බදාගැනීමට ලක්වන පොලිස් නිලධාරියා සිය පියාගේ වයසේ බව ඇය කියයි. එහෙමත් නැත්නම් එම පොලිස් නිලධාරියා සිය පියාගේ මිතුරකු බව ඇය කියයි. එවිට මේ කාරණා දෙකටම සත්භාවයේ ආවරණයක් ලැබේ. එය දක්ෂ දේශපාලන උපක්‍රමයකි. එසේ නැතිව පොලිස්කාරයෙක් ගේ ඉස්සරහින් යනවිට දුවගෙන ගොස් ඔහු බදාගැනීමේ සිරිතක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නැත. කෙසේ වුවද හිරුණිකාගේ දේශපාලන භාවිතය සහ දේශපාලන හැසිරීම මෙන්ම ඇය කියන කතාද ඇතැම් තැනකදී ඉතාම අව්‍යක්ත සමගි ජනබලවේගයේ ඡන්ද කඩන වර්ගයේ කතන්දරය. රාජකාරී වේලාව තුළ වැඩකරන රාජ්‍ය නිලධාරියකු ස්පර්ශ කිරීමේ අයිතියක් සිවිල් ප්‍රජාවට නැත. එබැවින් පොලිස් නිලධාරීන් වැළඳ ගැනීමේ දේශපාලන උපක්‍රමය කොතරම් දුරට වලංගු වන්නේ දැයි අපට වැටහීමක් නැත.

මේ අතර තවත් වැදගත් පුවතක් තිබේ. පානදුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා තම බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම පිළිබඳ පොලිස් කාන්තාවන් දෙදෙනා විසින් මේ වනවිටත් කටඋත්තර ලබාදී තිබේ. ඔවුන් සඳහන් කර ඇත්තේ ස්වකීය ප්‍රධානියා ස්වකීය බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවය. එහෙත් එය රාජ්‍යයට ප්‍රශ්නයකි. කෙනෙක් තව කෙනකුට පිහියෙන් අනිනවා යැයි සිතමු. ඒ පිළිබඳව පැවති පොලිස් පරීක්ෂණයේදී සාක්ෂි දෙන පිහි ඇනුම් කෑ එකා පිහි පහර තමාට අවුලක් නොවේ යැයි කියන්නේ යැයිද සිතමු. ඔහු එසේ කීවාට පොලිසිය විත්තිකරු උසාවි දැමීම අත්හිටුවන්නේ නැත. මන්ද යත් අපරාධයකින් පසු අපරාධකරුට එරෙහිව නඩු කියන්නේ අපරාධයට ලක්වූ පුද්ගලයා විසින් නොව රාජ්‍ය විසින් වීම නිසාය. මෙහිදී අපරාධයට ලක්වූ තැනැත්තා උසාවියේ කූඩුවට නගින්නේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස පමණි. ඒ අනුව දකුණු පානදුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම ඔය කියන තරම් ලේසියෙන් ගොඩදා ගැනීමට බැරිය. එම පොලිස් කාන්තාවන් දෙදෙනාට සුදුසු වන්දියක් ලබා දීමත් ප්‍රධාන පොලිස් පරීක්ෂකට සුදුසු දඬුවමක් ලබා දීමත් පොලිසියේ ඉහළ නිලධාරීන් අධිකරණය හරහා සිදුකළ යුතු බව අපගේ වැටහීම වේ. එසේම බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම තමන්ට ප්‍රශ්නයක් නොවන බව පොලිස් කාන්තාවන් කියන්නේ කිසියම් බලපෑමක් මත බව යන්න අපගේ හැඟීම වේ.

පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනය වේ. ලක්ෂයකට කිට්ටු පිරිසක් එහි සේවය කරති. මේ පිරිසෙන් අඩුම ගණනේ 75% ක් වත් දිනපතාම ජනතාව සමග ගැටෙති. මෙහිදී ජනතාව සමග ගැටෙනවා යනුවෙන් අප කියන්නේ පොලිස් නිලධාරීන් ජනතාව සමග ගුටි කෙලගන්නවා යන කාරණය නොවේ. ජනතාව සමග නිතරම මිශ්‍රවී ජනතාවගේ ඇඟේ ගෑවෙමින් වැඩකිරීමට සිදුවීම ජනතාව සමග ගැටෙනවා යන්නෙන් අර්ථ නිරූපණය කෙරේ. මේ ක්‍රියාවලියේදී ජනතාවට මෙන්ම පොලිසියටද විශාල හානි සිදුවේ. ඇතැම් විට මංකොල්ලකරුවෝ මහමගදී වෙඩි තබා පොලිස් නිලධාරීන් මරා දමති. තවත් විටෙක මහජන උද්ඝෝෂණ මැඬලීමට යන පොලිස් නිලධාරීන්ට අම්බානක ගුටි කෑමටත් අත් පාවල කැබලි අහිමිකර ගැනීමටත් සිදුවේ. මෙයට කලකට පෙර උද්ඝෝෂණයක් මර්දනය කිරීමට ගිය මහරගම පොලිසියේ ඕ.අයි.සී.ට ඇඟිල්ලක් අහිමි විය. ඇඟිලි දහයක් සහිතව උපන් මේ මිනිහාට දැන් ඇත්තේ ඇඟිලි නවයක් පමණි. විශේෂයෙන් මත් ද්‍රව්‍ය මර්දන කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන්ට විශාල ජීවිත අවදානමක් තිබේ. කුඩු වෙළෙන්දා වැඩකට බහින්නේ මරාගෙන මැරෙන චේතනාවෙනි.

දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපය හරි වේවා, නොඑසේ නම් වැරදි වේවා අරගලකරුවන් විසින් ගංගාරාමය කිට්ටුවේදී ඔහුට ටොකු ඇනීම වරදකි. ඔහු ටොකු පහරවල් කෑවේ සිවිල් ඇඳුමින් සැරසී පාරේ යමින් සිටියදීය. ජනතාව රාජ්‍යයට බියවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් නොවන බව අපි පිළිගනිමු. එසේම ජනතාව රාජ්‍යයට බිය නොවී රාජ්‍යය නියෝජනය කරන නිලධාරීන්ට ටොකු අනිනවා නම් එය කුණු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බව අපගේ වැටහීමය. මේ පුවත්පත නිතරම පොලිසිය නියෝජනය කරයි. තම රටවල පොලිසියේ චර්යාව සම්බන්ධයෙන් ලංකාවේ පුවත්පත්වලට මෙන්ම ඉන්දියාවේ පුවත්පත්වලටද ප්‍රශ්න තිබේ. ඉන්දියාවේ පුවත්පත් සහ චිත්‍රපට කර්මාන්තය මගින් පොලිසියට ගහන ගැහිල්ල වෙන කිසිදු රටක සිදුවන්නේ නැත.

ශ්‍රී ලංකාවේදී වුවද පොලිසිය සමග මුහුණට මුහුණ සිට ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ මේ පුවත්පත පමණි. එහෙත් අප එක් කාරණයක් පිළිගත යුතුය. පොලිසිය යනු මේ සමාජය තුළ වැඩියෙන්ම තැලෙන සහ වැඩියෙන්ම පීඩනයට ලක්වන ආයතනයකි. ඔවුන් නිතරම සිටින්නේ අඩු පඩියක් යටතේ මරණය සමගය. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම පෙනහළු පිළිකා වැළඳෙන්නේ ට්‍රැෆික් පොලිස් රාළහාමිලාට බව ඔබ දන්නවාද? පාරේ මැද හිටගෙන ගිනි අව්වේ වාහන මෙහෙයවන විට එම වාහන වලින් නැගෙන කාබන් මොනොක්සයිඩ් වායුව ට්‍රැෆික් පොලිස් රාළහාමිලාගේ පෙනහළු විනාශ කර දමයි. පාර මැද ඉන්නවිට ධාරානිපාත වැස්සක් වැස්සා යැයි කියා හෙවනක් යටට යෑමේ අයිතිය ට්‍රැෆික් පොලිසියට නැත. ඔවුහු වැස්ස කාගෙන වාහන මෙහෙයවති. පොලිසියේ කතාව එක් පැත්තකින් ඉතා ශෝකජනකය. පොලිසියේ අගුණ පිළිබඳ කතන්දර සේම ඔවුන් විඳින ශෝකජනක ජීවිතය පිළිබඳ කතාවද ශ්‍රවණය කිරීම ජනතාවගේ යුතුකමක්ය.

advertistmentadvertistment
advertistmentadvertistment