මේ සම්මානය අයිති අපිට නෙමෙයි රටටයි

226

සිනමාව ටෙලි නාට්‍ය සහ වේදිකාව යන කලා ක්‍ෂේත්‍රයන් හි දක්‍ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ද නිවුස්පේපර්. සිංහල චිත්‍රපටයට ලන්ඩන් නුවර පැවැති 23 වැනි ‘රේන්බෝ. සිනමා උළෙලේදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමි වුණා.

මෙහි විශේෂත්වය වෙන්නෙ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් ඔවුන් දෙදෙනා එහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමයි.

අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙන ගිය මේ නිර්මාණකරුවන් දෙදෙනාගෙන් කෙනෙක් වන සරත් කොතලාවල ටෙලි නාට්‍ය රූගතකිරීමක් අතරතුර ලැබුණ පුංචි ඉඩකදී ඒ හැඟීම මේ විදිහට වචනවලට පෙරලුවා.

ඇත්තටම අපිට දැනෙන්නෙ විශාල සතුටක්. ඒ සතුට පිටිපස්සෙ අපිත් එක්ක තව සියගාණක් හිටිය. ඒ වගේම අපිව නිර්මාණය කරපු මේ රට” අපි ඉගෙනගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්” අපිට උගන්වපු ගුරුවරු” මේ හැමදෙනාගෙම මහන්සියේ ප්‍රථිපලයක් තමයි මේ සම්මානය. ඒ වගේම අපිට නිෂ්පාදන ශක්තිය ලබාදුන්න බන්දුල ගුණවර්ධන මහත්මයා” එතුමා මගේ උසස් පෙළ පන්තියේ ගුරුවරයා. සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා වගේම රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා යන මේ හැමදෙනාටම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම මේ වගේ කීර්තියක් අපේ රටට ලබා දෙන්න අවස්ථාව ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනව.

මේ සම්මානය අයිති අපිට නෙමෙයි රටටයි


ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි අපිට ජාත්‍යන්තරය ගැන බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. අපි වේදිකා නාට්‍ය” චිත්‍රපට කළේ ප්‍රකාශන මාධ්‍යයක් විදිහට. මෙතනදිත් අපිට කතාකරන්න ඕන වුණේ ලංකාවේ තියෙන සිස්ටම් එක ගැන. ඒක කියාගන්න ඕන නිසා චිත්‍රපටය කළා. ෆෙස්ටිවල් එකට යොමුකළාට පස්සෙ අගැයීමට ලක් වුණා.

මේ චිත්‍රපටයට අපිට මුලින්ම සම්මානය ලැබුණෙ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදි. ඉන්පස්සෙ ඉන්දියාවේ බැංගලෝර් ෆෙස්ටිවල් එකේදි. එතනදි මුලින්ම අපිට පළවෙනි තැන දුන්න. නමුත් පස්සෙ Human Era එකක් කියල අපිව දෙවැනි තැනට දැම්ම. කොහොම වුණත් අපි ඒක ලොකුවට ගත්තෙ නැහැ. මේ වෙනකොට අපේ නිර්මාණය කැලිෆෝනියාවේදි මේ මාසයේ 11” 12 යන දෙදිනදී පැවැත්වෙන සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් උළෙලේ හොඳම නිෂ්පාදනය” හොඳම අධ්‍යක්‍ෂණය” හොඳම රචනය” හොඳම නළුවා” හොඳම සහය නළුවා” හොඳම නැගී එන නිළිය” හොඳම සංගීතය සහ හොඳම සංස්කරණය යන සම්මාන අටකට නිර්දේශ වෙලා තියෙනව. මේක අපිට විශේෂ වෙන්නෙ මෙහෙමයි. ලංකාවෙදි සම්මානයක් ලැබුණොත් ඒක වටින්නෙ ගන්න කෙනාට විතරයි. නමුත් ජාත්‍යන්තර සම්මානයකදි ඒක මුළු රටටම වටිනව. මේ සම්මාන අයිති අපිට නෙමෙයි” රටට.

මේ සම්මානය අයිති අපිට නෙමෙයි රටටයි

මේ දේවල් මේ විදිහට සිදුවෙනකොට අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය අපේ ඊළඟ චිත්‍රපටයට අර්ථපතියෙක් හොයාගන්නෙ කොහොමද කියන එක. කුමාරයි මමයි මේ දවස්වල ඒ වැඩකටයුතු පිළිවෙළක් කරනගමන් ඉන්නෙ. මේක අපිට විතරක් නෙමෙයි” චිත්‍රපට කර්මාන්තයටම තියෙන ලොකු ප්‍රශ්නයක්. දැනට අපේ ළඟ පිටපත් තුනක් විතර තියෙනව. කොහොමත් මේ එක පිටපතක් ලියන්න අවුරුදු තුනක් විතර යනව. ‘තන්හා රතී රඟා. පිටපත ලියන්න අවුරුදු හතරක් ගත වුණා. ‘ද නිවුස්පේපර්. එකටත් අවුරුදු හතරක් ගත වුණා.

 අපි භාවිත කළ සිනමා භාෂාව අපේ රටට නුහුරු ගතියක් තිබුණ. ඒක විශේෂත්වය වෙන්නෙ නිර්මාණය හරහා රූපමය සංකේත භාවිතය. ඒක තමයි අපේ පදනම. එවැනි සංඛේත සියයකට අධික සංඛ්‍යාවක් මේ නිර්මාණය තුළ තියෙනව. උදාහරණයක් හැටියට ගත්තොත්” කුමාර නාන දර්ශනය ගන්න ඕන වුණේ ආකේඩ් එකේමයි. ඒක ලංකාවෙ වෙන කොහේ ගත්තත් වැඩක් නැහැ. ඒ දර්ශනයෙ තියෙන්නෙ එකම එක දෙබසයි. එතනදි පොලිස් නිලධාරියා අහනව මොකද කරන්නෙ කියල. කුමාර කියනව නානව කියල. එතකොට පොලිස් නිලධාරිය කියනව මේක නාන තැනක් නෙමෙයි ලස්සනට තියෙන තැනක් කියල. ඒකත් එක්ක ඊළඟ දර්ශනය යන්නෙ නිදහස් චතුරස්‍රය ළඟ. එතනදි නිදහස කියන දේ ගැන අපිට ප්‍රශ්න කරන්න ඕන වුණා ඒක ලස්සනට තියෙන දෙයක්ද කියන එක ගැන. මේ එකක් විතරයි. මෙතනදි කැමරා අධ්‍යක්‍ෂවරයාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. ඔහු අපේ සහෝදරයෙක් වගේ එකට වැඩ කළා. අපි කියන්න යන දේ ගැන ඔහු තේරුම් ගත්ත. ලංකාවට මේ දේවල් ඒ තරම් ගෝචර වුණේ නැහැ. ප්‍රංශ සිනමාවේ ගොඩක් වෙලාවට මේ සංකේතාත්මක දේවල් අපූරු විදිහට භාවිත කරනව. ප්‍රංශ සිනමාවෙන් ඉගෙනගෙත තමයි ඉරාන සිනමාකරුවො ඔවුන්ගේ නිර්මාණ කරන්නෙ. අපි දෙන්නත් ඒ දේවල් අධ්‍යයනය කරමින් තමයි අපේ නිර්මාණ කටයුතු සිදු කළේ. මේ දේවල් අධ්‍යයනය කළා නම් ලංකාවේ විනිශ්චයකරුවනුත් අපි කියන දේවල් තේරුම් ගනීවි. නමුත් එහෙම වුණේ නැහැ. ඒක ජාත්‍යන්තරය තේරුම් ගත්තා. ඒකයි විශේෂත්වය.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment