මේ හඬ ඇසෙන්නේරම්‍ය නගරයේමහල් නිවාස වාසීන්ගෙනි

317

නෝමන් පළිහවඩන ලියයි

සියලූ යසඉසුරු හා සම්පත් ගමට වඩා නරගයේ ඇතැයි සිතන අය බොහෝය. කාලයක් තිස්සේ ගමේ ගේදොර ඉඩකඩම් අක්කර ගණන් විකුණ විකුණා ජනතාව බැරි බැරි ගාතේ නගරය සොයා කොළඹ ආවේ ඒ නිසාය.

රම්‍ය නගරය යන්න ඕනෑ

රම්‍ය නරගයේ ඉන්න ඕනෑ

කිය කියා එනවා

ඉඩම් විකුණා ගෙවල් අරගෙන

කොළඹ අපි එනවා…

මීට කලකට පෙර ඒ විපිරියාසය දුටු ගුණදාස කපුගේ ඒ ඛේදවාචකය අපට ගීයකින් ගැයූ අයුරු මට හොඳින් මතකය.

එහෙත් වර්තමානයේ රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය නිසා මේ රටේ වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ නගරයේ ජීවත්වන නාගරිකයෝ බව රහසක් නොවේ.

රට මුහුණපා ඇති විදේශ විනිමය ප‍්‍රශ්නය මත අපේ රටේ සමස්ත බලශක්ති පද්ධතියම කඩාවැටී ඇති පසුබිමක නාගරිකයෝ ජීවත්වන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව අතරින් කොටසක් ජීවත්වන්නට විඳින දුක ගැන කියන්නට මා මේ සටහන තබන්නට කල්පනා කළෙමි…

ගෑස් හිඟයෙන් වැඩිපුර පීඩා විඳින පිරිසක් ගැන අපි කතා කරමු. මෙසේ පීඩා විඳින පිරිස කොළඹ මහල් නිවාසවල පදිංචිකරුවෝ වෙති.

ගෑස් නැතිව ගියොත් කෑම බීම හදන්න වෙන්නේ භූමිතෙල් කුකර් එකකින්. ඒකටත් භූමි තෙල් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙමේ. ගෑස් ටික ප‍්‍රවේශම් කරගෙන එදාවේල ගැටගහ ගන්නවා යැයි කොළඹ කොස්ගස්හන්දියේ සමගිපුර මහල් නිවාසයේ පදිංචි එම්. නවුපර් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කියා සිටියේය.

ගෑස් නැතිව ගියොත් සමහර ගෙවල්වල අඹු සැමියෝ අතර පවා ප‍්‍රශ්න පැන නඟිනවා. රණ්ඩු ඉවරයක් නැහැ. ඒ විතරක් නෙමේ දික්කසාද පවා සිදුවෙනවා.

මේ හැම ප‍්‍රශ්නයකම පීඩනය ඇති වෙන්නේ ගෙවල්වල ගැහැනුන්ටය. පරණ භූමිතෙල් ලිප සූදානම් කරගෙන තිබෙනවා. ඒකත් දැන් කැඩිලා ගිහින්. අනික කෝ භූමිතෙල්. හැම ප‍්‍රශ්නයක්ම මහල් නිවාසවල අයටයි.

සමගිපුර මහල් නිවාසයේ උපාලි පේ‍්‍රමසිරි මහතා මිත‍්‍රයෙකුට කියලා අමාරුවෙන් ගෑස් හොයාගෙන තිබෙනවා. බැරිවෙලාවත් අපිට ගෑස් හොයාගන්න බැරි වුණොත් මේ තට්ටු ගොඩනැඟිල්ලෙන් පැනලා තමයි මැරෙන්න වෙන්නේ. මිනිස්සු කොරෝනාවෙන් මළාට වඩා වැඩි පිරිසක් දැන් රටේ උදාවෙලා තිබෙන පීඩනවලින් මියයන්නට පුළුවන්.

මිනිස්සු දැන් හරියට අසරණවෙලා දුක්විඳිනවා. බිම් අඟලක් නැතිව මේ මහල් නිවාසවල පදිංචි උදවියට ගෑස් නැතිවුණොත් ඔවුන්ට උදාවෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

අනික භූමිතෙල් ලිපක් පාවිච්චි කළත් ඒකට භූමිතෙල් පවා හොයාගන්න බැහැ.

මෙම තට්ටු නිවාසයේ පදිංචි නම සඳහන් නොකළ පදිංචිකරුවෙකු අපට අපූරු කතාවක් කීවේය.

මහත්තයෝ දැන් ගෑස් ඉල්ලලා වැඩිපුරම කෑගහන්නේ කොළඹ අයට වඩා විශාල ඉඩකඩම් තිබෙන පළාත්වල උදවියයි.

මේ උදවියට ඕනෑතරම් දර තියෙනවා. අපට මොනවද තියෙන්නේ අපිට ප‍්‍රශ්න ගොඩයි. අපිට උයාගන්න ගෑස් නැති වුණොත් හෝටල්වලින් මොනවාහරි ගෙනල්ලා කන්න පුරුදුවෙලා තියෙනවා.

ගෑස් ප‍්‍රශ්නය මුළුමනින්ම විසඳන්න ඕනෑ කොළඹ පදිංචිකරුවන්ටයි. මේවා හැම දෙයක්ම වෙළෙඳ මාෆියාවක් වෙලා තියෙනවා. පොඞ්ඩ පොඞ්ඩම ලයිට් කපනවා මේවාට වගකියන්න ඕනෑ දේශපානඥයෝ. ගහකොළ කපා දමා පරිසරය නැති කරලා දැම්මා. දැන් ඒ විපාකවලටත් මුහුණ පාන්නේ අසරණ අහිංසක ජනතාවයි.

මෙම මහල් නිවාසයේ පදිංචිකරුවෝ වැඩි දෙනෙකු සමග අප කතාබස් කළත් ඔවුන් තුළ තිබණේ දැඩි කේන්තියකි, වෛරයකි.

මාධ්‍යයෙන් අද මොනවද දකින්නේ ටී.වී. එක දැම්මොත් හැමදාම ප‍්‍රවෘත්තිවලින් දකින්නේ ගෑස් නැව් ඉන්ධන නැව් එනවා කියන එකයි. ගෑස්-ඞීසල් නැහැ කියලා පෝලිම්. ඒ විතරක් නෙමේ රණ්ඩු කරනවා ඇනකොටා ගන්නවා. අද ලොකුම මාතෘකාව ඞීසල්, ගෑස්, විදුලිය ගැනයි. සිංහල හින්දු අලූත් අවුරුද්ද අතළඟ තියෙනවා. ඒ ගැන කවුරුත් කතා නැහැ.

නෝ කතා නෝ සිනා කියමින් එක් මහල් නිවාස පදිංචිකරුවෙක්ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment