මේ 9 වැනිදා අපි දුවන්නද, ගහන්නද හැංගෙන්නද..? මන්ත්‍රීවරු රජයෙන් අසති…

1105

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියට පෙර සතියේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පැවතිණි. බොහෝ දෙනා කතා බහ කළේ පැරණි සැසිවාරය අවසන් කරමින් අලුත් සැසිවාරයක් පටන් ගැනීමේදී අහෝසි වී යන පාර්ලිමේන්තු කාරක සභාවල වැඩකටයුතු ගැන ය. විශේෂයෙන්ම කෝප් කමිටුව වැනි ආයතනවලින් පවත්වාගෙන ගිය විමර්ශන කටයුතු අවසන් වීම ගැන බොහෝ දේශපාලන නිරීක්ෂකයින් ප්‍රශ්න කරන්නට වූහ.

ඒ සියල්ල කෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ ව්‍යවස්ථානුකූලව පත්වීම භාර ගත්තාට පසුව නිසි පරිදි රාජාසන කතාවක් කරමින් රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් වැඩ කටයුතු ආරම්භ කිරීමට ය. ජනපති රනිල් වැඩ කළේ ඒ අනුවය.

ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය සතියේ මුල් දින කීපය තුළ සිය අවධානය සියයට සීයක්ම යොමු කළේ රටේ ජනතාව තුළ විශ්වාසයක් ඇති වන පරිදි රාජාසන කතාවක් කිරීම සඳහා සූදානම් වීමට ය. ඔහු ඊට තම හිතවතුන් කිහිප දෙනෙක්ම දායක කරගනිමින් පුළුල් අධ්‍යයනයකින් පසුව සිය රාජාසන කතාව සූදානම් කරමින් සිටියේය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා හා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ඔහුගේ රාජාසන කතාවට හා ප්‍රතිපත්ති ප්‍රකාශනයට යොමු වූහ.

ඒ අතර ඉකුත් සතිඅන්තයේ ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගියේය. මුලින්ම දළදා මාලිගාවට ගොස් දළදා සමිඳු වැඳ පුදාගෙන මල්වතු මහා විහාරයට ගොස් මහ නාහිමි තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මුණ ගැසී ආශිර්වාද ලබා ගත්තේය.

දෙවනුව මහනුවර අස්ගිරි විහාරයට ගිය ජනාධිපතිවරයා එහි උපෝසථාගාරයේ දී මහානාහිමි ඇතුළු මහා සංඝරත්නය මුණගැසී රටේ පවත්නා වත්මන් තත්ත්වය ගැන උන්වහන්සේලා හා සාකච්ඡා කරන්නට වූහ.

“ඔබතුමා දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා කියලා කියනවා. ඒක මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න විරුද්ධ මත දරන මන්ත්‍රීවරුන් එක්ක කොහොම කරනවද කියලා රටට තව පැහැදිලි නෑ…” අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ විමසා සිටියහ.

“අපේ හාමුදුරුවනේ… මේ වෙලාවේ මම මේ ගැන ආරාධනා කරලා හැම පක්ෂයකටම ලියුම් යැව්වා. සෑම මන්ත්‍රීවරයෙකුටම ලියුමක් යවලා තියෙනවා. ආරාධනා කළේ නෑ කියලා කාටවත් කියන්න බෑ. මම දැන් ඒගොල්ලන්ගෙ ප්‍රතිචාර මොනවද කියලා බලා ඉන්නවා…”

“බොහොම හොඳයි… හැබැයි ඉතින් ඔතන ඉන්න සමහර උන්දැලා නං කිසි දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැති වෙයි. උන්දැලත් එක්ක සර්වපාක්ෂික ආණ්ඩු අටවන්න යන එකට වඩා බහුපාක්ෂික කියලා නමක් යොදාගෙන මේ වෙලාවේ රට ගොඩ ගන්න වැඩේට එකඟ අය එක්ක වැඩ කරන එක සුදුසුයි කියලා තමයි මට නම් හිතෙන්නේ…” අනුනාහිමියෝ කීහ.

ජනාධිපතිවරයා මල්වතු විහාරයට ගිය අවස්ථාවේ එහි සිටි උගත් තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසක් පැමිණ කථාබහ කරමින් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ඔහුගේ නිවෙස ගිනිබත් වූ වේලාවේ බේරා ගන්නට නොහැකි වූ වටිනා පොත පත ගැන ය…

“එතන නම් ලොකු පාඩුවක් වුණා අපේ හාමුදුරුවනේ… ලන්දේසි යුගයේ හිටපු පියතුමෙක් ගැන ලියපු ඓතිහාසික ග්‍රන්ථයක් තිබුණා. මම දන්න විදියට ඒ පොත වෙන කොහේවත් නෑ. ඒ වගේම කොහෙවත් නැති අවුරුදු දෙතුන් සීයක් පරණ දුර්ලභ චිත්‍ර එකතුවක් තිබුණා. ඔව්වා තමයි මගේ ගෙදර වටිනා කියන දේවල් හැටියට තිබුණේ.” ජනාධිපතිවරයා එසේ කියද්දී උගත් තරුණ භික්ෂූන් වහන්සේලා ඒ ගැන අසා සිටියේ සංවේගයෙන් යුතුවය.

ජනාධිපතිවරයා එදින රාත්‍රිය මහනුවර විවේකීව ගත කළේය. පසුදින නුවර සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ආසන සංවිධායකවරු මුණගැසී කතාබහ කළේය.

මේ අතර අපූරු වීඩියෝවක් රැගෙන පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ජනාධිපතිවරයා හමුවන්නට ආවේ ය. ඒ වීඩියෝවේ සිටියේ නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්නයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවසේ සිටිමින් විවේකීව කල්ගත කරන වික්‍රමබාහු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ තමන්ගේ දැක්ම වීඩියෝ ගතකර පාලිත රංගෙ බණ්ඩාරට දී තිබුණේ එය ජනාධිපතිවරයාට පෙන්වන ලෙස ඉල්ලමිනි.

අවසන් වනතුරු එය බැලූ ජනාධිපතිවරයා… “බාහුට කෝල් එකක් ගන්න” යි කීවේය.

“කොහොමද බාහු සහෝදරයා” කියමින් කතාව පටන් ගත් ජනාධිපති රනිල් බොහෝ වේලාවක් සිය සහෝදර ප්‍රතිවිරුද්ධ සටන් සගයාගේ කතාවට ඇහුම්කන් දුන්නේය. අතීත අරගල සහ මේ දැන් පවතින අරගල පිළිබඳ බොහෝ කරුණු දෙදෙනා අතර හුවමාරු විය.

“බාහුගෙන් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එන්න… කොළඹ ආපු වෙලාවක අපි හමුවෙමු.” ජනපති රනිල් කීවේය.

● නව ආණ්ඩුව ගැන
සාකච්ඡා ඇරඹෙයි

මහනුවර වැඩ කටයුතු නිමවා කොළඹ පැමිණි ජනාධිපතිවරයා ඒ මොහොතේ පටන්ම කරනු ලැබුවේ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඔහු ආරාධනා කර තිබූ මන්ත්‍රී කණ්ඩායම් සමග සාකච්ඡාවන් ආරම්භ කිරීමය. ඉකුත් අඟහරුවාදා එහි මුල්ම සාකච්ඡාවක් තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සමඟ ය. මේ සඳහා එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඉතා සුහදව මෙම සාකච්ඡාව ආරම්භ කරමින් ඉදිරියේදී කළ යුතු දෑ ගැන කඩිනමින් කරුණු සාකච්ඡා කරන්නට විය.

“සර්ගෙ ඉදිරි අවුරුදු දෙකහමාරක කාලයට අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා. අපිට ආණ්ඩුව වට්ටන්නවත් සර්ගෙ ගමනට බාධා කරන්නවත් උවමනා නෑ. සර් මේ රට හදන්න ඒකයි අපිට ඕනා…” අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එසේ කියද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ඉතා උනන්දුවෙන් අසා සිටියේ පුළුල් සිනහවක් පාමිනි. ජොන්ස්ටන් කලකට ඉහත රනිල් හා හොඳ හැටි සටන් වැදුණු අයෙකි. රනිල්ට ඒ අතීතය මතක් වූවාද සැකය. ඒ අතර එතැන සිටි තවත් මන්ත්‍රීවරයෙකුට තිබුණෙ වෙනම ප්‍රශ්නයකි.

“අපේ පක්ෂයෙන්ම ජයග්‍රහණය කරපු තවත් කණ්ඩායමක් දැන් පාර්ලිමේන්තුව ඇතුලේ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉන්නවා. කරුණාකරලා ඒගොල්ලන්ව වෙනම පක්ෂයක් ලෙස පිළිගන්න එපා” ඒ කතාවට රනිල්ට හොඳ හිනාවක් ගියේය.

“ඔයාල බය වෙන්න එපා. මම සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න එන්න ඇවිත් සාකච්ඡා කරන්න කියලා ආරාධනා පත් යැව්වේ මන්ත්‍රීවරුන්ට මිස පක්ෂවලට නෙවෙයි.” කියමින් ජනාධිපතිවරයා එසේ කී මන්ත්‍රීවරයාගේ පිටට තට්ටුවක් ද දැම්මේය.

● හිටපු ජනපති ගැන
දිනේෂ් මෙහෙම කියලා

පසුගිය ජූලි 30 වැනි දා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවර බලා පිටත්ව ගියේය. රාත්‍රියේ සිටියේ මහනුවර අගමැති මැඳුරේ ය.

31 වැනිදා උදේ පාන්දරින්ම අගමැතිවරයා දළදාව වැඳපුදා ගන්නට ගොස් සිටියේය. එම අවස්ථාවට සහභාගී වන්නට කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද, දිලුම් අමුණුගම, රෝහණ දිසානායක ඇතුළු මහනුවර පළාතේ දේශපාලනඥයෝ රැසක් පැමිණ සිටියහ.

දළදාව වැඳපුදා ගන්නට අගමැතිවරයා දළදා කුටියට ඇතුළු වන විට එහි සිටියේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියෝ ය.

“දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියන්නෙ, වසරක් වසරක් පාසාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත මුරුතැන් පූජාවන් පවත්වන පරම පිවිතුරු නායකයෙක්…” අනු නායක හිමියෝ නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළේ එසේ කියමිනි.

අගමැතිවරයා එළියට පැමිණෙද්දී මාලිගාවේ පැරණි සේවකයන් කිහිප දෙනෙක් පැමිණ සුබ පැතූහ.

“1998 කොටි බෝම්බ ගහපු වෙලාවෙ, පත්තිරිප්පුව ඉවත් කරන්න හදද්දි ඒකට අත තියන්න නොදී

බේරගන්න කටයුතු කළේ ඔබතුමා. ඒක අපිට මතකයි…”

පසුව අගමැතිවරයා පැමිණියේ මහනුවර ජනාධිපති මන්දිරයටය. ඔහු එහි එන විටත් මහනුවර මැති ඇමැතිවරු රැසක් එහි පැමිණ සිටියහ. කොළඹ සිට පැමිණි සිසිර ජයකොඩි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද ඔවුන්ට එක්විය. විශේෂත්වය වූයේ, පාර්ලිමේන්තුවේ ස්වාධින වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ මහනුවර මන්ත්‍රීවරුන් දෙදෙනා වන වසන්ත යාපා බණ්ඩාර සහ උදයන කිරිඳිගොඩ ද එහි සිටීමය. අගමැති දිනේෂ් සහ මෙම මන්ත්‍රිවරු වෙනම විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර ඊට වෙනත් කිසිවෙකු සම්බන්ධ කරගත්තේ නැත.

පසුව අගමැතිවරයා, පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සහ අස්ගිරි මහා විහාරයට පැමිණ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවන්ට අනුනායක හිමිවරුද වැඩම කර සිටියහ. අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැමිණියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමි ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගැනීමටය. මේ සෑම අවස්ථාවකට ම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම සහ පා.ම. යදාමිණි ගුණවර්ධන ද එක්වූහ.

“ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එනව ද ලංකාවට…” ආශිර්වාද කිරීමෙන් අනතුරුව සිරිවිමල නා හිමියෝ විමසූහ.

“තවම දිනයක් නැහැ, මේක එතුමගේ රට. එතුමන්ට එන්න බැරිකමක් නැහැනේ අපේ හාමුදුරුවනේ…”

අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

● සජබෙ මන්ත්‍රීවරු
රනිල්ට පැහැදිලා..!

පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ පිහිටෙන් ජනාධිපති ධුරයට පත්වීම ගැන ප්‍රබලව විවේචන ගෙන ආ කණ්ඩායම් දෙකක් වෙති. ඒ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ විවේචනය සමගි ජනබලවේගයේ විවේචනයටත් වඩා දැඩි එකක් විය. ඔවුන්ගේ තර්කය වූයේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ජුන්ටාවේ රූකඩයක් බව ය. රනිල් තවත් රාජපක්ෂ අනුප්‍රාප්තිකයකු බව ඔවුන්ගේ චෝදනාව විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මොනතරම් ස්වාධීනව ජනාධිපති ධුරය පවත්වාගෙන යන්නට උත්සාහ කළත් ජනතා විමුක්ති පෙරමුණේ අනුකූලතාවයක් නම් ඊට නොලැබෙන බව පැහැදිලි විය.

පසුගිය බදාදා එනම් තුන් වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ විය. එම උත්සවය සඳහා ජනාධිපතිවරයා ඉතාම චාම්, වුවත් ගරු ගෞරවනීය ආකාරයකින් පැවැති උත්තමාචාරයකින් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණියේය. එහිදී පාර්ලිමේන්තුව අමතා ඔහු කළ රාජාසන කතාව ඔහුගේ ඉදිරි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ අඩංගු ජාතිය ඇමතීමක් බඳු විය. පාර්ලිමේන්තුවේ සියල්ලෝම ඊට ඉතා සාවධානව ඇහුම්කන් දී සිටි බව පැහැදිලි විය.

ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ ප්‍රතිචාරය ඉතා යහපත් එකක් විය. ස්වාධීන වූ ආණ්ඩුවේ කණ්ඩායම ද සමගි ජන බලවේගය ද දෙමළ ජාතික සන්ධානය ද අනෙකුත් ලොකු කුඩා මුස්ලිම් දෙමළ පක්ෂ ද මේ කතාවෙන් සෑහීමකට පත්ව සිටියහ. එහෙත් සෑහීමකට පත් නොවූ එකම කණ්ඩායම වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන් දෙනා පමණි.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයේදී බොහෝ දෙනා පැමිණ ජනාධිපතිවරයාට ප්‍රශංසා කර සිටියහ.

මෙහිදී පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් කතාබහ කරමින් එක්තරා විචාරයක යෙදුණේ හිටපු ජනාධිපතිවරයා වැඩ කළ ආකාරය හා වත්මන් ජනාධිපතිවරයා වැඩ කරන ආකාරය පිළිබඳවයි…

“වැඩක් කරනවා තබා වැඩක් කරන්න සූදානම් වෙලා ඉන්න බව අඟවන්න රටේ ජනතාව ඉස්සරහ මේ විදියෙ කතාවක් කරන්න වත් හිටපු ජනාධිපතිතුමාට බැරි වුණා…”

“බැරි වුණා නෙවෙයි, එතුමා වටේ හිටපු මාධ්‍ය ඔස්තාර්ලා මේ වගේ වැඩක් කරන්න එතුමට ඉඩ දුන්නේ නෑ. අන්තිමේ ෆේල් උනේ ඒ මාධ්‍ය ඔස්තාර්ලා නෙවෙයි. ජනාධිපතිතුමා.”

“දැන් ඉන්න මාධ්‍ය ලොක්කෝ ජනාධිපතිතුමාගෙන් හරියටම වැඩේ කරගන්න දන්න බවයි පේන්නේ….” එසේ කියමින් තරුණ මන්ත්‍රීවරුද තේ පැන් සංග්‍රහයට එක්වූයේ ජනාධිපතිවරයා ළඟට ගොස් ඔහුට සුභ පතමිනි.

මේ අතර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ කණ්ඩායමක්ද ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහයට පැමිණ සිටියහ. ඔවුන් වෙන වෙනම පැමිණ ජනාධිපතිවරයාට සුබ පැතීම විශේෂත්වයක් විය.

“දැන් ඔන්න මම සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළා. දැන් ඔයාලගේ අවස්ථාව තමයි තියෙන්නේ. රට වෙනුවෙන් එකතු වෙනවාද නැති ද කියලා ඔයාලා තීන්දු කරන්න.” ජනාධිපතිවරයා තමන් අසලට පැමිණි සැමට කීවේ සිනාසෙමිනි.

තේ පැන් සංග්‍රහයට පැමිණි අමුත්තන් කිහිප දෙනෙකු සමඟ කතාවට එකතු වූ හර්ෂණ රාජකරුණා ද තමන්ගේ මතය ඔවුන් හා කීවේය. “මචං අපිත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට කැමැතියි. අපි එතුමා ළඟට එන්නේ කොහොමද? දැන් එයා ඉන්නේ පොහොට්ටුවේ අයත් එක්කනේ.” හර්ෂණ කියද්දී අමුත්තන් කීවේ “ඕවා අමතක කරන්න.” යනුවෙනි.

● අගෝස්තු නව වැනිදා
මොකද අපි කරන්නේ…

ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම එදින තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ ඔවුන්ට එහිදී විශේෂ රැස්වීම් දෙකකට සහභාගී වන්නට කල්තියා ආරාධනා කර තිබීම නිසාය. තේපානෝත්සවයෙන් පසුව මන්ත්‍රීවරු තවදුරටත් පාර්ලිමේන්තු ආලින්දවල තොරතුරු කතාබහ කරමින් සිටියහ.

“ලබන නව වැනිදාත් සුනාමියක් එන්න ලෑස්තිලු නේද…?” මන්ත්‍රීවරයෙක් කීවේය.

“ඒක තමයි. අපිත් මේ ඒ ගැන අගමැතිතුමාගෙන් ප්‍රශ්න කරන්න බලාගෙන හිටියේ. සරත් ෆොන්සේකා කියනවා අගෝස්තු නව වැනිදට එයාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගහන්න රට වටෙන්ම සෙනඟ කොළඹට ගේනවා කියලා. මට වුවමනායි අගමැතිතුමාගෙන් අහන්න අපි මේකට මොකද කරන්නේ කියලා. ඒක මෙහෙයවන්නේ සරත් ෆොන්සේකා නම් අපිත් අතපය බැඳගෙන නිකන් බලා ඉඳලා බෑ. මොනව හරි කරන්න වෙනවා. මට ඔය ගැන අගමැතිතුමාගෙන් අහන්න වෙලාවක් තිබුණෙ නෑ…”

“හරි… අපි මේ රැස්වීමේදී ඒ ගැන කතා කරමු….” ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු බලාසිටියේ කතා කරන්නට අවස්ථාවක් එනතුරු ය.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 හිදී මුලින්ම පැවැත්වුණේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් එම සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

“අපේ ගෙවල් ගිනි තිබ්බා. වාහන ගිනි තිබ්බා. දේපල විනාශ කරා. සමහර ඒවා හොරකම් කරන් ගියා. අද අපට උන්හිටි තැන් නැති වෙලා. ඒත් මහජන මන්ත්‍රීවරු වන අප වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වුණ බවක් පේන්නේ නෑ…” මන්ත්‍රීවරයෙක් මෙසේ ප්‍රශ්න කරන්නට පටන් ගත්තා පමණි. සෙසු මන්ත්‍රීවරු ද මේ ගැන වැලනොකැඩී කරුණු දක්වන්නට වූහ.

“අපේ ගෙවල් ගිනි තියපු අය තවම නිදැල්ලේ. අපි සී සී ටී වී දර්ශන දුන්නා. සාක්ෂි හොයල දුන්නා. සමහරුන්ව අත්අඩංගුවට අරගෙන ඇපත් දීලා. ඇයි නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවෙන්නෙ ඔබතුමා ඒවා ගැන හොයල බැලුවද… ඇයි මේවා ගැන හරි හැටි ක්‍රියා නොකරන ආරක්ෂක බලධාරීන්ව ගෙන්නලා ප්‍රශ්න නොකරන්නේ…?” මන්ත්‍රීවරුන් මේ පිළිබඳ චෝදනා එල්ල කරන්නට වූයේ නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා වන ටිරාන් අලස්ට ය. ඒ අතරේ සුරේන් රාඝවන් නැගිට කතා කරන්නට විය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පහුගිය දවසක අපට භයානක අනතුරු ඇඟවීමක් කළා. ලබන නව වෙනිදා ට අපිට ගහන්න කොළඹට සෙනඟ එක්රැස් කරනවලු. නව වෙනිදාට ඒගොල්ලො සුනාමියක් වගේ කොළඹට එනකොට අපිට දුවන්න හැංගෙන්න තැන් හොයාගන්න ලු. මේක සුළු කොට තකන්න බෑ. මේ වෙනකොට කළ පහරදීම් නිසා මන්ත්‍රීවරයෙක් මිය ගිහින්. මේ වගේ දේවල් ලබන සතියේත් වෙයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම තර්ජනය කරනවා. මේක හරිම බරපතළයි. එදා වෙච්ච දේ ආයෙත් සිද්ධ නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්. කරුණාකරලා ඔබතුමා අපිට කියන්න…! අපි එදාට දුවන්නද? ආපහු හැරිලා ගහන්නද? එහෙම නැත්තං හැංගෙන්නද…? මොකක්ද කරන්න ඕන.” සුරේන්ගේ කතාවට මන්ත්‍රීවරු බක බක ගා හිනා වෙන්නට පටන් ගත්හ…

“හිනා වෙන්න එපා… මේක හිනා වෙන්න කාරණාවක් නෙමෙයි…” මන්ත්‍රීවරයෙක් කිව්වේ ය.

“ඔබතුමාල කලබල වෙන්න එපා. අපි මේ ගැන අදාළ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරලා පියවර අරන් තියෙන්නේ. කෝපය පාලනය වෙලා තියෙනවා කියලයි බුද්ධි අංශ කියන්නේ. ඔය කිව්වට එදාට ඔය වගේ සෙනඟත් එන තත්ත්වයක් දැන් නැහැ කියලා ඔවුන් සහතික වෙනවා.”

“ඔය බුද්ධි අංශ ම තමයි මීට කලිනුත් වැරදි තොරතුරු දුන්නෙ. ඒගොල්ලො පහුගිය නව වෙනිදා ගැන දැනගෙන හිටියේ නැද්ද.”

“ඔව් ඇත්ත… ඒ ගැන අපි විමර්ශනය කරනවා. එක වතාවක් කිව්වා පහළොස් දාහක් විතර තමයි එන්නේ කියලා. තව වතාවක් කිව්වා වැඩිම වුණොත් අනූ පන්දහක් ඒවි කියලා. ඒගොල්ලන් දීපු තොරතුරු උනත් නිවැරදි නෑ…”

“ඔව්වා කිය කිය ඉඳලා හරියන්නේ නෑ. ඔබතුමා ආරක්ෂක ඇමැති. නිලධාරීන් වැරදි තොරතුරු දෙනවා නම් වැරදි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ඔබතුමා දැනගන්න ඕන…” සුරේන් රාඝවන් නැවත ටිකක් තදින් කීවේය.

“ගියවර සිද්ධිවල දී අපිට වැරදුණු තැන් ගැන පරීක්ෂණ කරනවා. බුද්ධි අංශ වාර්තා ටික ගෙනල්ල අපි විමර්ශනය කරනවා. නමුත් මේවා පිළිබඳ තීන්දු තීරණ ගන්න ආරක්ෂක මණ්ඩලවල මම නැහැ”… ටිරාන් කීවේය. ඊට උත්තර දුන්නේ චමල් රාජපක්ෂයි.

“නිකන් බොරු කතා කියන්න එපා ඇමැතිතුමා. මමත් මීට කලින් කාලයක් ඔය ඇමැතිකම කරල තියෙනවා. ඔයා ආරක්ෂක මණ්ඩලයට යනවනේ. ඔයා එතන ගිහින් එයාලා කියන්නේ මොනාද කියලා අහගෙන නිකන් බලන් ඉන්න එපා. අවශ්‍ය තීන්දු ගන්න.”

“අපි පියවර ගන්නවා ඇමැතිතුමා. නමුත් ඒවා අපිට ප්‍රසිද්ධියේ මෙහෙම කතා කරන්න බැහැ. බුද්ධි අංශ වාර්තා කියනවා ඉස්සරහට තත්ත්වය under control කියලා.”

“මොන බුද්ධි අංශ ද කියන්නේ. බුද්ධි අංශත් කිහිපයක් තියෙනවනේ. එකක තොරතුරු වැරදි නම් අනිත් ඒවත් එක්ක කම්පෙයා කරලා බලන්න පුළුවන්නේ එක මේසෙට අරගෙන.”

“දැන් ඇත්තටම මොකක්ද වෙන්නේ. කාටද මේ බුද්ධි අංශ තොරතුරු වැරදිලා තියෙන්නේ. අපි හොඳින්ම දන්නවා බුද්ධි අංශ තොරතුරු වාර්තා කීපයකින්ම එනවා. කවුද මේවා වරද්දලා දෙන්නේ. එක මේසෙකට අරගෙන සංසන්දනය කරලා වැරදුනේ කාටද කියල හොයාගන්න බැරිද.”

“අපි සාකච්ඡා කරනවා. ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී විවිධ තීන්දු ගන්නවා. හැබැයි ඒවා ප්‍රසිද්ධ කරන්න බෑ. යම් යම් දුෂ්කරතා තියෙනවා.”

“දුෂ්කරතා තියෙනවා නම් අපට පොඩ්ඩක් කියල තියෙන්න. මොකද අපට පුළුවන් ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා මන්ත්‍රී කණ්ඩායමෙන් එන යෝජනාවක් විදියට මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න” මහින්දානන්ද කීවේය. ඒ අනුව ලබන නව වැනිදා මොකද අපි කරන්නේ කියා පටන් ගත් සාකච්ඡාව උත්තරයක් නැතිවම හමාර විය.

දෙවනුව පටන් ගත්තේ ඛනිජ තෙල් බෙදා හැරීම පිළිබඳ සාකච්ඡාවයි. මෙහිදී මුලින්ම කංචන විජේසේකර පවතින තත්ත්වය අනාවරණය කරමින් හොඳ විස්තර කථනයක් කළේය.

මේ අතරේ මහින්දානන්ද කතා කරමින් කිව්ආර් කේතය හඳුන්වාදීම හා අංකයට තෙල් ගැහීමේ ක්‍රමය හඳුන්වා දීම සම්බන්ධයෙන් කංචන ඇමැතිවරයාට ස්තූතියක් කළේය.

● අගමැති ධුරය
මෛත්‍රීට ලැබෙයිද…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූයේ පසුගිය 4 වැනිදාය. ජනාධිපති කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදාගත් පසුව එහි අඩුපාඩු හා කඩා බිඳ දමන ලද කොටස් ටික ටික පිළිසකර කරමින් මෙබඳු සාකච්ඡා සඳහා යොදාගන්නට පටන් ගෙන තිබිණි.

එදින එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන්ම මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ශාන් විජේලාල්, අංගජන් රාමනාදන්, රංජිත් සියඹලාපිටිය සහභාගි වූහ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මුලින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් යෝජනාවක් ගෙන ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. කරුණු 12 කින් යුතුව ගෙන ආ එම යෝජනාව සම්බන්ධයෙන් එදා ලොකු අවධානයක් ලැබුණේ නැත. එහෙත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය ඉතා දැඩි එකක් විය. මෛත්‍රීපාල සිරිසේන මුලදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඉතා දැඩි අකැමැත්තක් හා ප්‍රතිරෝධයක් පෙන්නුම් කරමින් කටයුතු කළත් මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතුවාට සැක නැත. එනිසා මෛත්‍රීපාල මෙම සාකච්ඡාවට ඉතා මිත්‍රශීලීව සහභාගී වූ බව පැහැදිලි විය.

“අපේ යෝජනා 12 අඩංගු ලිපිය ගැන අවධානය යොමු කරමින් ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිය පළ කරනවා…” මෛත්‍රී මුලින්ම කීවේය.

ජනාධිපති රනිල් මෙහිදී අවධානය යොමු කළේ වර්තමාන ගැටලුව සම්බන්ධයෙනි. විශේෂයෙන්ම ආර්ථික ගැටලුව විසඳාගැනීම සඳහා දේශපාලනය පසෙක තබා එකට එකතු වී ක්‍රියා කිරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment