ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් තම අධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට නිකුත් කර ඇති වාරණය ජූලි 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (12දා) නියෝග කළේය. ඒ සම්බන්ධයෙවන් විරෝධතා ගොනු කිරීමට මෛත්‍රිපාල සිරිසේන, සාරති දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු වගඋත්තරකරුවන්ට අවසන් වශයෙන් දින ලබාදුන් විනිසුරුවරයා එදින එම පැමිණිලි තුන යළි කැඳවීමට ද නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක
ඇය සාමාජිකාවක් නොවෙයි: ශ්‍රීලනිප අභ්‍යන්තර ප්‍රශ්නවලට නඩු දාන්න චන්ද්‍රිකාට බෑ – මෛත්‍රිගේ නීතිඥයා උසාවියට කියයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකාවක නොවන බැවින් ඇයට එම පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී අධිකරණය හමුවේ නඩු පැවරීමේ බලයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ලිඛිත විරෝධතාවයක් ගොනු කරමින් ඊයේ (12දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ සඳහන් කළේය.
ඇය සිය සේවාදායකයාට එරෙහිව එම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ද 2022 සම්මත කළ පක්ෂ ව්‍යවස්ථාව අනුව වන්නේ යැයි ද එකී ලිඛිත විරෝධතාවය ඉදිරිපත් කරමින් අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා, එකී පක්ෂ ව්‍යවස්ථාව මේ වනවිට අධිකරණය හා මැතිවරණ කොමසාරිස්වරයා විසින් අත්හිටුවා ඇති බලශූන්‍ය ව්‍යවස්ථාවක් වන්නේ යැයි ද වැඩිදුරටත් කියා ඇත.
පක්ෂයේ අනුශාසකවරියක වූ පමණින් සාමාජිකත්වය හෝ නොමැති අයකුට පක්ෂයේ කටයුතුවලට මැදිහත්වීමේ අයිතියක් නොමැත්තේ යැයි ද පැවසූ ජනාධිපති නීතිඥවරයා, චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ගොනු කර ඇති මෙම පැමිණිල්ල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එබැවින් නඩු කටයුතු අවසන් කිරීමේ හැකියාවක් ඇති බවත් අධිකරණයට වැඩිදුරටත් කීවේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම වළක්වමින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 19 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළ ප්‍රධාන දිසා විනිසුරුවරයා එදින වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් විරෝධතා ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.
නීතිඥ ශාන් විජේසූරිය, සංජීව කළුආරච්චි හා ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න යන මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් දෙපාර්ශ්වය නියෝජනය කළහ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් පසුගිය අප්‍රේල් මස වාරණ නියෝගයක් නිකුත් කොට තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක