මෛත්‍රිට උසාවිය සති දෙකක් දෙයි

2302

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කර තිබූ ලිපිය ඉල්ලා අස්කර ගන්නේ ද නැති ද යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05දා) මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට සති දෙකක කාලයක් ලබාදුන්නේය.

නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (05දා) විනිසුරු දිලිප් නවාස්, ජනක් ද සිල්වා හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී කැඳවූ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එලෙස කාලය ලබාදුන්නේය.

එම පෙත්සම ලබන 25 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය. සිය පක්ෂ සාමාජිකත්වය අහිමිකර මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ සහ බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර තිබූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිකුත් කර තිබූ ලිපිය බලරහිත කිරීම එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබිණි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන හා සරත් ඒකනායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් දයාසිරි ජයසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment