මෛත්‍රීගේ ප්‍රකාශය ද්වේෂසහගතයි – කාදිනල්තුමා

133

පාස්කු ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමාට ලැබුණු ආධාර මුදල් සම්බන්ධයෙන් හෙළි කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය ද්වේෂසහගතව සිදු කරන ලද්දක් බව මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

පෙරේදා (22දා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවැසූ උන්වහන්සේ තවදුරටත් මෙසේද කියා සිටියහ.

“අපේ සිරිසේන හිටපු ජනාධිපතිතුමා මං ගැන කියපු කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ද්වේෂසහගතයි. එතුමාට යුතුකමක් තියෙනවා එහෙම දෙයක් කියන්න ඉස්සරවෙලා අදාළ පාර්ශ්වයෙන් අහලා බලන්න, ඇත්තටම මොකද වුණේ කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජාත්‍යන්තර වශයෙන් හා ශ්‍රී ලංකාවෙන් උදව් ඉල්ලුවා ජනතාවගේ පැත්තෙන් බලන්න කියලා. ඒ එකතු කරපු මුදල් රුපියල් මිලියන පන්සිය ගණනක්. මට හරියටම මතක නැහැ. නමුත් මෙහෙම කියන්න බැහැ. ඒ දත්ත අපි ගාව තියෙනවා. ඕනෑම වෙලාවක ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. ඒවායේ විගණන වාර්තා සකස් කරලා අපි බැංකු ගිණුම්වල නඩත්තු කරනවා. මේ වෙනකොට රුපියල් මිලියන පන්සිය ගාණෙන් හාරසිය හැටක් පමණ ජනතාවට බෙදලා තියෙනවා. අපි ළඟ සම්පූර්ණ දත්ත තියෙනවා. ඒ අය අත්සන් කරපු කොළ තියෙනවා.

හිටපු ජනාධිපතිතුමා මේ කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ද්වේෂසහගතව කරන චෝදනාවක්. එතුමාට විරුද්ධව ඒ ජනතාව නඩු දාලා තියෙනවා. ඒ නඩුවලට එතුමා අපට නොවෙයි දොස් කියන්න ඕනෑ. ඒ අයට විරුද්ධව මොකුත් නොකියා අහක ඉන්න අපිට දොස් කියන එක සත්‍යවාදී බවක් පේන්නේ නැහැ.

සුප්‍රීම් උසාවියෙන් එතුමාට දඩ ගහලා තියෙනවා. ඒවා එතුමා ගෙවන්නට ඕන. ඒ දඩ මුදල් යන්නේ රජයෙන්ම පත් කරලා තියෙන නඩුවලින් ලැබෙන මුදල් බෙදන වෙනම ආයතනයකට.

ඒ මුදල් අපිට ලැබෙන්නේ නැහැ. ඒ කාරණා හරියට බලන්නේ නැතුව හිටපු ජනාධිපතිතුමා කරපු ඒ ප්‍රකාශය අපිට පිළිගන්න බැහැ. ඒක අමූලික බොරුවක්.

“ඒ වගේම අපේ රට ස්වාධීන රටක්, ස්වෛරී රටක්. දැන් කතා කරගෙන යනවා ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් හදන්න. මේ රටේ එහෙම දෙයක් කවදාකවත් තිබුණේ නැහැ. අපිට පාලමක් අවශ්‍යද? මේ පාලම් හැදීමෙන් වෙන්නේ අපේ රටේ නිදහස නැතිවෙන එකයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment