මෛත්‍රී ඉවත්වෙයි – මම දැන් සභාපති – විජයදාස කියයි

309

අන්තිම ඇණයත් ගසා මෛත්‍රී ගියා
නව සභාපති පත්කිරිම උසාවියට අපහාස කිරීමක්
මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12දා) පත්කර ඇත.

එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේදී රැස්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ විධායක සභාව විසින් මෙම පත්කර ගැනීම සිදුකර තිබේ.

මෛත්‍රී ඉවත්වෙයි - මම දැන් සභාපති - විජයදාස කියයි

ඊයේ පත්කර ගත් වැ.බ. මහ ලේකම් කීර්ති උඩවත්ත

ඊයේ පැවැති විධායක සභා රැස්වීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අතර එහිදී විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් සභාපති ධුරයට පත්ව ඇත. තමාගේ පත්වීම නීත්‍යානුකූල බවත් තමන්ට එරෙහිව අධිකරණයේ වාරණයක් පැනවී ඇත්තේ වැඩබලන සභාපතිකමට එරෙහිව බවත් ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ මහතා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්. මිත්‍රපාල මහතාට මේ වනවිට එම තනතුරේ කටයුතු කරගෙනයාම වළක්වමින් අධිකරණයෙන් වාරණයක් පනවා තිබෙන නිසා පක්ෂයේ ඉදිරි වැඩකටයුතු කරගෙනයාම සඳහා වැඩබලන මහලේකම් ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කළ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පක්ෂයේ අනෙකුත් තනතුරු සඳහා පිරිස් පත්කර ගැනීම ඉදිරියේදී සිදුකරන බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින් ලෙස මීට පෙර එස්.ඩබ්ලිව්,ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් කටයුතු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්තිම ඇණයත් ගසා පක්ෂයේ සභාපතිකමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත්වූවා යැයි තමන් හිතන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (12දා) පැවසීය.

පක්ෂයක සභාපති කෙනෙක් ඉවත් වෙනවා නම් ඒ ගැන කල්වේලා ඇතිව පක්ෂ සාමාජිකයන් දැනුවත් කර විධායක සභාව, දේශපාලන මණ්ඩලය ඇතුළු සියලු අංශ දැනුවත් කරන බවත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉවත්වීම හෝටලයක කෑම කා ගත් තීරණයක් ලෙස තමා දකින බවත් ඇමැතිවරයා කීය.

මේ වනවිට මෛත්‍රිපාල මහතා ඇතුළු ශ්‍රීලනිප කිහිපදෙනකුට එරෙහිව තහනම් නියෝග පනවා ඇති බවත්, එවැනි තත්ත්වයක් තිබියදී නව සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස දකින බවත් අමරවීර මහතා කීය.

පක්ෂයේ උපලේකම් ලෙස කටයුතු කරන සරත් ඒකනායක මහතා පෙරේදා (11දා) රාත්‍රි වට්ස්ඇප් මාර්ගයෙන් තමන් ඇතුළු විධායක සභා නියෝජිතයින්ට ඊයේ (12දා) පෙරවරුවේ රැස්වීමට සහභාගි වන ලෙස ඇරයුම් කර තිබුණත් එම පණිවුඩ තමා දුටුවේ ඊයේ පෙරවරුවේ බව ද ඇමැතිවරයා කීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඉවත් වූ බවට ප්‍රකාශ කළත් ඇතැම් විට තමා ඉවත්නොවූ බවට ඔහු පසුව පැවසිය හැකි බවත්, එවැනි විශ්වාසයක් නැති පුද්ගලයකුගේ තත්ත්වයට මෛත්‍රිපාල සිරිසේන මහතා වැටී ඇති බවත් ඇමැතිවරයා කීය.

එම පිරිස් එසේ කටයුතු කළත් තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය පක්ෂ මූලස්ථානයට ගොස් වැඩ කටයුතු කරගෙන යන බවත්, එය ඊයේ දිනයේදීත් සිදුවූ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment