මොකක්ද මේ කොවැක්ස් කියන්නේ

415

නන්දජීව සූරියබණ්ඩාර

අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අප පීඩාවට පත් කරමින් සිටින කොවිඞ් 19 වසංගතය සමග නිතර කියැවෙන වචන කිහිපයක් මෙරට බහුතරයක් පොදු ජනතාවට නොතේරෙන අපභ‍්‍රංශ බව පෙනෙන්නට තිබේ. මෙම කාරණා සරල ලෙස තේරුම් කර ගැනීම බොහෝ දෙනාට වැඩදායක වන කාරණයක් බව අප සිතන බැවින් මෙවර එවැනි ආගන්තුක යෙදුම් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප උත්සාහ කළෙමු. පහත දැක්වෙන්නේ එවැනි යෙදුම් කිහිපයක තොරතුරුය.


* මොකක්ද මේ කොවැක්ස් පහසුකම?

කොවිඞ් 19 වැනි ගෝලීය වසංගතයක් සමග සටන් කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවන අතර එය එක් රටකට හෝ සංවිධානයකට පමණක් කළ හැක්කක් නොවේ. මෙවැනි වසංගතයක් සමග සටන් කිරීමේදී වෛරසයට වඩා වේගයෙන් ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර ඒ සඳහා ගෝලීය සහයෝගීතාවයත්, එකමුතුභාවයත්, මධ්‍යස්ථ මධ්‍යගත කළමනාකරණයත් අවශ්‍ය වේ. මෙම කටයුත්ත ඉටුකිරීම සඳහා ගොඩනැගුණ සංවිධානාත්මක ව්‍යූහය ”ඒ.සී.ටී.’’ (ඇක්ට්) යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතර එහි දිගු අර්ථය ”කොවිඞ් 19 එන්නත් මෙවලම් ප‍්‍රවේශය’’ වශයෙන් කියැවේ. රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාවයෙන් ගොඩනැගුන මෙම වැඩසටහන මගින් කොවිඞ් 19 ට එරෙහි ප‍්‍රතිකර්ම, මෙවලම්, නිෂ්පාදනය, සංවර්ධනය සහ සමාන ලෙස බෙදාහැරීම සහතික කිරීම සඳහා කටයුතු කරන අතර එම වැඩසටහන පරීක්‍ෂණ, ප‍්‍රතිකාර සහ එන්නත්කරණය යන ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනක් හරහා ක‍්‍රියාත්මක වේ. ”කොවැක්ස්’’ යනු මෙම ”ඇක්ට්’’ වැඩසටහනෙහි එන්නත්කරණය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන වැඩසටහනයි. කොවැක්ස්, ලොව පුරා සිටින විශේෂඥයන් සමග සහයෝගිතාවයෙන් කොවිඞ් 19 සඳහා වන එන්නත්, පර්යේෂණ හා සංවර්ධනය සඳහාත් නිෂ්පාදනය, ප‍්‍රසම්පාදන කටයුතු සහ බෙදාහැරීම සම්බන්ධ පුළුල් පරාසයක කටයුතු කරන අතර කොවැක්ස් පහසුකම යටතේ 2021 වසර අවසන් වන විට ලොව පුරා කොවිඞ් 19 එන්නත් මාත‍්‍රා බිලියන 2 ක ප‍්‍රමාණයක් සුරක්‍ෂිතව සහ සමානව බෙදාහැරීම අපේක්‍ෂා කෙරේ.

* කොවැක්ස් පහසුකම ලැබෙන්නේ කාටද ?

කොවැක්ස් වැඩසටහන මේ සඳහා එන්නත් නිෂ්පාදන ආයතන වෙත සිය නිෂ්පාදන ධාරිතාවයන් ඉහළ නැංවීම සඳහා පූර්ව ගෙවීම් ලබාදීම සිදුකරන අතර මුල් නිෂ්පාදන කාණ්ඩයන් කොවැක්ස් වෙත මිලදී ගැනීම සිදුකරයි. මෙසේ මිලදී ගන්නා එන්නත් තොග එන්නතෙහි අත්‍යවශ්‍යතාව සහ සාධාරණත්වය මෙන්ම සමාන අවස්ථා ලැබීම යන පදනම මත ලොව තෝරාගත් රටවල් වෙත ප‍්‍රදානය කිරීම සිදු කරයි. කොවැක්ස් පහසුකම යටතේ එන්නත් සැපයීම සඳහා සුදුසුකම් ලත් රටවල් 92 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අතරට ලොව දුප්පත්ම රටවල් සියල්ලම පාහේ් ඇතුළත් වේ. මේ යටතේ අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, නේපාලය, ලයිබීරියාව ඇතුළු රටවල් 32ක් ඇතුළත් වන අතර මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව ඇතුළු රටවල් 44 ක් අයත්ය. අතිරේක සුදුසුකම්ලත් රටවල් කාණ්ඩය යටතේ මාලදිවයින, ඩොමිනිකා, කොසෝවෝ ඇතුළු රටවල් 12 ක් මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබා ඇත. මෙම පහසුකම යටතේ ශ‍්‍රී ලංකාවට එන්නත් මාත‍්‍රා මිලියන 4.2 සම්පූර්ණයෙන්ම නොමිලයේ ලැබීමට නියමිත අතර එහි පළමු කාණ්ඩය වන එන්නත් මාත‍්‍රා 264000 ක් පසුගිය මාර්තු 7 වන දින ශ‍්‍රී ලංකාවට ලැබී තිබුණි. මේ සඳහා ලබාදීීමට නියමිත වන්නේ ඉන්දියාවේ නිපදවන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතෙහි කොවිෂීල්ඞ් අනුවාදයයි. කෙසේ වෙතත් මෙම එන්නත් සැපයීම සඳහා ගිවිසුම්ගත වූ ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ ඇතිවූ අර්බුද හේතුවෙන් ඉතිරි එන්නත් මෙරටට ලැබෙන දිනයක් තවමත් අවිනිශ්චිතය.

කොවිඞ් 19 සඳහා ලොව පුරා සායනිකව තහවුරු කරන ලද එන්නත් 11 ක් පමණ මේ වන විට වෙළෙඳපළට නිකුත්කර ඇති අතර තවත් එන්නත් 200 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විවිධ ආයතන සහ රාජ්‍යයන් පර්යේෂණ පවත්වමින් සිටින අතර ඇතැම් එන්නත් එහි අවසන් අදියරයන්හී පසුවෙයි. කෙසේ වෙතත් මෙම එන්නත් 11 න් පූර්ණ භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ඇත්තේ ෆයිසර් බයෝ එන් ටෙක්, මොඩෙර්නා, ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා, ජොන්සන් ඇන්ඞ් ජොන්සන්, සයිනොෆාර්ම් සහ සයිනොවැක් එන්නත් පමණි. ලෝක ජනගහනයෙන් බිලියන 2.35 මේ වන විට එන්නත ලබාගෙන ඇති බව සැලකෙන අතර තවත් බිලියන 5 කට ආසන්න පිරිසකට කිසිදු එන්නතක එකදු මාත‍්‍රාවක් හෝ ලැබී නැත. කෙසේ වෙතත් එන්නත් මාත‍්‍රාවන් සඳහා ලොව පුරා ඇති බිලියන 10 කට ආසන්න ඉල්ලූම (මුළු ලෝක ජනගහනය සඳහා මාත‍්‍රා දෙකක් ලෙස) සපුරාලීමට මේ වන විට සිදුකෙරෙන නිෂ්පාදනය කිසිසේත් ප‍්‍රමාණවත් නැත. කොවැක්ස් වැනි වැඩසටහනක අවශ්‍යතාව ඉහළට එන්නේ එවැනි තත්ත්වයක් තුළය.

* කොවැක්ස් වෙත අරමුදල් සපයන්නේ කවුද ?

මේ වන විට ලෝකයේ රටවල් 191 ක් කොවැක්ස් පහසුකම සමග සම්බන්ධව සිටී. (ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධාන අරමුදල් සම්පාදකයෙකු වන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවූ අතර බයිඩන් පරිපාලනය යටතේ නැවත එය සක‍්‍රීය කර ඇත. ඇමෙරිකානු කොංග‍්‍රසය 2021 මුල්භාගයේ මෙම ගාවි සංවිධානය වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක හදිසි මූල්‍යාධාරයක් ප‍්‍රදානය කර ඇත්තේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහාය.) බයිඩන් ජනාධිපතිවරයා තම ධුරයේ දිවුරුම් දුන් වහාම එනම් 2021 ජනවාරි 21 වන දින ප‍්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව කොවැක්ස් වැඩසටහන හා සම්බන්ධව කොවිඞ් 19 මර්දනය සඳහා වඩාත් ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටුකිරීමට කටයුතු කරන බවයි. එන්නත් සඳහා සමාන ප‍්‍රවේශයක් ලබාගැනීමේ හැකියාව අඩු ආදායම්ලාභී සංවර්ධනය වෙමින් පවතින රටවලට පැහැදිලි සහනයක් ලබාදෙන අතර ඒ සඳහා ආයෝජනය කරන ධනවත් රටවලට ලැබෙන්නේ වසංගතය හමුවේ අන්‍යයන් සුරක්‍ෂිත වූවිට තමාද සුරක්‍ෂිත වීමේ වාසියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රකාශ කර ඇත්තේ වසංගතය හමුවේ ලොව සියලූ දෙනාම සුරක්‍ෂිත වන තෙක් කිසිවෙකු ආරක්‍ෂිත නැති බවයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සපුරාගැනීමේ අපේක්‍ෂාවෙන් කටයුතු කළ කොවැක්ස් වැඩසටහන මේ වන විට එම ඉලක්කය පසුකර ඇති අතර දැන් ඔවුන් කටයුතු කරන්නේ 2021 අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉලක්කයක් සපුරා ගැනීම සඳහාය.

* කොවැක්ස් සමග සම්බන්ධ වන ජාත්‍යන්තර සංවිධාන මොනවාද ?

මෙම වැඩසටහන සඳහා ප‍්‍රධාන වශයෙන් සංවිධාන තුනක් සම්බන්ධ වේ.”ගාවි’’ හෙවත් ”එන්නත් සංධානය’’ සමග ”සී.ඊ.පී.අයි.’’ හෙවත් ”වසංගත සූදානම නවෝත්පාදනය සඳහා සන්ධානය’’ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි සම නායකත්වය දරයි. කොවැක්ස් පහසුකම සම්බන්ධීකරණය කරන්නේ ”ගාවි’’ සංවිධානයයි.

* ගාවි හෙවත් එන්නත් සංධානය

”ගාවි’’ හෙවත් ”එන්නත් සංධානය’’ කොවිඞ් 19 ප‍්‍රතිශක්තීකරණ එන්නත් සඳහා දුප්පත් රටවලට ඇති ප‍්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් පිහිටුවාගත් රාජ්‍ය සහ පෞද්ගලික හවුල් හිමිකාරීත්වයක් සහිත ගෝලීය සෞඛ්‍ය සංවිධානයකි. මෙයට අවුරුදු 21 කට පෙර පිහිටුවන ලද මෙම සංවිධානයේ මූලස්ථානය ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටුවා තිබෙන අතර ලෝක සෞඛ්‍ය සම්මේලනයේ නිරීක්‍ෂණ සාමාජිකත්වයද එයට ලැබී ඇත.

ගාවි සංවිධානය පිහිටුවීම සඳහා ඇමෙරිකානු ප‍්‍රකට වසංගත විද්‍යාඥයෙකු සහ සමාජ සේවකයෙකු වන ”සෙත් බර්ක්ලිට්, නෝර්වේහි ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක ”ඩග්ෆින් හයිබූටන්ට්, නයිජීරියාවේ මුදල් ඇමති ලෙස සේවය කළ ”නගෝසි ඔකොන්ජෝ ඉවීලා’’, මහත්මිය සහ ඉන්දියානු පරිපාලන නිලධාරියෙකු වන ”අනුරාධ ගුප්තා’’ ඇතුළු පිරිසක් පුරෝගාමී වී ඇත.

* සී.ඊ.පී.අයි. හෙවත් වසංගත සූදානම නවෝත්පාදනය සඳහා සන්ධානය

මෙහි අනෙක් සාමාජිකයා වන ”සී.ඊ.පී.අයි.’’ හෙවත් ”වසංගත සූදානම නවෝත්පාදනය සඳහා සන්ධානය’’ මහජනතාවගෙන්, සිවිල් සංවිධානවලින්, පරාර්ථකාමීන්ගෙන්, පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් ලබාගන්නා මූල්‍ය ප‍්‍රධාන මගින් බෝවන රෝග සඳහා එන්නත් නිපදවීමේ ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කරන සංවිධානයකි. 2017 වසරේ ස්විස්ටර්ලන්තයේ ”ඩාවෝස්’’ නගරයේ පිහිටුවන ලද මෙම සංවිධානයේ පුරෝගාමීන් වූයේ නෝර්වේ සහ ජපාන රජයන්, බිල් ඇන්ඞ් මෙලින්ඩා ගේට්ස් පදනම, වෙල්කම් ට‍්‍රස්ට් අරමුදල (එක්සත් රාජධානිය) සහ ජර්මනියයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 460 ක ආරම්භක අරමුදල සඳහා ජපානය ඇමෙරිකානු ඩොලර් මිලියන 125 නෝර්වේ ඇමෙරිකානු ඩොලර් මිලියන 125 ජර්මනිය ඇමෙරිකානු ඩොලර් මිලියන 10, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 සහ වෙල්කම් ට‍්‍රස්ට් අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 වශයෙන් අරමුදල් සපයන ලදි. මෙම සංවිධානයට පසුව ”යූ.එස්.එයිඞ්’’ හෙවත් ”ඇමෙරිකානු ආධාර’’, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ඔස්ටි‍්‍රයාව, බෙල්ජියම, යුරෝපා කොමිසම, ජර්මනිය, හංගේරියාව, අයිස්ලන්තය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව ආදී රටවල් රාශියක් අරමුදල් සැපයීම සිදුකරයි.

2020 වාර්තාවන්ට අනුව ”සී.ඊ.පී.අයි.’’ හි අරමුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 760 ක් වූ අතර එය ඉක්මනින්ම ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කය ඉක්මවා යනු ඇති බව විශ්වාස කෙරේ. 2020 මාර්තු මාසයේ එක්සත් රාජධානිය ”සී.ඊ.පී.අයි.’’ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 210 අරමුදල් ලබාදීමට පෙරොන්දු වූ අතර ඒ අනුව එක්සත් රාජධානිය ”සී.ඊ.පී.අයි.’’හි විශාලතම තනි ආයෝජකයා බවට පත් විය. වසංගත වලට එරෙහිව ලෝකයේ මෙතෙක් සිදුකල විශාලතම එන්නත් සංවර්ධන වැඩසටහන ”සී.ඊ.පී.අයි.’’ විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අතර මෙහි උප කාර්යාල දෙකක් ලන්ඩනයේ සහ වොෂින්ටන් ඞී.සී.හි පිහිටා ඇත. ”සී.ඊ.පී.අයි.’’හි විද්‍යාත්මක උපදේශන කමිටුවෙහි සාමාජිකයන් ලෙස ඇමෙරිකානු ෆයිසර්, ජොන්සන් ඇන්ඞ් ජොන්සන් සහ ජපාන ටකේඩා ඖෂධ සමාගම්වල විශේෂඥයන් කටයුතු කරයි.

* කොවැක්ස් සහ කොවැක්සින් පටලවා නොගත යුතුය

වචනවල සමානතාවය නිසා කොවැක්ස් සහ කොවැක්සින් යනු එකක් ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගනු දකින්නට ලැබේ. කොවැක්ස් සහ කොවැක්සින් යනු එකිනෙකට කිසිදු සමානකමක් නැති කාරණා දෙකකි. කොවැක්ස් රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවයෙන් ක‍්‍රියාත්මක ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා වැඩසටහනක් වන අතර කොවැක්සින් යනු ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් කොවිඞ් 19 වෛරසයට එරෙහිව නිපදවනු ලබන එන්නතකි. කොවැක්සින් එන්නත මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ රටවල භාවිතය සඳහා අනුමත කර නැත.

*එන්නත්කරණ ප‍්‍රවේශය සඳහා අඩු ආදායම්ලාභී රටවලට ඇති බාධා ?

සිය රටවල ජනතාව වෙනුවෙන් කොවිඞ් 19 එන්නත් ලබාදීම සඳහා අඩු ආදායම්ලාභී රටවලට ඇති බලවත්ම බාධාව වන්නේ මිලදී ගැනීම සඳහා එන්නත් ප‍්‍රමාණවත් ලෙස නොමැතිවීම සහ ඒ සඳහා ආර්ථික තත්ත්වය ශක්තිමත් නොවීමයි. මේ වන විට ලෝකයේ නිෂ්පාදිත එන්නත් මාත‍්‍රාවන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් ධනවත් රටවල් විසින් මිලදී ගෙන ඇති අතර එය ප‍්‍රතිශතයක් ලෙස 56% කි. එම රටවල් ලෝක ජනගහනයෙන් නියෝජනය කරන්නේ 16% ක් පමණක් වන අතර එසේ හෙයින් එම රටවල් සතුව අතිරික්ත එන්නත් තොග පවතින අතර ඒ නිසාම ලොව බහුතරයක් ජනතාවට එන්නතෙහි එක් මාත‍්‍රාවක් හෝ නොලැබී යෑමේ තත්ත්වයක් උද්ගතව ඇත. බ්ලූම්බර්ග් දත්තයන්ට අනුව එක්සත් ජනපදයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන්ම 93.2 කටම එන්නත් මාත‍්‍රාවක් හෝ ලබාදී ඇත. මීට වෙනස්ව අප‍්‍රිකානු කලාපයේ ඇතැම් රටවලට මේ වන තෙක් එන්නතෙහි එකම මාත‍්‍රාවක් හෝ ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති වීම එන්නත් බෙදීයාමේ විෂමතාවයේ ඛේදජනක තත්්ත්වය පෙන්නුම් කරයි. එන්නත් නිෂ්පාදන සමාගම් පිහිටුවා ඇති රටවල් වසංගතයට මුහුණදීමේදී විශේෂ වාසිදායක තත්ත්වයන් අත්විඳින බව රහසක් නොවේ. ඔවුන් විවිධාකාරයෙන් එන්නත් නිෂ්පාදන සමාගම් වෙත බලපෑම් සිදුකරන අතර බාහිරට එන්නත් අලෙවිකිරීම සම්බන්ධ සීමාවන් පැනවීම සිදුකරයි. වර්තමානයේ ගෝලීය එන්නත් කිරීමේ වේගය දිනකට මිලියන 36.1 පමණ වන අතර එය එම වේගයෙන්ම පවත්වා ගතහොත් වෛරසයට එරෙහිව ගෝලීය ප‍්‍රතිශක්තිය සාධනීය තත්ත්වකට ගෙන ඒමට අවම වශයෙන් තවත් වසරක්වත් ගතවනු ඇතැයි පුරෝකථනය කෙරේ. පවතින එන්නත් නිෂ්පාදනයන්හී ධාරිතාව මහා පරිමාණයෙන් ඉහළ නැංවීමේ ශඛ්‍යතාව සීමාසහිත වන නමුත් නව එන්නත් නිෂ්පාදකයන් වෙළෙඳපළට පිවිසීම තුළ මෙම කාලය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment