මොකක්ද මේ යුගදනවි යෝජනාව… රට ඇමරිකාවට ද චීනෙට ද ඉන්දියාවට ද?

771

රටේ ජනතාවටත්, පාලකයන්ටත් දැනෙන දනවන ප‍්‍රශ්න කිහිපයක් මේ වනවිට රට ඉදිරියේ තිබේ. ඒ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිවීම වැනි ශී‍්‍ර ලංකාවේ එතෙක් මෙතෙක් රට කළ ඕනෑම ආණ්ඩුවකට පොදු න්‍යාය පත‍්‍රයක් යටතේ කි‍්‍රයාත්මක වන, නිර්මාණය කරන ලද ප‍්‍රශ්න හැටියට තේරුම් නොගන්නා ලෙස අප සිහි තබාගත යුතුය. ළමා අපයෝජන සිද්ධි ගණනාවක්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් ගණනාවකක් නිතිපතා වාර්තා වන නිසාත්, කුජීත කි‍්‍රකට් තරග කිහිපයක් පැවැත්වෙන නිසාත් මේ ඇත්ත ප‍්‍රශ්න යට යෑමේ ස්වභාවයක් පවතී.

රටේ ජනතාව යම් පමණකට කලබල වූ නමුත් මේ ”ඇත්ත ප‍්‍රශ්න” ගැන ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. මේ කතාව ද එවැන්නකි.

*කෙළවරලපිටිය ඇමරිකාවට

කෙළවරපිටියේ පිහිටි යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ක් මිලට ගැනීමට ඇමරිකානු සමාගමක් සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ජුලි මාසයේ දෙවැනි සතියේදී පමණ බොහෝ මාධ්‍ය වාර්තාකර තිබිණි. නිවැරැදිව කිවහොත් පසුගිය ජුලි 12 වැනි සඳුදා මේ රටේ ආරක්‍ෂාවට (වත්මන් ආණ්ඩුව රටේ ආරක්‍ෂාව ගැන නිරන්තර තක්සේරුවක යෙදේ) සහ ආර්ථිකයටත් තීරණාත්මක ලෙස බලපෑමක් කිරීමට හැකි කැබිනට් පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබිණි. එපමණකින් නොනැවතී එම කැබිනට් පති‍්‍රකාවට සමගාමීව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමක්ද අත්සන් කළේය. ඒ, නිව් ෆොර්ට්රෙස් එනර්ජි (New Fotress Energy- NFE) නම් සමාගමකි.

මේ කටයුත්ත සිදුවන්නේ පෝට්සිටිය චීනයට පවරා දීමේ උණුසුම මැකී යෑමටත් පෙරාතුව වීම විශේෂත්වයකි. දැන් සිදුව තිබෙන්නේ රටේ ජාතික සම්පත් ඇමරිකාවටත්, චීනයටත්, ඉන්දියාවටත් පවරන අන්දමේ අමුතුම ආකාරයේ විදෙස් ප‍්‍රතිපත්තියකි. ආර්ථික ප‍්‍රතිපත්තියකි.

අදාළ කතාවට, නොඑසේනම් ගිවිසුමට අනුව කෙළවරපිටියේ පිහිටි යුගදනවි බලාගාරයේ කොටස් 40% (සියයට හතළිහක්) මිලට ගැනීමට අදාළ ඇමරිකානු සමාගම කටයුතු කරමින් සිටී.

* කෙළවරපිටියේ යුගදනවි බලාගාරය කුමක්ද?

ඇමරිකානු සමාගමට පවරා දීමට නියමිත යුගදනවි බලාගාරය පිහිටා තිබෙන්නේ වත්තල, හැඳල, මුතුරාජවෙල කර්මාන්තපුරයේ අංක 90 දරන ස්ථානයෙහිය. කෙළවරපිටිය යුගදනවි බලාගාරය මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් බලාගාරයකි. එය ඉදිකර ඇත්තේ ද්‍රවිකෘත ස්වභාවික ගෑස් හෙවත් එල්.එන්.ජී.වලින් කි‍්‍රයාත්මක කිරීම සඳහා පරිවර්තනය කළ හැකි බලාගාරයක් ලෙසය. යුගදනවි මුළුමණින්ම රාජ්‍ය සමාගමකි. එහි 50%කට අධික ප‍්‍රමාණයක් මහා භාණ්ඩගාරය සතුවේ. තවත් කොටස් ප‍්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත්, තවත් කොටසක් රජය යටතේ පවතින ලෙකෝ සමාගමටත් අයත්ය. එමෙන්ම රජය සතුව ඇති ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් (Lanka Transformers Limited – LTL) ආයතනයට ද කොටස් ප‍්‍රමාණයක් හිමිය. එසේ බලනවිට මේ ඇමරිකානු ගිවිසුමට අනුව ඇමරිකානු සමාගමකට පැවරීමට යන්නේ මහා භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන හතරකට අයත් බලාගාරයක 40%ක කොටස් ප‍්‍රමාණයකි. යුගදනවි බලාගාරය ආසන්නයේම තවත් බලාගාර පද්ධතියක් ඉදිවෙමින් පවතින අතර එහි ධාරිතාවය ද මෙගාවොට් 300 කි. ඒ අනුව අදාළ බලාගාර දෙකෙහිම මෙගාවොට් 600ක පමණ ධාරිතාවක් නිපදවේ. ඉදිරි සැලසුම් අනුව 2025 වර්ෂය වනවිට මෙම බලාගාරයන්හි ධාරිතාව මෙගාවොට් 1000ක් දක්වා වැඩි කිරීමට ද සැලසුම්කර තිබේ. නිවැරැදිව කිවහොත් යුදගනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය යි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුමට ලිපියක් යවමින් මේ ගිවිසුමෙහි ඇති අහිතකර තත්ත්වයන් පෙන්වා දී තිබිණි. විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වනවිට රාජ්‍ය සමගාම්වලට අයිතිව තිබෙන සියලූ කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට (වර්තමාන තත්ත්වය අනුව) නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් ඇමරිකානුවන් අතට පත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.

යුගදනවි බලාගාරයේ අදාළ කැබිනට් පති‍්‍රකාව සම්මත කරගත් වහාම NFE නම් අදාළ ඇමරිකානු සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ”වෙස් ඉඞ්න්ස්” වෙබ් අඩවියකට ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ”ශී‍්‍ර ලංකාවේ පළමු LNG පර්යන්තය සඳහා කරනු ලබන මෙම ආයෝජනය මගින් රටේ පිරිසිදු බලශක්ති නිපැයුම ඉදිරියට ගෙන යන බවය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙරට ශක්තිමත් ආර්ථිකයටත්, තිරසර සංවර්ධනයටත් සහය වන රටේ විදුලිය හා යටිතල පහසුකම් සඳහා කෙරෙන ආයෝජන ගණනාවක් ඇතිවන බව ඔවුන් සිතන (ඇමරිකානුවන්) පළමු අවස්ථාව මෙය බවය.

ඇමරිකානු නියෝජිතයාගේ වචන ආකර්ෂණීය ය. සිත් ඇදගන්නාසුලූය. කර ඇත්තේ ආයෝජනයකි. බියවීමට හේතුවක් නැත. රටේ ආර්ථිකයටත් තිරසර සංවර්ධනයටත් ලැබෙන්නේ ඇඟ කිලිපොලා යන අන්දමේ සපෝට් එකකි. ඉතින් බියවීමට හේතුව කුමක්ද? ගූග්ල්, ඊමේල් (google, Email) වැනි ”ඇමරිකානු සන්නාම” ද එවා තිබූ දේශපාලනඥයන්ම යුගදනවි පවරා දෙන්නේ ඇමරිකාවට නොව ”ඇමරිකානු සමාගමකට” යැයි කියනවිට රටේ ජනතාව කුලප්පු වන්නේ කුමකටද? එහෙත්, භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා කවරෙකුට වුව රට පාලනය කිරීමට වුව බලයක් ලැබෙන බව අප කවුරුත් තේරුම්ගත යුතුය.

අදාළ බලාගාරය සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබිණි. ඒ මේ වසරේ මුල් කාර්තුවේදීය. එහිදී තිබෙන ගෑස් ගබඩා සංකීර්ණයක් (Floating Gas storage complex) වෙනුවෙන් එම ටෙන්ඩර් කැඳවීම සිදුකර තිබිණි. ඒ ටෙන්ඩරය වෙනුවෙන්ම වෙනම කාර්යාලයක් විවෘත කරන්නට කටයුතු කළාක් මෙන්ම කාර්ය මණ්ඩලයක් ද ස්ථාපිත කළේය. යෝජින ටෙන්ඩර් කැඳවූ ව්‍යාපෘතිය කෙළවරපිටිය බලාගාරය මෙන්ම මෙරට සියලූ ගෑස් බලාගාර වෙනුවෙන් ගෑස් සැපයීම භාරවෙන ව්‍යාපෘතිය යි. ආණ්ඩුව විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය තීරණයකට අනුව සියලූ ඞීසල් බලාගාර, එල්. එන්. ජී. ස්වභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීමට තීන්දුවක් ගෙන තිබිණි. අදාළ ජාත්‍යන්තර ටෙන්ඩරය කැඳවා තිබුණේ ඒ සඳහාවන නළ පද්ධතිය ඉදිකිරීමටය. අදාළ ටෙන්ඩරය අවසන් කර තිබියදී ඉහත ගිවිසුම අත්සන් කළ ඇමරිකානු සමාගමටම එම ඉදිකිරීම් ද ලබාදීමට කැබිනට් පති‍්‍රකාවෙන් අනුමැතිය ලබාදී තිබේ.

විදුලබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය එල්. එන්. ජී. සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ නිර්දේශයක සිටියදී එවැන්නක් සිදුවීම පුදුමයට කරුණක් බව ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පෙන්වා දෙති. එවැනි විනිවිදභාවයකින් යුත් තරගකාරී ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් රටටත් විදුලි පාරිභෝගිකයන්ටත් උපරිම වාසි අත්වන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. දැනගන්නට ඇති පරිදි මේ වනවිට එල්. එන්. ජී. සැපයීම සඳහා ලංසුකරුවෝ 16 දෙනකු ඉදිරිපත්ව සිටිති.

එසේ තිබියදී කෙළවරපිටිය ඉදිකිරීම් ලබාදෙන ඇමරිකානු NFE සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05කට ඇමරිකානු සමාගම වෙතට ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී තිබේ. සරලව කිවහොත් ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද ඇමරිකානු සමාගමට ම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය. ඒ නිසාම මේ කැබිනට් පත‍්‍රය මෙන්ම ටෙන්ඩරය ද අණ්ඩරයක් බවට පත්ව තිබේ.

* එල්. එන්. ජී. යෝජනාව පරණ එකකි

අදාළ යෝජනාව ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඇමරිකානු සමාගමේ ස්වෙච්ඡා යෝජනාවක් ලෙස ඉදිරිපත් වී තිබේ. එහෙත් මේ ආකාරයේ යෝජනාවක් මුල්වරට ඉදිරිපත් වන්නේ යහපාලන ආණ්ඩුව සමයේය. ඒ එවකට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නමින්ය. එම යෝජනාව යහපාලන ආණ්ඩුව යටතේම නැවත වාරයක් ඉදිරිපත් වන්නේ එවකට විදුලිබල අමාත්‍යවරයාව සිටි රංජිත් සියඹලාපිටිය හා අමාත්‍ය සරත් අමුණුගම මහත්වරුන්ගේ නමින්ය. එම යෝජනාවේ ද වත්මන් යෝජනාවේ ම සඳහන් ආර්ථික ප‍්‍රතිලාභ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදිය සඳහන්ව තිබේ. එම යෝජනාව ගෙන එන්නේ කොරියානු සමාගමකිනි. එම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසම අනුමත කර ඇති 2015-2034 සැලස්ම අනුව කෙළවරපිටිය, කැලණිතිස්ස ලංවිම බලාගාරය, කැලණිතිස්ස සොජිට් බලාගාරය එල්. එන්. ජී. වලින් ධාවනය කිරීමට යෝජිතය. කොරියානු සමාගමේ යෝජනාවේ කොන්දේසිය වූයේ ශී‍්‍ර ලංකාව අවුරුදු 20 ක කාලයක් වාර්ෂිකව ගිවිස ගත්තා වූ එල්. එන්. ජී. ටොන් ගණනක් මිලදී ගත යුතු බවයි. එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පාවෙන ගෑස් පරිවර්තිත පර්යන්තය හා නළ මාර්ගය බී. ඕ. ටී. (BOT ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ) ක‍්‍රමයට කි‍්‍රයාත්මක වන බවය. එහෙත් එම ව්‍යාපෘති යෝජනාව ස්විස් චැලෙන්ජ් ක‍්‍රමයට කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබිණි. එය මෙරටට තරමක් නුහුරු වුවද ප‍්‍රතිලාභ අත්වන්නකි. ස්විස් චැලෙන්ජ් ක‍්‍රමය යනු එම ව්‍යාපෘති යෝජනාව ප‍්‍රසිද්ධියට පත්කර ඊට අභියෝගවන ලෙස වෙනත් පාර්ශ්වයන්ට ආරාධනා කිරීමය. විශේෂත්වය වන්නේ එම ව්‍යාපෘතිය ලබාදෙන්නේ පෙර ව්‍යාපෘතියට වඩා අවම මිල ගණනින් යුත් එහෙත් ඵලදායී ගුණාත්මක ව්‍යාපෘති යෝජනාවකට පමණක් වීමය.

අප රටේ ජනතාවටත්, වගකිව යුතු අයටත් සිහිපත් කරන්නේ විවාදයට තුඩු දී ඇති යුගදනවි ඇමරිකානු යෝජනාව (ගිවිසුම) ඉහත යෝජනාවලට අලගු තබන්නට හෝ හැකියාවක් තිබේ දැයි විමසා බලන ලෙසය. එහෙත් වර්තමානයේ දිගින් දිගට ම කි‍්‍රයාත්මක වන ”චීන ස්වෙච්ඡා යෝජනා” අතර ඇමරිකානු යෝජනා කජ්ජක් දැයි අහන අය ද සිටින්නට පුළුවන.

කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මොහොත වන තෙක්ම එය කිසිදු ඇමැතිවරයකු නොදැන සිටි බව අපේ විශ්වාසයයි. අවම වශයෙන් විදුලිබල අමාත්‍යවරයා මෙය දකින්නට ඇත්තේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ බවද අපි විශ්වාස කරමු. සාමාන්‍යයෙන් සඳුදා දිනයේ රැස්වෙන කැබිනට් මණ්ඩලයට සිකුරාදා වනවිටත් කැබිනට් පති‍්‍රකා ලැබීම අප දන්නා සාමාන්‍ය කි‍්‍රයාදාමයයි. එහෙත් මෙම ‘ඇමරිකානු ගිවිසුම’ සහිත කැබිනට් පති‍්‍රකාව එසේ ලැබී නැත. අවම වශයෙන් කැබිනට් පති‍්‍රකාවක් අදාළ ඇමැතිවරුන්ට ලබාදී නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදේ. එහෙත් බලශක්තිය සම්බන්ධයෙන් වගකියන විදුලිබල ඇමැතිවරයාටත් ඛනිජ තෙල් ඇමැතිවරයාටත් සිය නිරීක්‍ෂණ ලබාදීමට කිසිදු අවස්ථාවක් ලබාදී නැති බව පැහැදිලිය. වෙනත් ආකාරයකින් කිවහොත් කිසිදු සංශෝධනයකින් තොරවම අදාළ කැබිනට් පති‍්‍රකාව සම්මත කරගෙන තිබේ.

2025 වනවිට මෙරට විශාලතම බලාගාරය වසර 05ක් යනතුරු ගෑස් සැපයුම, ගබඩා සංකීර්ණය හා නළ පද්ධතිය ඇමරිකානු සමාගමක් යටතට පත්වේ. අපි නැවත කියමු, මෙය රටේ සම්පත් විකුණා දැමීමක් හැර අන් කිසිවක් නොවේ.

සාකච්ඡා කළේ-
උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment