මොනරවිල කැප්පෙටිපොළ සහ 1818 කැරැල්ල

341

අපේ රටේ ජාතික වීර නාමාවලියේ අංක එකේ යුග පුරුෂයා ලෙස ලක්වැසියන් සියලු දෙනා දන්නා සියලු දෙනාගේ හිත් දිනාගත් වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා රට දැය වෙනුවෙන් ගහලයාගේ කඩුවට නිර්භීතව ශීර්ෂය පුදා අදට වසර 204 ක් සපිරෙයි.

ක්‍රි. ව. 1818 නිදහස් සටන හා කැප්පෙටිපොළ චරිතය යනු මාතෘකා දෙකක් නොව එකකි. කැප්පෙටිපොළ නැත්නම් අටසිය දහඅටේ නිදහස් සටනක් නැතිවාසේම එම නිදහස් සටන සිදුනොවුණානම් කැප්පෙටිපොළ කෙනෙක්ද නැත.

කැප්පෙටිපොළ වීරයා සටන් කළ ආකාරය හා දිවිපිදූ ආකාරය මෙරටේ පමණක් නොව පිටරටවල පවා නොදන්නා කෙනෙක් නැති තරමින්ය. එසේ හෙයින් එතුමා දිවිපිදූ අද වැනි දිනක එතුමාගේ පුද්ගලික චරිතය නොව අටසිය දහඅටේ නිදහස් සටනේ පසුබිම් කථාව එතුමා අනුස්මරණය කිරීම සඳහා මෙලෙස දක්වමි.

උඩරට නිදහස් සටන 1818
ඉංග්‍රීසි ආගමනය

ඌව වෙල්ලස්ස කැරැල්ල, උඩරට කැරැල්ල, මහ කැරැල්ල, ආදී විවිධ නම්වලින් හැඳින්වෙන 1818 උඩරට නිදහස් සටනට 2022 වර්ෂය වන විට වර්ෂ 204 ක් ගත වෙයි. 1817/10/11 වන දින එවකට බදුල්ල දිසාපතිවරයා වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් ඝාතනයෙන් ආරම්භවන මෙහි සටන් ක්‍රියාවලිය එහි ප්‍රභලම නායකයා වූ කැප්පෙටිපොළ නිලමේ නොහොත් රාජපක්‍ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ රාලහාමි බණ්ඩාරනායක වික්‍රමසිංහ හෙවත් මොනරවිල කැප්පෙට්ටිපොල නිලමේ තුමා 1818/11/26 දින හිස ගසා දැමීමෙන් උඩරට නිදහස් සටන 1818 අවසන් වෙයි.

මෙම නිදහස් සටන ගැන කථාකිරීමේ දී අපේ රටතුළ එවන් තත්ත්වයක් පැන නැගීමට හේතු සාධක වූ කරුණු හා සිද්ධිමය එකිනෙකට සම්බන්ධවන හෙයින් ඒ පිළිබඳව කෙටියෙන්ම හෝ සොයා බැලීම වඩා වැදගත් වෙයි.

ඉංග්‍රීසි ලංකාගමනය

ක්‍රි. ව. 1796 පෙබරවාරි 15 දින ඕලන්ද ජාතිකයන් පලවා හැර ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගන්නා ඉංග්‍රීසින්ගේ ප්‍රථම ලංකා ආණ්ඩුකාරවරයා ලෙස පත්වනුයේ 1798 ඔක්තෝබර් 12 දින ලංකාවට පැමිණි පෙඩි්‍රක් නෝත්ය. ඔහුගේ මුල්ම කාර්ය වූයේ ලන්දේසින් සතුව තිබූ ගම්බිමි හා ආදායම් මාර්ග පිළිබඳව සොයා බැලීම හා ඒවා අත්පත් කරගැනීමයි.

එයින් සෑහීමකට පත් නොවූ ඔහු 1803 ඔහුගේ සේනාධිපති වූ මැක්ඩෝවල් මගිනුත් 1804 ජෙනරාල් ඩග්ලස් වේමයින් මගිනුත් කන්ද උඩරටද අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ සියල්ල අසාර්ථක වූවා පමණක් නොව විශාල හමුදා භට ප්‍රමාණයක් හා අවිඅයුධ වෙඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් විනාශ වීමටද හේතු වෙයි. 1804 මෙම යුද ප්‍රයාමයේදී මඩකලපුවේ සිට පැමිණි කපිතාන් ආතර් ජොන්ටන්ගේ සේනාව පලවා හැරියේ ද කැපපෙටිපොල නිලමේ විසිනි.

නිදහස් අරගලයේ මුල් බීජ සහ ඌව වෙල්ලස්ස

මෙය වඩාත් උත්සන්න වීමට හේතුව වූයේ ඌව වෙල්ලස්සේ මඩිගේ බද්දභාර මුහන්දිරම් තනතුරට හා මෙතෙක් කාලයක් කොහුකුඹුරේ පරපුර භාරයේ පැවති රාජකීය ඇත්දළ යුවළක භාරකාරිත්වය නයිනමරික්කාරිඅප්පා හෙවත් හජ්ජි මොහොහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයකුට පැවරීමයි. මඩිගේ බද්ද භාරව මෙතෙක් කටයුතු කළේද කිවුලේගෙදර, බුටෑව, කොහුකුඹුර, නන්නපුරාව, අලමුල්ල, බකිණිගහවෙල නක්කල ආදී පරම්පරාවල් නිසා මෙම පත්වීමෙන් ඔවුන් තදබල කෝපයටද පත්වෙයි.

හජ්ජි විසින් තම තනතුර උපයෝගි කරගෙන සිංහලයන්ට තාඩන පීඩන සිදුකිරීමත් මුස්ලිම්වරු බදුවලින් නිදහස් කිරීමත් මෙම අයගේ වෛරය තව තවත් උත්සන්න කිරීමට හේතුවෙයි. ඒ නිසා ඇපලෝගම මොහොට්ටාල කතරගම මහබෙත්මේ බකිණිගහවෙල රටේරාල, බුටෑවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටටාල, මීගහාපිටියේ හිටිරාල, කොහුකුඹුරේ රටේ රාල යන අයවලුන් වෙල්ලස්ස මැඩිල්ල නම් ස්ථානයේදී රැස්වී ඉංග්‍රීසින්ට කළ යුතු දෑ සාකච්ජා කරන අතර, ඔවුන් තීරණය කරන්නේද රජකු පත්කර ඒ යටතේ සංවිධානය වී ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කිරීමයි.

ඌව වෙල්ලස්සෙන් රජකු සොයාගනියි

මේ අතර කතරගම වන්දනාවේ ගොස් ආපසු අනුරාධපුර බලා යන හාමුදුරුනමක් අහඹු ලෙස දකින කිවුලේගෙදර මොහොට්ටාල ඔහුගේ පෙනුම හා දේහලක්‍ෂණ අනුව නාඳුනන එම හිමිනම රජකමට සුදුසු යැයි තීරණය කර බිම්තැන්නේ පුබ්බාරේදී වැදි පිරිසක් හා එක්ව ඔහු අත්අඩංගුවට ගෙන සිවුරු හරවා අස්මාලියද්දේ ගුහාවක රඳවා රටේ රජකමට ඔහු පොළඹවා ගනියි. ඒ අනුව කතා කිරීම හැසිරීම ආදිය ද පුහුණු කරයි.

ඉන්පසු පළාතේ නායකයන් හට ඔහු රාජාධිරාජසිංහ රජුගේ මස්සිනා වූ කාලුනායක්කාරගේ පුතු වන දොරේසාමි ලෙස හඳුන්වා දී රජකමට පත්කිරීමට යෝජනා කර ඔවුන්ද ඊට එකඟ කරවාගනී.

කැප්පෙටිපොළ නිළමගේ භූමිකාව

ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ දොරේසාමි නම් මලබාර් අමුත්තකු රජකමට හිමිකම් කියමින් සැරිසරන බවටත් ඔහුගේ නායකත්වය මත ඌව වෙල්ලස්සේ කැරලිකාර තත්ත්වයන් නිර්මාණය වෙමින් පවත්නා බවටත් ඉංග්‍රීසින්ට ලැබුණු ආරංචිය අනුව එම තත්ත්වය මැඬලීම සඳහා ඔවුනට ඉතා හිතවත් විශ්වාසවන්ත සිංහල නිලමේ වරයෙක් වූ මොනරවිල කැප්පෙටිපොළ ඉංග්‍රීසි සේනාවක් සමග ඌවට පිටත් කර හරියි. එහෙත් 1817/11/01 දින අලුපොත ප්‍රදේශයේදී අරුමානම් වැදි නායකයා ප්‍රමුඛ වැදි පිරිසත් සමග ඔහු ඉදිරියට එන කොහුකුඹුරේ රටේ රාල විසින් කරන ලද ඉල්ලීම අනුව ඔහු භාරයේ පැමිණි ඉංග්‍රීසි සෙබළුන් ආයුධ සමග ආපසු හරවා යවා කැරලිකරුවන් හා එක්වෙයි. ඉන් පසුව දෝරේසාමි හමුවන ඔහු ඔහුට පක්‍ෂපාතීව ඉදිරි සටන්වලට නායකත්වය දීමටද එකඟ වෙයි.

නිදහස් සටන ප්‍රාණවත් වෙයි

මෙම සිද්ධිය ලැව්ගින්නක් සේ උඩරට පුරා පැතිරීමත් සමග මෙතෙක් දෙගිඩියාවෙන් සිටි සිංහල නායකයන් හා සාමාන්‍ය ජනතාව මහත් උද්දාමයෙන් කැරලිකරුවන් සමග එක්වීමට පෙළගැසෙයි.

මේ අතර දොරේසාමි නමැත්තා ඉනවැල්ල ප්‍රදේශයේ සිටින බවට ලද ආරංචියක් අනුව ඉංග්‍රීසීන් විසින් ඔහු ඇල්ලීමට යැවුයේ හජ්ජි මුහන්දිරම්ය. ඉනාවැල්ල, දංකුඹුර බලා යන අතර 1817/09/13 දින ඔහු සිංහල සටන්කාමීන්ට කොටුවෙයි.

සටනට රජකු පත්වෙයි

ඒ අතර සිංහල සටන්කාමීන් විසින් දොරේසාමි නමැති අය රජ බවට ඔටුනු පැලැන්දවීම සඳහා වෙල්ලස්සේ කොකාගල, දියබෙදුම නම් ස්ථානයේ තාවකාලික මාලිගාවක් සාදා උත්සවයක් සංවිධානය කරයි. ලේඛනගත තොරතුරු හා සාක්‍ෂි සැසඳීමේදී මෙම දිනය 1817/09/14 දින වන්නට බොහෝ දුරට ඉඩ තිබෙයි.

කැප්පෙටිපොළ නිලමේ මහා සංඝරත්නයත් දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාවත් සමග ඔටුනු පැළඳීමේ උත්සවය චාරිත්‍රානුකූලව පවත්වා දොරේසාමි, කීර්ති

ශ්‍රී මහවාසල ශ්‍රී රාජසිංහ නමින් ත්‍රීසිංහලේ නව රජු ලෙස පත්කර ගනී. රජුගේ පළමු කාර්ය වී ඇත්තේ ඇමැති මණ්ඩලය ඇතුළු කාර්යමණ්ඩලයක් පත්කර ගැනීමයි. ඒ අනුව කැප්පෙටිපොළ නිලමේ මහාධිකාරම් ලෙසත්, ඉහගම හිමි පට්ටිපොල දිසාව ලෙසත් අනෙක් පළාත් භාර නිලමේවරු ඒ පළාත් වලටත් පත්කර ගනී.

සන්නද්ධ සටන වෙල්ලස්සෙන්

හජ්ජි මුහන්දිරම් සිංහල සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වූ බව ආරංචි වන බදුල්ල දිසාපති වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් 1817/09/16 දින බිබිල ආසන්න ඉනාවැල්ලට පැමිණ බූටෑවේ රටේරාල හා සාකච්ජා කරන්නට උත්සාහ කළත් එය අසාර්ථක වූ හෙයින් ආපසු යන අතර 1817/09/16 දින ඉනාවැල්ලේ ඉබ්බාන්නා ඔය අසලදී සටන්කරුවන් අතින් මරණයට පත්වූ අතර ඔහුගේ හිස ඊතනවත්ත දේවාලය අසලට රැගෙනවිත් දමයි.

ඩග්ලස් විල්සන් මරණයට පත්වූයේ තමා විසින් විදින ලද හී පහරකින් බව මීගහපිටියේ රටේ රාල හෙවත් හිටිරාල මුලින් පවසා ඇතත් ඔහු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පවසා ඇත්තේ විල්සන් හට විද්දේ වෙනත් 4 දෙනෙක් විසින් බවය. එනම් ඉකිරියම්පල මිටිගම්මැගේ ඊතනවත්තේ බඩ පිස්සා, බකිනි ගහවේල උපාසක අප්පු, දොඩම් ගොල්ලේ හෙට්ටිපොලයා යන අය බව මීගහපිටියේ රටේරාල පැවසුවත් පිටුවහල් වූ පසු එහිදී නැවතත් පැවසුයේ විල්සන් මැරුවේ තමන් බවය.

ඉංග්‍රීසීන්ගේ සන්නද්ධ ප්‍රතිචාර

ඩග්ලස් විල්සන් මරා දැමූ පසු ඔවුන් ඇල්ලීම සඳහා විවිධ පළාත්වලින් හමුදා කණ්ඩායම් ඌවට එවන ලද අතර, එසේ පැමිණෙන මේජර් මැක්ඩෝනල්ගේ හමුදාව විසින් ඌසන්වැල්ල ගම සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ

කරයි. මේ අනුව ඌව වෙල්ලස්ස වලපනේ ආදී ප්‍රදේශවලට පමණක් සීමාවී තිබූ සටන් 1818 ජනවාරි වන විට මාතලේ, දුම්බර උඩුනුවර, යටිනුවර, හේවාහැට තුම්පනේ, හාරිෂපත්තුව, සතර කෝරලය, සත්කෝරලය, තමන්කඩුව, සබරගමුව ආදී ප්‍රදේශවලටද පැතිරීමෙන් මුළු උඩරටම යුද්ධයක් බවට පත්වෙයි. උඩරට නායකයාන් වූ පිළිමතලාව, මඩුගල්ල නිලමේවරු ආදීන් හා පහළ නායකයන් විසින් ඒවා මෙහෙය වූ අතර වැසියන් ස්වේච්ජාවෙන් මෙන්ම බලහත්කාරයෙන් ද ඒවාට එක්කර ගනියි.

සටන්කාමීන්ගේ නැගීම

ඇතැම් සිංහලයන් ඉංග්‍රීසින් වෙතද පලාගියහ. මේ අතර නොවැම්බැර් 25 වෙනිදා කොළඹට හැමූ කුණාටුවකින් කොළඹ වරායේ තිබූ නැව් මෙන්ම ඉංග්‍රීසීන්ගේ ගබඩා බොහොමයක් විනාශවී ගියේය. එමෙන්ම ඌව ප්‍රදේශයේ පැතිරිගිය වසූරිය, මැලේරියා සහ පාචන රෝගයෙන්ද ඉංග්‍රීසි සෙබළුන් බොහෝ දෙනෙක් මියගිය අතර ඉතිරි වූ අය බොහෝ සෙයින් දුර්වල තත්ත්වයෙන් පසුවූහ. නාලන්දා, වලපනේ, තුම්පනේ හා ඌව බලකොටු බිඳවැටිනි. ඌවේ සටන් මෙහෙයවූ මේජර් මැග්ඩොනෙල් පරනගම කඳවුරට පසු බැස්සේය.

ඒ අතරම උඩරට එන සැපයුම් මාර්ග සිංහල සටන්කරුවන් අතට පත්වීමෙන් සැපයීම්ද ඇනහිටින. මේ අනුව ඉතා දුර්වල තත්ත්වයට වැටුණු ඉංග්‍රීසින් යටත්වීමට හෝ උඩරට හැර යෑමට ඔන්න මෙන්න තිබූ අතර, ඇතැම් බලකොටුද අත්හැරිනි. මේ අවස්ථාවේ මොල්ලිගොඩ, එක්නැලිගොඩ හා දොලොස්වල රාල ඉංග්‍රීසීන්ට උදවු කළාය. මේ නිසා උඩරට සිංහල නායකයන් බෙදඹින්න වීමත්, කලකිරීමත් හේතුවෙන් නිදහස් සටන සීග්‍රයෙන් අඩපණ වන්නට වෙයි. මාවතගම, ඇල්ලේපොල ආදී සිංහල නායකයන් අත්අඩංගුවට පත්වීම හා සිංහලයන් නැවත ඉංග්‍රීසින්ට එකතුවීම සීග්‍රයෙන් ඉහළ යයි.

නායකයන් අත්අඩංගුවට පත්වීම

1818 මැයි මාසයේදී නිදහස් සටනේ ප්‍රධානියකු වූ කොහුකුඹුරේ රටේරාල ඉංග්‍රීසින්ට හසුවීම නායකයන් අසුවීමේ ආරම්භය සනිටුහන් කරයි. ඔහුගෙන් සහ ඔහුගේ සහ ඔහුගේ පුතුගෙන් ලද තොරතුරු අනුව බුටෑවේ රටේ රාළද අත්අඩංගුවට ගනියි. එතැන් සිට දිගින් දිගටම නායකයන්ද කැරැලිකරුවන්ද අත්අඩංගුවට ගැනීම් භාරවීම් සිදුවේ.

කැප්පෙටිපොළ නිලමේ ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වේ

1818 ඔක්තෝබර් 28 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරවහගම වලව්වක රැඳී සිටියදී සන්නද්ධ ඉංග්‍රීසි භටයින් 30ක කණ්ඩායමක් සමග පැමිණි ලුතිතන් විලියම් ඕනිල් විසින් කැප්පෙටිපොළ නිලමේතුමා සහ පිළිමතලාව නිලමේ අත්අඩංගුවට ගන්නා ලද අතර මේ සමග සිටි මඩුගල්ල ඇතුළු ප්‍රධානීන් 20ක් සහ සිංහල සෙබළුන් 300ක් පලා ගිය බව වර්තාවල දැක්වේ. එහෙත් දින කිහිපයකට පසු මඩුගල්ල නිලමේ ඇතුළු අනෙක් නායකයන් සියලු දෙනා වරින්වර අත්අඩංගුවට පත්වෙයි.

1818 නොවැම්බර් 26 දින මහනුවර බෝගම්බර වැව අසලදී කැප්පෙට්ටිපොල නිලමේතුමාගේ හිස ගසා මරණයට පත්කරන අතර ඒ පිළිබඳව විස්තරය සියලු දෙනාම දන්නා හෙයින් මෙහි සටහන් නොකරමි.

මේජර් (විශ්‍රාමික)
කොඩිතුවක්කුකාර ගෙදර කුලරත්න,
අංක 21, පොලිස්කන්ද, දියතලාව.

advertistmentadvertistment
advertistmentadvertistment