මොරගහහේනේ ද්විත්ව ඝාතනය – ‘හඳයාගේ’ වැඩක්

845

STF එකට ඔත්තු දුන්නැයි පළිගැනීමක් – පොලිසිය කියයි

මොරගහහේන මාලොස්ඇළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07 වැනිදා) වෙඩි තබා ඝාතනය කිරීම පාතාල කල්ලි නායක හඳපාන්ගොඩ ‘හඳයා’ නමැති පාතාල නායකයාගේ නියෝග මත සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ‘හඳයා’ සහ ඔහුගේ කල්ලියේ අපරාධකාරයන් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තු ලබා දුන් බව කියන සිද්ධියකට පළිගැනීමට මොවුන් මෙසේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා 50 සහ 52 වියේ පසුවන අය වන අතර ඔවුහු පන්නිපිටිය පිළියන්දල පදිංචිකරුවෝ වෙති.

සොරකම් සහ තවත් අපරාධ කීපයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත මෙම පුද්ගලයන් දෙදෙනාට සෑම ඉරිදා දිනකම රත්නපුර පොලිසියේ පෙනී සිටීමට නියමිතව තිබී ඇත.

ඊයේ පෙරවරුවේ මොවුන් දෙදෙනා රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රිරෝද රථයකින් තම නිවෙස් බලා එමින් සිටියදී මොරගහහේන මාලොස්ඇළ හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල, අවි යොදාගෙන මොවුන්ට වෙඩි තබා පලා ගොස් ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයන් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

‘හඳයා’ නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් හෝමාගම, මොරගහහේන ඇතුළු ප්‍රදේශ ගණනාවක සිය පාතාල කල්ලිය මෙහෙයවයි.

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් හඳයාට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය එල්ල කර පලා ගිය පාතාල සාමාජිකයන් සොයා ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබිණි. මොරගහහේන පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු , හොරණ – විදුර විජයනාථ

advertistmentadvertistment
advertistmentadvertistment