මෝදිගේ තෙවන ඉනිම

328

ඉන්දියාවේ ලෝක දැක්ම

ඉන්දියාවේ ලෝක දැක්ම පදනම් වී ඇත්තේ, විශ්වමිත්‍ර (සියලු දෙනාගේම මිතුරා) සහ විශ්වගුරු (සියලු දෙනාගේම ගුරුවරයා) යන පුරාණ දර්ශනය මතය. කවරක් නමුත් ඔවුන් මෙය ක්‍රියාත්මක කරන්නේ වෙනස් ආකාරයෙනි. පාකිස්තානය මෙහෙයවන්නේ පන්ජාබ් ප්‍රභූන් වන අතර ඉන්දියාව මෙහෙයවෙන්නේ බ්‍රාහ්මණ මතයෙනි. පසුගිය මැතිවරණයේදී අගමැති මෝදිට බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි විය. එනිසාම මෝදි නමැති සන්නාමයට පහරක් එල්ල වී ඇති බව පැහැදිලිය. සභාගයක් බිහිවුණේ භාරතීය ජනතා පක්ෂයට ලැබුණු ආසන ප්‍රමාණය 240ක් වීම නිසාය. අගමැතිවරයා තම පක්ෂය ආසන 370ක් දිනනු ඇතැයි උදම් අනමින් සිටියද ඉන්දීය ජනයා ඔහුගේ බලයට තර්ජනයක් එල්ල කර තිබිණි. කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය බටහිර ලෝකය තුළ ඇති කරන්නේ, ශුභවාදී සහ අනතුරු ඇඟවීමක් අතර සම්මිශ්‍රණයකි. අමෙරිකානු දේශපාලන විද්‍යාඥ ජෝන් මියර්ෂයිමර් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව “නැගී එන මහා බලවතෙකු මිස තවමත් මහා බලවතෙකු බවට පත්වී නොමැති,” බව ය.

සුබ්‍රමනියම් ජයශංකර් යළිත් වරක් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමග චීන විශේෂඥයින් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් අපේක්ෂා නොකරයි. ඉකුත් සතියේ අඟහරුවාදා, චීන අගමැති ලී ච්‍යං ඉන්දීය අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි වෙත සුබ පැතුම් පණිවිඩයක් යවා තිබුණි. එහිදී ඔහු කියා සිටියේ චීන – ඉන්දියාව සබඳතා යහපත්වීම කලාපයට සහ ලෝකයට ධනාත්මක ශක්තිය එන්නත් කරන බවයි. ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියකට ගෙන ඒම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන අගමැතිවරයා සඳහන් කර තිබිණි. චීන අගමැතිගේ පණිවිඩය එවා ඇත්තේ මෝදිගේ නැවත පත්වීමෙන් පසු දෙවන වරටත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජයිශංකර් වැඩ භාරගත් දිනයේම ය. ජයිශංකර් ඉන්දීය වාර්තාකරුවන්ට පවසා තිබුණේ චීනය සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වන්නේ දේශසීමාවේ ඉතිරිව ඇති ගැටලු විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව බවයි. චීනය සමඟ උත්සන්න වන අර්බුද හේතුවෙන් පසුගිය වසර හතර තුළ ඉන්දියානු ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින්ට අත්වූ පාඩුව ඩොලර් බිලියන 15 ක් වන අතර රැකියා 100,000 ක් අහිමි වී තිබේ. මේ නිසා චීනය සමග ඇති එදිරිවාදිකම් නිසා වඩා අවාසි සැලසෙන්නේ ඉන්දියාවට බව පෙනී යයි. විශ්ලේෂකයින් පවසන්නේ, චීනයට එරෙහිව ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියා කිරීම සඳහා අමෙරිකාව සමග ඇති හවුල්කාරිත්වය වැඩි කර ගැනීමට මෝදි කටයුතු කරනු ඇති බවයි. නමුත් මේ නිසා පීඩාවට පත්වන්නේ ඉන්දීය කර්මාන්තයි.

නැවත පත්වූ මෝදි රජය, අරුනාචල් ප්‍රදේශ්හි චීනයේ නාමකරණ ආක්‍රමණයට ප්‍රබල ප්‍රතිචාරයක් සනිටුහන් කරමින් ටිබෙටයේ ස්ථාන 30ක් නැවත නම් කිරීමට අනුමැතිය දීම මත චීනය සමග ඇති ගැටුම තවත් වර්ධනය වන බව නම් පැහැදිලිය. ඓතිහාසික පර්යේෂණ අනුව ටිබෙට් කලාපයට පදනම් වූ නාමයන් ඉන්දියානු හමුදාව විසින් නිකුත් කරනු තිබෙන බව පෙනේ. මෙම පියවර චීනය විසින් අප්‍රේල් මාසයේදී අරුනාචල් ප්‍රදේශ් හි ස්ථාන 30ක් නැවත නම් කිරීම සඳහා සෘජු ප්‍රතිචාරයක් වන බව පෙනේ. මෙම ලැයිස්තුවට නේවාසික ප්‍රදේශ 11ක්, කඳු 12ක්, ගංගා හතරක්, එක් වැවක්, එක් කඳුකරයක් ඇතුළත්වේ. මේ හරහා බීජිං බලය දිල්ලිය විසින් අභියෝගයට ලක්කර තිබේ. එහෙත් මෙයට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් නැවත වරක් පත්කර තිබුණේ පසුගිය 13 වැනිදාය. 79 හැවිරිදි ඔහු ඉන්දීය ආරක්ෂක උපදේශක ලෙස වැඩිම කාලයක් සේවය කළ තැනැත්තාය. කැබිනට් ඇමැතිවරයකුගේ බලය ඇති ඔහු අගමැති මෝදි රජයේ ජාතික ආරක්ෂාව පිළිබඳව සියලු මෙහෙයුම් කළමනාකරණය කරන තැනැත්තාය. ටිබෙට් කලාපයේ ප්‍රදේශ ඉන්දීය නාමකරණයට ලක් කිරීම පිටුපස සිටින්නේද අජිත් දෝවාල් බවට කිසිම සැකයක් නැත. ඔහු දකුණු ආසියානු කලාපය තුළ ඉන්දීය බලපෑම වේගවත් කිරීම සඳහා මෙහෙයුම් කරයි. රෝ සංවිධානය ක්‍රියා කරන්නේ ද අජිත්ගේ උපදෙස් පරිදිය. සියලු රෝ මෙහෙයුම්වලට අණ දෙන්නේ ද අගමැති කාර්යාලයේ සිටින මේ හිටපු පොලිස් නිලධාරියාය. ඉන්දීය පොලිසියට 1968 දී එක්වූ දොවාල් ප්‍රථම වරට අගමැතිගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කරනු ලැබුවේ 2014 මැයි 31 වැනිදාය. අජිත් දොවාල් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එහි මූලික කාර්යභාරය වන්නේ ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව අගමැතිවරයාට උපදෙස් දීමයි. 1945 ජනවාරි 20 වැනි දින උත්තරකාන්ද් ප්‍රාන්තයේ පෞරි ගාර්වාල් හි උපත ලද දොවාල් ඔහුගේ විශිෂ්ට සේවාවන් වෙනුවෙන් 1988 දී කීර්ති චක්‍රයෙන් පිදුම් ලැබීය. මෙම ඉන්දීය පොලිස් පදක්කම ලැබූ ලාබාලතම නිලධාරියා ද අජිත් දොවාල් වේ. අජිත් දොවාල් නැවත එම ධුරයට පත් කිරීම ඔහුගේ සුවිශේෂී නායකත්වය සහ ඉන්දියාවේ ආරක්ෂක ප්‍රතිපත්ති හැඩගැස්වීමේදී ඔහු ඉටු කරන ප්‍රධාන කාර්යභාරය පිළිබඳ සාක්ෂියකි. නමුත් චීනය හා පාකිස්තානය සම්බන්ධයෙන් එදිරිවාදිකම් සමනය නොවන බව නම් මේ හරහා පැහැදිලි වෙයි.

මෝදිගේ තෙවන ඉනිම

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ. ඉන්දීය රජය ලංකාව දෙස බලන්නේ චීන ආධිපත්‍ය වඩා දුරස් කිරීමේ බලාපොරොත්තුවෙනි. එනිසා මෝදි ආණ්ඩුව චීන නැවක් ලංකාව දෙසට එන විට කලබල වෙයි. මේ වසරේ චීන නැව්වලට ලංකාවට එන්නට අවසර නොලැබුණේ ඉන්දීය ඇමෙරිකානු විරෝධය නිසාය. ඉන්දියාවේ ලෝක දැක්ම දකුණු ආසියානු කලාපයට වෙනස්ව ක්‍රියාත්මක වෙයි.

“ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්” ලෙස පසුගිය පෙබරවාරියේ ඇමැති හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය බලවත් ලෙස විවේචනයට ලක්විය. “තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොකද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම. “එහිදී, ඇමතිවරයා “ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්” ලෙස අර්ථ නිරූපණය කරමින් එය ඉන්දීය ව්‍යවසායකයින් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශය “ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්” බවට දැඩි ලෙස චෝදනා එල්ල විය.“තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බලශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොකද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම.“ චීන ඉන්දීය භූ දේශපාලන අර්බුදයට මැදිහත්ව සිටින ශ්‍රී ලංකාව දෙපාර්ශවයටම සමව ගෙන කටයුතු කළ යුතුය.

2014 වසරේදී පළමු වරට අගමැති මෝදි බලයට පත්වන විට ඉන්දියාව පැවතියේ ලෝකයේ 10 වන විශාලතම ආර්ථිකය හිමි රට විය. දැන් එය 5 වන ස්ථානයේ පසු වෙයි. තවත් වසර කිහිපයකින් ජර්මනිය සහ ජපානය අභිබවා යමින් එය, අමෙරිකාව සහ චීනයට පසු විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වනු ඇත. ඉන්දියාවේ ආර්ථිකය සාර්ථක මට්ටමක පැවතිය ද, තවමත් එහි විශාලත්වය චීනයේ ආර්ථිකයෙන් 20%ක් පමණි බිලියන 1.4 ක ජනගහනයක් සිටින හෙයින් ඉන්දියාව විශාල දේශීය වෙළඳපොළක් බවට පත් කරන අතර, 7%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් සහ තරුණ ශ්‍රම බළකායක් සමග නුදුරු අනාගතයේදී ඉන්දියාව විශාල බලවතෙකු වීමට සුදුසු අපේක්ෂකයෙකු බවට පත් කරනු ඇත. නමුත් මෙවර මෝදිට පූර්ණ බලයක් නොලැබීම වඩා හොඳය. එය අසල්වැසි රාජ්‍යයන්ට වන බලපෑම අඩු කිරීමට හේතුවකි. නැත්නම් රාමා වෙනුවෙන් නුවරඑළියේ දේවාල ඉදි කිරීමට ඉන්දියාව සූදානම් වීම ලංකාවට හොඳ නැත.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 9ක් ‘ශ්‍රී රාමායන් ට්‍රැවල්ස්’ නමින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹදී ආරම්භ කෙරිණි. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් බව ප්‍රකාශ විය. එහෙත් මෙය රටට හිතැති වැඩක් නම් නොවේ. රාම දෙවොල ඉදි කර අගමැති මෝදි සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ ද උත්තර් ප්‍රදේශයේ ජය ඔහුට හිමිවූයේ නැත. දිල්ලියේ බලය ලබාගැනීමට ලක්නව් හරහා පැමිණිය යුතු බව කියවේ. ඒ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 80ක් ඇති බැවිනි. නමුත් මෙවර එම ප්‍රාන්තයේ වැඩි ආසන දිනා ගත්තේ විපක්ෂ සන්ධානය විසිනි. රාම දෙවොල ඉදිකළ ෆයිසාබාද් ආසනයේ බලය හිමිවූයේ විපක්ෂයටය. ‘හින්දු වතිකානය’ බවට පරිවර්තන වූ ලොව ප්‍රකට අයෝධ්‍යා නගරය දේශපාලන වශයෙන් මෝදිට සැනසුමක් ගෙන ආවේ නැත.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment