මෝල් සහල් සෙවීම ඇරඹෙයි

175

සහල් මෝල්වල දෛනික සහල් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය දිනකට වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සහ පවතින තොග ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට ඊයේ (08දා) සිට සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

මෙහිදී ප්‍රමුඛතාව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළත් ඉන් අනතුරුව අම්පාර ප්‍රදේශයේ සහල් මෝල් කිහිපයකත් වාර්තා ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා එම දිස්ත්‍රික්කවල සිටින අධිකාරියේ නිලධාරීන් යොදවන බවත් ඔහු කීය.

අධිකාරියේ නිලධාරීන් විසින් දෛනිකව අධිකාරියට ලබාදෙන තොරතුරු අතර වෙළෙඳපොළට සහ සතොසට නිකුත් කරන ලද සහල් තොග සම්බන්ධයෙන් සඳහන් වන බවත් එම වාර්තා සතිපතා විෂය භාර ඇමැති වසන්ත සමරසිංහ මහතාට ලබාදෙන බවත් සභාපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ නියෝගය මත ප්‍රධාන හාල් සැපයුම්කරුවන් වන අරලිය සහල් නිෂ්පාදන ආයතනය, නිව්රත්න සහල් නිෂ්පාදන ආයතනය, නිපුන සහල් නිෂ්පාදන ආයතනය, ලත් සහල් නිෂ්පාදන ආයතනය, මේනක සහල් නිෂ්පාදන ආයතනය, හිරු සහල් නිෂ්පාදන ආයතනය, ජයවික්‍රම සහල් නිෂ්පාදන ආයතනය, වී හේන සහල් නිෂ්පාදන ආයතනය යන ආයතන නිරීක්ෂණය කොට නිලධාරීන් යෙදවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

මේ අනුව ප්‍රධාන පෙළේ සහල් මෝල් නිෂ්පාදන ආයතන අටක් සඳහා නිලධාරීන් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් දෙදෙනා දින දහයක කාලයක් සහල් මෝල්වලින් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ දිනකට වෙළෙඳපොළට යවන සහල් ප්‍රමාණය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් එම නිලධාරියෙක් සඳහන් කළේය.

චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන අරලගංවිල- රොෂාන් තුෂාර


advertistmentadvertistment