(නායකයෙකු කියන්නේ කවුද? පාලකයා කියන්නේ කවුද? නායකයෙකුගේ/ පාලකයෙකුගේ කාර්ය භාරය කුමක්ද? නායකයෙකු තෝරාගන්නේ කොහොමද? නායකයෙකු රට වැසියා කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව කදිම සමාජ විවරණයක් මෙහි ඇතුළත්ව තිබේ.)
වනකතා පොත් පෙළේ තුන්වැන්න ජම්මවයිරයයි. මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ ලියූ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ඊළඟ වනකතා පොත වුණේ මේ ජම්මවයිරයයි. මුල් පොත් දෙක වගේම මේ පොතත් අමුතුම තාලයේ, අමුතුම විදියේ පොතකි. වනකතා බණ කතා හැටියට ඉගෙන කියා ගත හැකි අමුතුම අමුතු පොතකි.
ඒ බවට, උන්වහන්සේම වනකතා ගැන කතාවෙහිදී දැක්වූ අදහස් මේ හා හොඳටම ගැළපේ.
“මෙය කරුණු කීපයක් නිසාම අමුතු මෝස්තරයක අලුත් තාලයක කථා පොතකි. මේ පොත ලිවීමේදී මා තුළ බලපැවැත්වූ ප්‍රධානම ප්‍රතිපත්තිය නම්: සිංහල භාසාවෙන් ලියන මේ පොත, සිංහල රටේ සිංහල මිනිසුන්ට, පොතක් කියවන්ට පුළුවන් කාටවුවත්, කරුණ කොයිතරමකට ගැඹුරු වුවද, කරදරයක් නැතුව පහසුවෙන් තේරුම් ගන්ට පුළුවන් වන පරිද්දෙන් ලිවීමයි.”
“කියමනේදී නැති, සංස්කෘත විලාසයක් ලියමනේදී පමණක් ගන්වන්ට උත්සාහ කිරීම භාසාවේ වැඩීමට මෙන්ම, භාසාව ජනප්‍රියවීමටත් බරපතළම බාදාවකි.”
“ව්‍යවහාර භාසාව ව්‍යාකරණානුකූල නොවේද? නොවේ නම් එකකුගෙන් කියවෙන අදහසක් අනිකා නිවැරදිව වටහා ගන්නේ කෙසේද! අදහස් අනුන්ට ඇඟෙන අන්දමට කියවනවාට” ලියනවාට වැඩියෙන් ඇති ව්‍යාකරණය කුමක්ද! ව්‍යාකරණය කියන්නේ අමුතු විදියේ විච්චූරණ බඩුවක්ද! අමුතු හාස්කමක්ද! ඕනෑම ප්‍රයෝගයක් ව්‍යාකරණානුකූල වීමට ඕනෑ කරන එකම දෙය එය ‘ව්‍යාකරණානුකූලය’ කියා පිළිගැනීමම විනා වෙන කුමක්ද!
“වනකතා නමින් මෙවැනි පොත් පන්තියක් ලියන්ට අදහස් කෙළේත්” ‘මේ සේවය ගැන යමක් මට කළ හැකි නම්” එය ලොකුවට හෝ කුඩාවට හෝ පුළුවන් හැටියකින් ඉස්ට කළ යුතු. යයි කල්පනා වෙච්ච නිසාය. ඒ නිසාම සාමාන්‍යයෙන් ග්‍රන්ථ භාසාවේ පාවිච්චියට ඇවිත් නැති සිංහල භාසා ප්‍රයෝග රාසියක්ම ව්‍යවහාර භාසාවෙන් ගෙන වනකතා පොත්වල ඇතුළත් කරලා ඇත.”
“අතරින් පතර සුළු සුළු වර්‍ණනා හා යම් යම් විවේචන ඇතත් මේ පොත මුළුමනින්ම කතන්දර පොතකි.”
“මෙහි එන කවිත් අනික් පොත්වල එන කවිවලට වඩා හුඟක් දුරටම වෙනස් බව ද කිය යුතුය. කතන්දර මාර්ගයෙන් රසවත් හැටියෙන් අහන බලන අයට එපා නොවන්නට කරුණු ඉගැන්වීම මේ පොත්වල පිළිවෙළයි.”
“‘වනකතා’ යනු මේ පොත අයත් පොත් පන්තියට හිමි නමයි. මේ පොත්වල එන කතන්දරවලින් වැඩි කොටසක් වනන්තරයේ සිදු වූ සිද්දි නිසාත්, වනසතුන් පිළිබඳ කතා නිසාත්, මේ පොත් ‘වනකතා’ නම් වෙයි.”
“බාල තරුණ මහලු ඉස්ත්‍රී පුරුස ගිහි පැවිදි කාට වුවත් කොතනක වුවත් එකසේ කියවිය හැකි, චරිත නිර්මාණයට හා ගුණධර්ම දියුණුවට උපකාර වන කතා හා කාරණාය. එහෙයින් ‘බණකතා. වැනි කතා නිසා ද මේ කතා ‘වනකතා’ නම් වෙයි.”
මෙම වනකතාව සඳහා සංස්කෘත පඤ්චතන්ත්‍රයේ කාකෝලුකීය නම් තුන්වන අංකය වස්තු බීජය වී ඇත. කාක-උලුක (කපුටු-බකමුහුණු) දෙගොල්ල අතර ඇති වූ ජන්මාන්තර බද්ධ වයිරය තුළින් ගොඩනැගිච්ච මෙය වර්තමාන සමාජයේ ලොකු-කුඩා, දුප්පත්-පොහොසත්, උගත්-නූගත්, පාලක-පාලිත, සුවාමි-සේවක සැමදෙනාට කියවා රස විඳිය හැකි වනකතාවකි.
කපුටු-බකමුහුණු දෙපිරිසගේ ජන්මාන්තර වයිරය වස්තු බීජය ලෙස ගෙන ගෙතුණු මෙම කතාව මුළුමනින්ම පඤ්චතන්ත්‍රයේ කාකෝලුකීය අංකයෙහි හුදු පරිවර්තනයක් නොවේ. විසේසයෙන්ම එහි මුඛ්‍ය අදහස පමණක් ගෙන මෙම වනකතාව අමුතුම උපදේස පොතක් හැටියට යක්කඩුවේ හාමුදුරුවෝ රචනා කර ඇති බව කිවයුතුමය. මෙහි වැඩිමනක්ම ඇත්තේ උන්වහන්සේ විසින් අමුතුවෙන්ම ගොඩනංවන ලද කතාවකි. එය වර්තමාන සමාජය අතපත ගෑමකි, සංස්පර්සය කිරීමකි, කියවා බැලීමකි. කෙටියෙන්ම කිවහොත් මෙය සමාජ විවරණයකි. මෙම කතාව පුරාම නායකයෙකු කියන්නේ කවුද? පාලකයා කියන්නේ කවුද? නායකයෙකුගේ/ පාලකයෙකුගේ කාර්ය බාරය කුමක්ද? නායකයෙකු තෝරාගන්නේ කොහොමද? නායකයෙකු රට වැසියා කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය? ආදි තොරතුරු රැසක් උපදේසාත්මකව උපහාසාත්මක ගෙනහැර දක්වන ආකාරය අමුතුය. මේ ඒ සඳහා එක් උදාහරණයකි.
“…පාලනය, භාරධාරණය! නායකත්වය! වගකීම! මේවා කොයි තරම් බාරදූර ඒවා ද! පාලකයා කොයි තරම් පුදුම පුද්ගලයෙක් විය යුතු ද! හොඳකම ඇතත් ඇතෑ! හොඳකම නැතුවත් පුළුවනෑ! උගත්කම ඇතත් පුළුවනෑ! උගත්කම නැතුවත් පුළුවනෑ! වියක්තකම නමුත් ඇතෑ! වියක්තකම නැතුවත් පුළුවනෑ! මෘදුකම ඇතුවත් බැහැ, නැතුවත් බැහැ! තදකම ඇතුවත් බැහැ! නැතුවත් බැහැ! ඉවසීම තිබුණාටමත් බැහැ! නැතුවත් බැහැ! විමසීම තිබිලාත් බැහැ! නැතුවත් බැහැ! ඉක්මන් කරලාත් බැහැ! පමා කරලාත් බැහැ! ටිකක් වැඩ කරලාත් බැහැ! හුඟක් වැඩ කරලාත් බැහැ! අවංක වෙලාත් බැහැ! අවංක නොවීත් බැහැ! ඇත්ත කියලාත් බැහැ! ඇත්ත නොකියාත් බැහැ! බැණුම් ඇහුවාටමත් මදි! බැණුම් නාසාත් බැහැ! මහ නවනිද්දා වින්දාටමත් මදි! නින්දා නොවිඳත් බැහැ! නිදාගෙනත් බැහැ! නිදා නොගෙනත් පුළුවනෑ! දයාව, කරුණාව, පරානුකම්පාව, හොඳ ගුණ තිබිලාත් බැහැ! නැතුවත් බැහැ! කෝක තිබිලාත් බැහැ! කෝකත් නැතුවත් බැහැ!…” (51 පිට)
ඒ වගේම ඡන්දය කියන්නේ මොකද්ද? ඡන්දයකින් නායකයෙකු තෝරා ගන්ට පුළුවන්ද? ආදි කරුණු කාරණා රැසක් ගෙනහැර දක්වයි.
“…වැඩි ඡන්දයෙන් සුදුස්සා තෝරාගන්ට පුළුවන් ද! මටත් මතකයි; මාත් නුදුටුවා යෑ;
පහුගිය කාලයේ වානරයන්ගේ නායකත්වයට ‘වැඩි ඡන්දයෙන්’ රජා තෝරාගත් හැටි! වානර රාජ්‍යයේ හිටියා ලොකු කුඩා අය සේරම හරියට හැටදාස් අටසීයතිස්පහක්; කළුවාට ලැබුණා ඡන්ද විසිදාස්දෙසියඑකක්; පැඟිරාට ලැබුණා දහඅටදාස්හත්සියතිහක්; පැණියා පැටියාට දහඅටදාස්තුන්සියවිස්සයි; වයිරාටත් ලැබුණා දහදාස්-නවසිය ගණනක්. මට දැන් දරුවනේ, සිහිය ටිකක් අඩුයි, ඔය ගණන් සංඛ්‍යා ඉලක්කම් දාස් ගණන් මිසක් සියගණන් හරියටම නිනව් නැහැ…” (71පිට)
“…හොඳයි අපි බලමු දරුවනේ එදා වැඩි ඡන්දේ හැටියට සුදුස්සා තේරුණා ද? එදා වානරයන්ගේ නායකකමට තෝරාගත්තේ කවුද? කළුවායි. කළුවා තේරුණේ වැඩි ඡන්දයෙන් ද? කළුවාට වැඩි ඡන්දයක් තිබුණා ද? කළුවාට කැමති කීදෙනා ද! විසිදාස්දෙසිය එකයි. හතළිස්දාස් ගණනක්ම කළුවාට කැමති යෑ! තුනෙන් එකක් විතරයි කැමති; තුනෙන් දෙකකටත් වැඩියෙන් අකමැතියි! ඉතින්! ඉතින්! මේක වැඩි ඡන්දයක් වෙන්නේ කොහොම ද!…” (72 පිට)
‘…එපමණකුත් නෙවෙයි අනේ දරුවනේ, ඔය වැඩි ඡන්දයට ගිහින් කවදාකවත්ම රටක් සරුවසාධාරණ හැටියටවත්, එකමුතු හැටියටවත්, නිසි හැටියටවත් පාලනය කරන්ට පුළුවන් ද! ඡන්දය දුන් අයට වැඩි සැලකිලි! ඡන්දය නුදුන් අයට හුළං! ජාතියට හිතවත්ව මොකුත් කරන්ට බෑ; අනිකුත් ජාති අකමැති වේවි කියා! ආගමාලය ඇතත් ඊට පක්සව මොකුත් කරන්ට බෑ; අනිත් ආගම් ගැන බයේ! ආගමේ නීති රීති අනුව ආගමේ යහපත පිණිස මොකුත් කරන්ට බෑ; ආගම කරගහගෙන නෝබිනාකම් කරන බලවත් පවිටන්ට බයේ! බාසාවට ඇල්ම ඇතත් ඊට පක්සව මොකුත් කළෑකියෑ; අනික් බාසාකාරයන්ට බයේ! ලොක්කන්ට අමනාප දෙයක් කරන්ට බැහැ! පොඩ්ඩන්ට අමනාප දෙයක් කරන්ට පුළුවනෑ! හැම දෙනාම පක්සපාත කරගන්ට එපා යෑ! නැත් නම් ආයෙමත් වරක් තමන්ට උන්නේ කැමැත්ත ගතෑකි යෑ! ඔය මහ බය හිතක තියෙන තුරු දරුවනේ, යුක්තියක්, ධර්‍මයක් ඉස්ට වෙන්ට පුළුවනෑ! නීතියක් පනවන්ට පුළුවනෑ! බෑ! බෑ! පැනෙව්වත් කිරියාත්මක කරන්ට පුළුවනෑ! ඒ නිසා ඒ වැඩි ඡන්දෙන් කමක් නැහැ!…” (73 පිට)
ඒ විතරක් යෑ! පක්ස විපක්ස කොයි කවුරුත් ආණ්ඩු බලය වෙනුවෙන් කරන නානාප්‍රකාර වැඩකටුයතු උන්වහන්සේ උපහාසාත්මකව පෙන්වා දී ඇත්තේ මේ ආකාරයටය.
“…දහදෙනෙකුගෙන් කළෑකි තරමේ රාජකාරියකට නිලධරයන් තිස්දෙනෙකු විතර බඳවාගෙන ප්‍රමාණවත් වැඩක්” සේවයක් නොගනිතත් රටේ පොදු ආදායමෙන් විසාල පඩි – නඩි දෙවමිනුත් – ආණ්ඩු බලය අබල දුබල කරලා, තමන් බලය අල්ලාගනු කැමති බලකාමීන්ගේ බහට අනුව, යම් යම් පක්ස විසින් තර්ජනාත්මකව ගර්ජන වර්ජන පූර්‍වකව කරනු ලබන නානා ඉල්ලීම් ඉටු කරන්ට, නොසෑහෙන නොමනා දීමනා දෙවමිනුත් –
ඇයි දෙයියනේ! කියලා නිමාවකුත් දකිතෑ කියෑ! තවත් කොපමණ නම් නොමනා දීමනා ද! තවත් කොපමණ නම් නොමනා නොදීමනා ද! තවත් කොයි තරමක් නම් පමණට වැඩි නොමනා දීමනා ද! තවත් කොයි තරමක් නම් පමණට අඩු නොමනා දීමනා ද! එක එක පැහැදිලි කර කර කියන්ට යතොත් මේ කතාව මේ වතාවේවත් නිමවා නවතාලියෑකි වෙතෑ! ඒ තරමට – නොයෙක් නොයෙක් අමන ක්‍රමවලින් – නොදියයුතු තැනට දෙමිනුත්, දියයුතු තැනට නොදෙමිනුත්, නොදියයුතු තරමට දෙමිනුත්, දියයුතු තරමට නොදෙමිනුත්, රටට ජාතියට හිතකර ව්‍යාපාර සඳහා කළයුතු උදවු උපකාර නොකරමින්, අහිතකර ව්‍යාපාර වෙනුවෙන් නොකළයුතු උදවු උපකාර දිගින් දිගට පමණටත් වැඩියෙන් කරගෙනයමින්, රටේ මුළු ආදායමෙන් සීයට විසිපහක් පමණ, ප්‍රජාවගෙන් සීයට දෙකකගේ පඩි-නඩි වෙනුවෙන්ම කැප කරලා, රටේ පොදු දියුණුව සඳහා ආණ්ඩුවක් විසින් අවස්‍යයෙන්ම කළයුතු සංවර්‍ධනක්‍රම, සරුසාර කිරීම් කිසිවකුත් කර ගත නොහැකිව, සිය රට මුළු ලෝකයටම ණයගැති කරවලා, ප්‍රසිද්ධියේම බංකොලොත් අරන්, බලවත් ජාතියකට උගස් විය යුතු තරමට රටත් ජනතාවත් රජයත් පිරිහීමට පමුණුවනවා පෙනෙයි… (48 පිට)
එසේම නායකත්වයට පත්වෙච්ච කෙනෙකු විඳින දුක්ගැහැට ගැන ද උන්වහන්සේ සියුම් උපහාසයක් කරයි.
“…ඇයි දෙයියනේ, තවත් කොපමණක් නම් දේවල් ද! ඔච්චරකුත් යෑ! රටේම සංවර්‍ධන ක්‍රම, රටේම ආපදා! රටේම ආරවුල්! රටේම ආක්‍රමණ! රටේම තර්‍ජන! රටේම වර්‍ජන! ඇයි රටේම ආරාධනා! එක ටිකක් නම් බැරි යෑ! පෙරහැර! උත්සව! උපවාස! සැණකෙළි! මඟුල්තුලා! පෙරනම්! පෝරුවේ සිටවීම! සාක්කිවීම්! ආසිරිවාද! දරු උපත්, නම්තැබිලි, බත් කැවිලි, කෙස් කැපිලි! අකුරු කියවිලි! ඇයි! පිළිගැනිලි! ගල් තිබිලි! දොර ඇරිලි ඇයි තව දුග්ගැනවිලි! ලෙඩ බැලුම්! වළ දැමුම්! අළු කෙරුම්! බණ ඇහුම්, දන් දෙවුම්! තවත් ඉවර යෑ! මහණ මහලුපැවිදිකම්! මගුල් බණ! පණ්ඩිතකම්! ගරුනාම සම්මුති! කාරකකම්! නායකකම්! කරුමාචාරියකම්! ආදාහන පූජා! ඇයි ඇයි මිතුරන් ගේ පිළිගැනිලි, හතුරන්ගෙන් පලිගැනිලි, මිතුරන්ට සැලකිලි, හතුරන්ට වැලපිලි.
ඉවර යෑ! තවත් කොපමණ නම් උත්සව ද! තවත් කොපමණ නම් මංගල ද! තවත් කොපමණක් නම් අවමංගල ද? අයියෝ රටක නායකයන්, පාලකයන් පණ රැකගන්ට නැතුවම බැරි නිසා බඩට කන කෑම කටවත්, ගිරියේ හිර නොවී පහළට බැහැගත හැකි අන්දමට, තෙත් වෙලා මෘදු මොළොක් වෙන තරමට, විකාගන්ටවත් වෙලාවක් නොගෙන දුව දුව කළයුතු වැඩ ගොඩක තරම! හනේ රටවැසියන් පාලකයන්ට රටේ පාලන කටයුතුවල යෙදෙන්ට ඉඩ නොදී විහින් කරගන්නා පවක හැටි! හනේ පාලකයනුත් බොරු බයක් නිසා යායුතු නොයායුතු හැම වැඩකටමත් හැම තැනකටමත් යමින් එමින් පාරටම කැප වෙලා රටට කරන විපතක මහත!
සිය රට වැඩ කරදර ආරාධනා මදිවාට, තව රට රටවල් – හතුරු මිතුරු මැදහත් කොයි කොයි රටවලුත් වෙනුවෙන් කොපමණ දේවල් ද! පිට රට ආපදාවල්! පිටරටට ආධාර! පිටරටෙන් ආක්‍රමණ උපද්‍රව! පිට රටේ හොඳ හිත! පිට රටෙන් ආධාර, පිටරට උත්සව, පිටරට සාකච්ඡා, සමගි, සමාදාන, සම්මුති… (35, 36 පිටු)
මේ ආකාරයට මුළු මහත් සමාජයේ නොයෙක් තැන්වල කිරියා – කාරිත්වය උන්වහන්සේ උපහාසාත්මක ලෙස උපදේසාත්මකව ඉදිරිපත් කර ඇත. ඒ නිසා බාල තරුණ වැඩිහිටි කොයි කවුරුත් කියවා ඉගෙනගත යුතු, පිළිපැදිය යුතු වනකතාවෙන් ඉගැන්වෙන බණ කතාවක් හැටියට ජම්මවයිරය පොත සඳහන් කළ හැකිය.
උඩගලදෙණියේ ධම්මවිමල ස්වාමීන්ද්‍රයෝ
පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්හි ආචාර්ය
කැලණිය වාග්විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය