යක්ෂයා හිමාෂ ගිල ගනීයි ද?

2400

වර්ෂ 1948 දී ඩන්කන් වයිට් කඩුලූ මතින් දුවගොස් රිදී පදක්කමක් ලැබීමෙන් පසුව ශී‍්‍ර ලංකාව ඔලිම්පික් පදක්කමක් දිනුවේ 2000 වසරේදීය. වසර 52 කට පසු ශී‍්‍ර ලකාවට එම ලෝකඩ පදක්කම දිනා දුන් සුසන්තිකා තරග කළ එම ඉසව්වේ රන් පදක්කම දිනුවේ මේරියන් ජෝන්ස්ය. ඒ නිසා මේරියන් ජෝන්ස්ව ශී‍්‍ර ලාංකිකයන්ට හොඳින් මතකය. සුන්දර සිනහවකින් මුවග සැරසුණු ජෝන්ස් සුසන්තිකාට පසුව එවර ශී‍්‍ර ලාංකිකයන්ට මතක සිටි ජාත්‍යන්තර කී‍්‍රඩිකාව යැයි කිවහොත් නිවැරැදිය.

එහෙත් ඒ සුන්දර සිනහව යට තිබුණේ කුමක් දැයි කවුරුත් එකල නොදැන සිටියහ. ඇය ලොව රවටන්නට සිනාසුනා නොවුණා වන්නට ඇත. එහෙත් ඇය ලොව රවටා පදක්කම් දිනූ බව ඔප්පු වුණි. සුසන්තිකා සිඞ්නි ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙද්දී මේරියන් ජෝන්ස් ඇමෙරිකාව රන් පදක්කම් තුනකින් සහ ලෝකඩ පදක්කම් දෙකකින් සරසා තිබුණි. අවසානයේ එම පදක්කම් සියල්ල මෙන්ම මේරියන් ජෝන්ස්ගේ කිතු ගොසද තහනම් උත්තේජක දැලේ පැටලී වියැකී ගියාය.

ලොව පරසිදුම කී‍්‍රඩා මංගල්‍යය වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී 2000 වසරේදී එසේ තහනම් කරන ලද රන් පදක්කම් තුන සහ ලෝකඩ පදක්කම් දෙක ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවලදී තහනම් කරන ලද පදක්කම් 133 අතරට එක් වී ඇත. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල ආශි‍්‍රතව තහනම් උත්තේජක හෙවත් කාර්ය සාධනය වැඩි කරන ඖෂධ සංඝටක ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වීමෙන් තහනම් කරන ලද හෙවත් අවලංගු කරන ලද පදක්කම් 133 අතරට රන් පදක්කම් 42 ක්, රිදී පදක්කම් 43 ක් සහ ලෝකඩ පදක්කම් 48 ක් වේ. ඒ නිසා මෙය කී‍්‍රඩාපිටියට එතරම් නුහුරු නුපුරුදු දෙයක් ද නොවේ. මේ දැක්වෙන්නේ දිනපු පදක්කම් ගණන පමණි. තරග නොදිනුවාට තහනම් උත්තේජක සමග තරග කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දහස් ගණන් නොව දස දහස් ගණන් ද ඉක්මවා ඇත. 2008 වසර ඔලිම්පික් උළෙලේදී පමණක් තහනම් කරන ලද පදක්කම් ගණන 50 කි. 2012 දී 36 කි.

තහනම් උත්තේජක හෝ කාර්ය සාධනය වැඩි කරන ඖෂධ හෝ එම සංඝටක පිළිබඳව මාතෘකාව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා පිටියේ කරළියට යළි පැමිණියේ හිමාෂ ඒෂාන් නිසාය. හිමාෂ ඒෂාන් යනු පසුගිය වසරේ සැප්තැම්බර් මස 08 වැනිදා තෙක් මෙරට සිටි වේගවත්ම මිනිසාය. එදින වනතෙක් මෙරට පමණක් නොව දකුණු ආසියාවේම සිටි වේගවත්ම කී‍්‍රඩකයා හිමාෂය. එනම් මීටර 100 පිරිමි ඉසව්වේ ශී‍්‍ර ලංකා ජාතික වාර්තාලාභියා වූ හිමාෂ පිළිබඳව පසුගිය 08 වැනිදා අසන්නට ලැබුණේ යහපත් පුවතක් නම් නොවේ. පසුගිය යුධ හමුදා කී‍්‍රඩා උළෙලෙන් පසුව අහඹු ලෙස සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්‍ෂණයකදී ලබාගත් මුත‍්‍රා සාම්පලයකදී හෙළිවී තිබුණේ හිමාෂගේ සිරුර තුළ තහනම් උත්තේජක අන්තර්ගතව තිබූ බවයි.

ශී‍්‍ර ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනය මගින් සිදු කරන ලද එම පර්යේෂණයේ නිගමනය වූයේ 2021 තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවේ අන්තර්ගත උත්තේජක ද්‍රව්‍යයක් හිමාෂගේ ශරීරගතව තිබෙන බවයි. ප‍්‍රතිඵලය වූයේ හිමාෂට තාවකාලික තරග තහනමක් පැනවීමයි. නියමය වූයේ ඉදිරි විමර්ශන පිණිස ලබන 15 වැනිදා ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය හමුවේ හිමාෂට පෙනී සිටීමට සිදුවීමයි.

හිමාෂට අදාළ උත්තේජක පරීක්‍ෂණය සිදු කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදාය. නාරාහේන්පිට යුද හමුදා නිල නිවාස සංකීර්ණය තුළදී එය සිදුකර තිබුණි. කළුතර විද්‍යාලයෙන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා පිටියට බිහිවූ විශිෂ්ට තාරකාවක් වන හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක දැලේ පැටලූණේ මේ පළමු වතාවට නොවේ.

හිමාෂට චෝදනා එල්ල වූ දෙවැනි අවස්ථාව මෙය වේ. පළමු අවස්ථාවේදී ඔහුට වසරක තරග තහනමක් නියම වුණි. ඒ 2012 වසරේදීය. ඒ වන විට හිමාෂ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. හිමාෂ එවර වරදට යොමු වූයේ පුහුණුකරු චමින්ද පෙරේරා යටතේ පුහුණුව ලබමින් සිටියදීය. ඒ පිළිබඳව පැවැති පරීක්‍ෂණයේදී හිමාෂට අදාළ තහනම් උත්තේජක ශරීරගත වුණේ තමන් නියම කළ දෙයකින් බව චමින්ද පෙරේරා පසුව පිළිගෙන තිබිණි. එහෙත් හිමාෂට වසරක තරග තහනමක් නියම වුණි ද චමින්ද පෙරේරා සුපුරුදු පරිදි සිය පුහුණු කටයුතු අනෙක් කී‍්‍රඩකයන් සමග සිදු කරගෙන ගියේය. රටේ හැටි එසේය. නීතිත් එසේය. එහෙත් දැන් නම් පුහුණු කාර්යමණ්ඩලයට එරෙහිව ද නීති සම්පාදනය වී තිබෙන බවට වාර්තා වේ.

එවර හිමාෂගේ ‘ඒ’ සාම්පල මෙන්ම ‘බී’ සාම්පල මගින්ද කියැවුණේත්, නිගමනය වූයේත් හිමාෂ අදාළ චෝදනාවට වැරැදිකරු බවයි. මෙවර තවම සිදුකර ඇත්තේ ‘ඒ’ සාම්පල පිළිබඳ පරීක්‍ෂණයක් පමණි. තාවකාලික තරග තහනමක් පනවා ඇත්තේ ඒ අනුවය. ‘බී’ සාම්පල පරීක්‍ෂාව ලබන 15 වැනිදායින් පසුව පැවැත්වේ. එහෙත් හිමාෂ මේවන විට ලංකාවේ නැත. ඔහු සිටින්නේ ඉතාලියේය. ඉතාලියේ පැවැත්වෙන යුද හමුදා ශූරතාවලියකට සහභාගි වීමට හිමාෂ ඉතාලිය බලා පිටත්ව ගොස් තිබුණේ ශී‍්‍ර ලංකා යුද හමුදා මලල කී‍්‍රඩා තරගාවලියෙන් අනතුරුවය.

එම යුද හමුදා මලල කී‍්‍රඩා තරගාවලියේදී හිමාෂ දක්‍ෂ ලෙස කී‍්‍රඩා කළේය. මීටර් 100 ජය ගත්තේය. මීටර් 100*4 සහාය දිවීමේ දකුණු ආසියා වාර්තාලාභී කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන හිමාෂට තවමත් දකුණු ආසියාවේ ඇති අභියෝගය යුපුන් අබේකෝන්ය. හිමාෂගේ මීටර් 100 වාර්තාව බින්දේ ද යුපුන්ය. ඒ අනුව මේ වරදට කොටුවී තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ මතු නොව ඉන්දියාවේ, පකිස්ථානයේ, බංගලදේශයේ මතු නොව සමස්ත දකුණු ආසියාවේම වේගවත්ම දෙවැනි මිනිසාය. ඔහු රැකගත යුතු නොවේද?

ජාත්‍යන්තරයේදී ශී‍්‍ර ලංකාවේ නාමය ඉහළට ගෙන යෑමට හැකි හිමාෂ යනු මෙරටින් මතු වූ අමිල කී‍්‍රඩා සම්පතකි. හිමාෂට දැන් දෙවැනි වරටත් චෝදනා එල්ලවීම ඔහුගේ කී‍්‍රඩා ජීවිතයට කොහෙත්ම හොඳ දෙයක් වන්නේ නැත. ‘බී’ සාම්පල පරීක්‍ෂාවේදී ද හිමාෂ වැරදිකරු වුවහොත් වසර 4 ක පමණ තරග තහනමක් හිමාෂට එල්ල විය හැක. දැනට 26 හැවිරිදි වියේ පසුවන හිමාෂගේ හොඳ කාලය එවිට හමාර වී තිබිය හැක. ශී‍්‍ර ලංකාවෙන් ජාත්‍යන්තරය ජයගත් බොක්සිං කී‍්‍රඩක මංජු වන්නිආරච්චිට සිදු වූයේද මෙවැන්නකි. 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී බොක්සිං රන් පදක්කම දිනූ වන්නිආරච්චිට සිදුවූයේ ඒ පදක්කම කිලිටි නමක්ද සමග අහිමිකර ගැනීමය. මංජු වන්නිආරච්චි ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කළ ද නිදොස් නොවී තව දුරටත් සදොස් වූ මංජු පසුව කී‍්‍රඩාවෙන්ද අකාලයේ සමුගත්තේය. මැලේසියාවේ ක්වාලාලම්පුර් හි ෆෙඩරේෂන් උසාවියේ පැවැති රැස්වීමේදී 2011 මැයි මස 08 වැනිදා තීරණය වූයේ මංජුගේ පදක්කම දෙවැනි ස්ථානය ලැබූ කී‍්‍රඩකයාට ලබාදීමටය. මංජුගේ ශරීර ගතව තිබුණේ නැන්ඩ්‍රොලින් බව අනාවරණය විය. මංජු පළමු වරට කිව්වේ නැන්ඩ්‍රොලින් අඩංගු වූ බවට කියැවෙන උත්තේජක තමන් ලබාගත්තේ ඇදුම රෝගයට බවය. එහෙත් ඒවා බොරු විය.

ඇදුම රෝගයට ලබාගත් බෙහෙතක් නිසා තමන් අමාරුවේ වැටුණු බවට කිවූ තවත් කී‍්‍රඩකයෙක් සිටී. ඔහු උපුල් තරංගයි. 2011 වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකාව සහභාගි වුණු අවසන් පූර්ව තරගයෙන් පසුව සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්‍ෂණයකදී මේ බව හෙළි විණි. උපුල් තරංග ගේ සිරුරේ ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය විසින් තහනම් කරන ලද සංඝටක දෙකක් අඩංගු බව එම පරීක්‍ෂණයේදී හෙළි විණි. ඇදුම සඳහා එම ඖෂධ ගත් බව තරංග කීවද ඔහුට මාස තුනක කි‍්‍රකට් තරග තහනමක් 2011 මැයි මස 09 වැනිදා සිට එම අගෝස්තු 08 වැනිදා දක්වා පැනවිණි.

එසේම නැන්ඩ්‍රොලින් ශරීරගතව තිබියදී ඊට වරදකාරිය බවට ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවක් ද පත් වූවාය. ඇය ජානි චතුරංගනි ද සිල්වාය. මීටර් 100 ධාවන ශූරියක් වන ඇය එම ඉසව්වෙන් දකුණු ආසියාතික රිදී පදක්කම් ලාභිනියකි. ඇයගේ උපරිම වේගය තත්පර 11.76 කි. සහාය දිවීමේ රන් පදක්කම් ලාභිනියකි. ඒත් නැන්ඩ්‍රොලින් මාරයා නිසා ජානි චතුරංගනීට වසර දෙකක තරග තහනමක් පැනවූ විට ඇය ඉන් බේරාගැනීමට කාගේවත් සහයකින් ප‍්‍රතිඵලයක් නොවුණි. ශී‍්‍ර ලංකාවේ බර ඉසිලීමේ ශූර පොළොන්නරුවෙන් ලෝක කී‍්‍රඩාපිටියට ගිය චින්තන විදානගේද තහනම් උත්තේජක නිසා වසර 4කට කී‍්‍රඩා ජීවිතය අහිමිකරගත් අයෙකි. චින්තන මේ වන විට සිටින්නේ උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගි වෙමින්ය. උපුල් තරංග සිටින්නේ එල්පීඑල් තරගාවලියේය. 2011 වසරේ ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය අතරතුරදී සිදුකළ තහනම් උත්තේජක පරීක්‍ෂණයෙන් චින්තන අසමත් විණි. චින්තන යනු ඒ වන විට පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේ රන් සහ රිදී පදක්කම් ලාභියෙකි. කෙසේ වෙතත් මෙවැනි චෝදනා එල්ල වූ කාලිංග කුමාරගේ නම් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩකයා එම චෝදනාවලින් නිදහස් විය. ශී‍්‍ර ලංකාවේ තහනම් උත්තේජක මර්දන ඒජන්සිය සහ ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය කාලිංගගේ සිරුරේ තහනම් ද්‍රව්‍ය තිබූ බවට තහවුරු කිරීමට අපොහොසත් වූ අතර මීටර් 400 ශූර කාලිංග එම සියලූ චෝදනාවලින් නිදහස් විය.

හිමාෂට ද තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාවද ඇත. ප‍්‍රශ්නය වී තිබෙන්නේ ඔහු එම වරදට චෝදනා ලත් දෙවැනි අවස්ථාව වීමය. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තහනම් උත්තේජක එන්නත් කර ගැනීමේ අවස්ථාවක් ද මීට වසර කිහිපයකට උඩදී මහත් කැළඹිල්ලක් ඇතිකර තිබුණේය. මේරියන් ජෝන්ස් ද 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී කර තිබුණේ තහනම් උත්තේජක එන්නත් කර ගැනීමයි. ඇය ඒවා සිය බඩට එන්නත් කරගෙන තිබුණි. බඩට එන්නත් කර ගත්තද, උගුරෙන් පහළට දමා ගත්තද තහනම් උත්තේජක යනු යක්‍ෂයෙකි. ඒ යක්‍ෂයාට අසු වූ විට ආරක්‍ෂා වෙන්නට නූල් දමා යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කර පලක් නැත. අවැසි වන්නේ යක්‍ෂයාට ගොදුරු නොවී සිටීමය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment