යක්‍ෂ භූත මළපෙරේත…

1094

මීට අවුරුදු පන්දහසකට පමණ පෙර ශිෂ්ටාචාරයේ ජයග්‍රාහී කොඩිය අතින් ගෙන ඊජිප්තුව පුරා රවුම් ගැසූ පාරාවෝ රජ පෙළපතට සම්පූර්ණයෙන්ම කෙළවන ලද්දේ හොර කපුවන් විසිනි. තමන් දෙවියන් සමග කෙළින්ම ගනුදෙනු කරන බව පෙන්වූ මේ කපුවෝ රජ පරම්පරාව රවටා තරුණ කන්‍යාවන් බිලි වශයෙන් ද, රත්‍රන් හා මුදල් පූජා භාණ්ඩ වශයෙන් ද ලබා ගනිමින් ඊජිප්තු රජ පෙළපත පරිහානියට පත් කළහ. ඉන් අවුරුදු දහස් ගණනකට පසු 1800 ගණන්වලදී රුසියාවේදී ද මේ ටිකම සිදුවිය. එකල සිටි ග්‍රෙගරි රස්පුටීන් නමැති පූජකයෙක් රුසියාවේ සාර් රජ පවුල රවටා එතුළට රිංගාගෙන රජ පවුල කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කළේය. ග්‍රෙගරි රස්පුටින් ද යක්‍ෂයා සමග කෙළින්ම ගනුදෙනු කළ බව කියූ හොර කපුවෙකි. ඒ නිසා මිථ්‍යාව සහ එහි පෙර ගමන්කරුවා යන හොර කපුවන්ගෙන් හිඟයක් ශිෂ්ටාචාරය තුළ කවදාවත් තිබුණේ නැත. දැන් ඒ තත්ත්වය ලංකාවට පර්යාය කර බලමු.

මීට අවුරුදු තුන්හාරසියයකට පෙර ලංකාව අඳුරු වනගත රාජ්‍යයක් ලෙස පැවතින. මේ රටේ රජ පරම්පරාව කඩුව, වධ බන්ධන සහ දැඩි නීති රීති යොදාගෙන මේ රටේ ජනයා සන්ත්‍රාසයට පත්කරමින් භයානක පාලනයක් පවත්වාගෙන ගියහ. තමන් සහ අධිකාරම්වරුන් හැර සාමාන්‍ය ජනයා දියුණු විය යුතු බව මේ රටේ රජ පරම්පරාව කවදාවත් කල්පනා කළේ නැත. ඒ වැඩවසම් යුගයේදී අත්තිවාරම් යෙදූ ගෙවල් සෑදීමටත්, රෑට පහන් පත්තු කිරීමටත් අවසර තිබුණේ රජුටත්, අධිකාරම්වරුන්ටත්, නිලමේලාටත් පමණි. සෙසු වැසියෝ අත්තිවාරමක් නැතිව කටුමැටි බිත්ති බඳින ලද ගෙයක හෝ යාලත්තක් බාගෙන හෝ ජීවත් වූහ. මේ අඳුරු හුදකලාව තුළ යක්‍ෂ, භූත මළපෙරේත ආදී විගඩම්වලට හොඳ පිළිගැනීමක් තිබේ. මේ පිළිගැනීම පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ අදටත් යම්තාක් දුරට මේ රටේ පවතී. ගිය මාසයේ 17 වැනිදා ලග්ගල දස්ගිරියේ දේවාලයක පූජාවක් පැවැත්විණ. මෙයට සහභාගි වූ කාන්තාවන් තිදෙනෙක් අධික ලෙස රෝගීව සිටිය හ. දේවාලය භාර කපුවා එම කාන්තාවන්ට දිගින් දිගටම මන්ත්‍ර මැතිරූ තැඹිලි වතුර පෙව්වේ ය. මෙසේ පැය 24 ක් පමණ තැඹිලි වතුර පමණක්ම පානය කරමින් සිටි කාන්තාවන් තිදෙනාගෙන් එකියක් රෝගය උත්සන්න වී මියගියා ය. එම තැඹිලි බොන්නට දුන් කපුවා අවුරුදු 24 ක හාදයෙකි. ඉන් පසු එම කපුරාළ රිමාන්ඩ් කරන ලදි. එතැනින් එහා කුමක් සිදුවී දැයි අපි නොදනිමු. මේ කපුවා හොරකු වීම නිසා ඔහු බේරා ගැනීමට දෙවියන් මැදිහත් නොවෙන්නට ඇති.

මේ විදියේ කතා හැමදාමත් වාර්තා වුවද තවත් කතා දෙකක් පමණක් කියා අපේ මාතෘකාවේ ඉතිරි කොටසට පිවිසෙමු. 2016 මාර්තු 15 වැනිදා අනුරාධපුරයේ කටුකැලියාවේ දේවාලයකදී කාන්තාවක් මියගියා ය. ඇය රෝගීව සිටි අතර මන්තර කියන්නට පටන් ගත් කපුවා ඇයට දෙහි ගෙඩියක් ගිල්ලවීමට තැත් කළේය. එහෙත් දෙහි ගෙඩිය ඇගේ උගුරේ හිරවිණ. එකෙනෙහිම ඇය සිහිසුන් වූ අතර ඇය රෝහලට ගෙන යෑමට ඇගේ සැමියා විසින් ගන්නා ලද තැත කපුවා විසින් ව්‍යර්ථ කරන ලදි. අන්තිමේදී ඇය මියගියා ය. මේ ආකාරයේ අලුත්ම කතාව පෙරේදා මාධ්‍ය මගින් හෙළිකරන ලදි. සීගිරියේ පදිංචිව සිටි විවාහක තරුණියක් දරුඵල නැතිකමින් මානසිකව පීඩා වින්දාය. සමහර විට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් ඇයට පීඩනයක් එල්ලවන්නටත් ඇති. අන්තිමේදී සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන ගිය දේවාලයකට ගෙන යනු ලැබූ තරුණිය තෙදිනක් තිස්සේ බෙහෙත් කෝස් එකක් පානය කළාය. මේ බෙහෙත් කෝස් එකේ අරමුණ වූයේ තරුණියගේ බඩ විරේක කිරීම ය. ඇගේ බඩේ සිටින භූතයන් වැසිකිළි වළට දැමීමට මෙම බෙහෙත්වලින් හැකිවනු ඇතැයි කපු කාන්තාව කල්පනා කරන්නට ඇති. තුන් දිනක් තිස්සේ බඩ විරේක වීම නිසා තරුණියගේ බඩවැල්වල ඇති ශ්ලේෂ්ම පටලය ගසාගෙන ගිය අතර අන්තිමේදී ඇය විජලනය වී මියගියා ය. මේ කතාව මෙතැනින් නොනවතී. පහුගිය අවුරුදු 20 ක පමණ කාලය තුළ මෙවැනි කතා බොහෝමයක් අපි ඇසුවෙමු. ඇතැම් ආගමික කල්ලි රෝගී බැතිමතුන් දේවස්ථානවලට කැඳවා ඔවුන්ට බෙහෙත් නොදී දින ගණන් යාච්ඤා කළ අතර අන්තිමේදී ඔවුහු මිය ගියහ. ලංකාව මේ වන විට නවීනත්වයෙන් පොහොසත් ය. රටේ දෙකෝටි විසිලක්‍ෂයක ජනගහනයක් සිටින අතර ජංගම දුරකථන හාරකෝටියක් පමණ තිබේ. වැඩිදෙනකු අත ලැප්එකක් හෝ ටැබ් එකක් ඇත. මේවා දිහා බලාගෙන ඔවුන් කරන්නේ අලුත් විiා දැනුම සෙවීම නොව බ්ලූ ෆිල්ම් බැලීම හෝ ෆේස් බුක් එකේ තිබෙන මඩ කතා කියවීම පමණි. යක්‍ෂයන්, භූතයන්, මළ පෙරේතයන්, දෙවියන් වැනි පාරභෞතික බලවේගවලට මේ පුවත්පත අභියෝග කරන්නේ නැත. මෙවැනි බලවේග පවතීද, නැත්නම් නොපවතී ද යන්න පිළිබඳ භෞතික සාක්‍ෂි අපට නැත. එහෙත් නැති භූතයන් මවා පා මිනිසුන් හා ගැහැනුන් කොල්ලකන කපු තඩියන්ට හෝ කට්ටඬි මාරයන්ට අප විරුද්ධය. මේ රට අඳුරු මධ්‍යකාලීන යුගය පසුකර ශතවර්ෂ ගණනාවක් ඉදිරියට පැමිණ ඇත. ඒ අඳුරු මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ පවා යක්‍ෂයන්ට සහ ප්‍රේතයන්ට විශාල තැනක් තිබිණ. ඇතැම් කාන්තාවන්ට යකෙකු වැසී ඇති බව පූජකයන් විසින් තීරණය කළ කල්හි ඇය ගිනිතබා මැරීම සිරිත විය. ඇත්තම කතාව වූයේ එම තරුණියන් යහනට ගෙන්වා ගැනීමට පූජකයන් උත්සාහ කිරීමත්, තරුණියන් එයට විරුද්ධ වූ විට ඔවුන්ට යකුන් වැසී ඇති බව කියමින් ගිනි තබා මැරීමට පූජකයන් විසින් තීරණය කරනු ලැබීමත් ය. මේ කාලයේ සිටි රජවරු ද පූජකයන්ගේ ගුලි ගිලීමට මහත් ආසාවෙන් සිටි අය වූහ. සමහර විට රජු සහ පූජකයා අතර තිබූ වෙනස වූයේ රජු මාලිගයෙහි සිටීමත් පූජකයා දේවාලයේ සිටීමත් ය. මේ රටේ පවතින යාතුකර්ම සහ අභිචාර විධිවලින් සිදුවන හානිය ගැන හරියාකාර විiාත්මක පර්යේෂණයක් කවදාවත් සිදුකෙරී නැත. එවැන්නක අවශ්‍යතාවය අපි අද මේ තීරුව මගින් අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment