යකා නැවතත් ක්‍රියාත්මකයි – (මෙන්න බඩු)

1205

ලෝකයේ පැරණිම රෝගය පණු අමාරුව විය යුතුය. මීට අවුරුදු දස දහස් ගණනකට පෙර ආහාර පිස අනුභව කිරීමේ පුරුද්දක් නොවූ හෙයින් අපේ මුතුන් මිත්තෝ මස්ද, ගහ කොළද, පලතුරුද අමු අමුවේම දෙසා බෑහ. මේ නිසා මේවායෙහි සිටි පණුවෝ ආමාශයේ පදිංචිවී ආහාර ජීර්ණ පද්ධතියේ ලේ උරා බී අපේ මුතුන් මිත්තන්ට මරණය කැඳවා දුන්හ. මේ බව ඔප්පු කරන සාධක රොකී සහ ඇල්ෆ්ස් කඳුවලින් හමුවූ ඉපැරණි මළ සිරුරුවලින් හෙළිවී තිබේ. කඳුකරයෙහි වූ ඝන හිම තට්ටු අතර වසර දහස් ගණනක් සිරවී පවතී. මේ මළ සිරුරු නරක්වුණේ නැත. මළ මිනිස්සු බොරු නොකියති. තමන් මියගියේ පණු අමාරුවෙන් බවට ඒ මළ සිරුරු නිහඬවත් සත්‍ය ලෙසත් සාක්ෂි දුන්හ.

ලෝකයේ පරණම ලෙඩ අතර බියකරුම ලෙඩේ කොලරාවය. උණ සන්නිපාතය, ලාදුරු, වසූරිය, ජලභීතිකාව, මැලේරියාව, ක්ෂය රෝගය සහ විවිධ උණ වර්ග ඉන්පසු එක පෙළට මනුෂ්‍ය වර්ගයා ආක්‍රමණය කරන්නට පටන් ගත්හ. මධ්‍යකාලීන යුගයේදී මහාමාරිය කොතරම් සැරට පැතිරුණේද යත් යුරෝපාකරයේ ජනගහනයෙන් අඩක්ම මියගියහ. ලෝකයේ අන්තිම වසංගතය කොවිඩ් 19 බවට පිළිගැනීමක් තිබේ. 2019 නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් පළාතේ වවුල් මස් කඩ සහ මුගටි මස් කඩවලින් ද, වල් ඌරු මී ස්ටේක් වලින්ද මතුවූ කොවිඩ් 19 වෛරසය ඊළඟ අවුරුද්දේ ජනවාරි වන විට ඉන්දියාවට ද තවත් බොහෝ රටවල් වලටද පැතිර ගොස් ලංකාවත් එහි ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කෙලවා දැමීය. කොවිඩ් 19 න් පසු දැන් ඉතින් ලෙඩ ඉවරයි යනුවෙන් සිතා අපි හිත හදා ගත්තෙමු. ඒ අතර තවත් මාරාන්තික භාණ්ඩයක් බැක්ටීරියාවක ස්වරූපයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇති බව දැනගන්නට තිබේ. මේ බැක්ටීරියාව අනුභව කරන්නේ මිනී මස් ය. බැක්ටීරියාව මනුෂ්‍යය ශරීරයට රිංගා මස කාගෙන යයි.STREPTO COCCAL TOXIC SHOCK SYNDROME යනුවෙන් මෙය හඳුන්වනු ලැබේ. මේ රෝගය ආසාදනය වූ රෝගීන් දහසක් දැනටමත් ජපානයේ සිටිති. තවදුරටත් දැනගැනීමට ඇති පරිදි මේ රෝගය දෑවුරුද්දක් තිස්සේ ජපානය තුළ වර්ධනය විය. බැක්ටීරියාව සිරුර තුළට ඇතුළු වී පැය 48 ක් තුළ රෝගියා මියයෑමට ඉඩ ඇත. මෙහි මරණ අනුපාතය 30% කි. 2022 අග භාගයේ සිට යුරෝපයේ රටවල් 5 කින් මේ රෝගය වාර්තා විය. පසුගිය දවසක ඔස්ටේ්‍රලියාවේ සිටි සිංහල කාන්තාවක් මේ රෝගයෙන් බේරාගන්නා ලද්දේ බැක්ටීරියාව ආසාදනය වූ ස්ථානය කපා දැමීමෙනි. අතක් කැපුවත් හදවත, පෙනහල්ල, අක්මාව වැනි ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීන් එසේ කපා ඉවත් කළ නොහැක. අක්මාව ගියත්, පෙනහළු ගියත්, හදවත ගියත්, මරණය නියතය. අප අද කතු වැකිය මේ රෝගය වෙනුවෙන් ලියන්නට කැප කළේ කොවිඩ් 19 න් අප්‍රමාණ පරිප්පුවක් කෑ බැවිනි. කොවිඩ් වසංගතය චීනයේ වූහාන්වලින් පිටත් වී ඉන්දියාවේ පළමු මිනිසා බිලි ගන්නා විට ‘දිවයින’ එක පෙළට කතු වැකි තුනක් ලිව්වේය. ඉන්පසු ඉදිරි අවුරුද්දම අපට ගතවූයේ කොවිඩ් රෝගය, එයින් පරෙස්සම්වීම, කසිප්පු පළවල්වල ගැවසී රෝගය බෝකර ගැනීම, කට්ටිය එකතුවී කුඩු ගසා කොවිඩ් රෝගීන් බවට පත්වීම වැනි කාරණා ගැන ජනතාව දැනුවත් කරනු පිණිසය. ඉන්දියාව පළමු මාසය තුළදීම කොවිඩ් වැඩේ අත්හැර දැමුවේය. මැරෙන එකාට මරෙන්නටත්, ජීවත්වන එකාට ජීවත් වෙන්නටත්, බෙහෙත් ගන්නට යන එකාට බෙහෙත් ගන්නට යන්නටත් ඉඩ හළ ඉන්දියන් ආණ්ඩුව රට විවෘත කර සාමාන්‍ය පරිද්දෙන් පවත්වාගෙන ගියේය. එහෙත් ලංකාව කොවිඩ් රෝගයට මහත්සේ බියවී රට වසා එන්නත් කරන වැඩපිළිවෙළක් හඳුන්වාදී විශාල ගේමක් දුන්නේය. මේ ගේමේ අවසන් ප්‍රතිඵලය ලෙස ගෝඨාභය රාජපක්ෂ ගෙදර යයි. කොවිඩ් නිසා ආණ්ඩුවක් පෙරළුණු එකම රට ලංකාව බවට පත්වෙයි.

STREPTO COCCAL TOXIC SHOCK SYNDROME රෝගය කෙටියෙන් හඳුන්වනු ලබන්නේ STSS ලෙසය. මේ රෝගයේ ඇති ලොකුම අවුල වන්නේ එය නිශ්චය කිරීමට ඇති දුෂ්කරතාව ය. එය සනීපාරක්ෂක තුවායේ ගෑවුනොත් ආසාධිත රුධිරයෙන්ද බෝවිය හැකිය. නොඑසේ නම් විවෘත තුවාලයකට කඩාපාත් විය හැකිය. මෙහිදී ක්ෂණික ප්‍රතිකාර කළොත් වැඩේ ගොඩදමා ගැනීමට පුළුවන. එහෙත් එවැනි ක්ෂණික ප්‍රතිකාරයක් කිරීමට තමන්ට ලෙඩක් වැළඳී ඇති බව මුලදී කවුරුත් කල්පනා කරන්නේ නැත. වමනය, ඔක්කාරය සිට බඩයෑම, ඇඟ රිදීම යන රෝග ලක්ෂණ මේ රෝගයට අයත්ය. මේ රෝග ලක්ෂණ පාචන කාරයාටත් තිබේ. කොලරා රෝගියාටත් තිබේ. එසේම අධික උණ කාරයන්ට ඇති වෙව්ලිල්ලද මේ රෝගයේ ලක්ෂණයකි. ඊට අමතරව රෝගියා බරපතළ ලෙස කම්පනයට පත්වීමද මෙහිදී සිදුවේ. මේ නිසා මේ රෝගය රෝග ලක්ෂණ කොක්ටේල් එකක් බවට පත්වේ. මේ රෝගය වැළඳුනු ඇතැම් පිරිස් වලට පෙනිසිලින් කාණ්ඩයේ ප්‍රතිජීවක ඖෂධ හරියයි. තවත් කට්ටියකට හරියන්නේ CLINDAMYCIN කාණ්ඩයේ ඖෂධ විය හැකිය. ඒත් අවාසනාවකට මෙන් සමහරුන්ට පෙනිසිලින් අල්ලන්නේ නැත. තවත් සමහරුන්ට CLINDAMYCIN ඇලජික් ය. ස්වභාව ධර්මය ජනගහන පාලනය සඳහා ගේම ගහන්නේ ඒ විදිහටය. ඒ ගේමට අනුව අප කොච්චර තැටමුවත් වසංගත රෝගයක් ආ විට සෑහෙන පිරිසකට තම මුල් ගම් බිම් බලා යෑමට සිදුවීම නියතය.

මේ රෝගය පාලනය කිරීම සඳහා සුදුසු ඇන්ටිබයොටික් සොයමින් වෛද්‍ය පර්යේෂකයෝ මේ මොහොතේදීත් කරනම් ගසනවා ඇත. කොරෝනාවට බෙහෙත් සොයාගන්නා විට රෝගීන්ගෙන් භාගයක්ම මියගොස් තිබිණ. මේ රෝගය තවමත් ලංකාවට පැමිණ නැති බවත් මේ ගැන අවදානයෙන් සිටින බවත් අපේ වසංගත රෝග මර්දන ඒකකය කියයි. අප ප්‍රාර්තනය කරන්නේද මේ බැක්ටීරියාව මේ හතර මායිමකට නොඑන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment