යටත්විජිත පාලනය තුළ ලංකාව පිළිබඳව යළි කියවීමක් ලංකා ගීතය

202
ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපට කලාව ආරම්භ වන්නේ යටත්විජිත පාලන සමයේදීය. මේ අවධිය ලෝකය පුරා චිත්‍රපට කලාවේ වර්ධනයක් පෙන්නුම් කළ කාලපරිච්ඡේදයකි. ඒ නිසාම මෙරට පාලනය කළ විජිතවාදීන්ට ද චිත්‍රපටය භාවිත කිරීම ඔවුන්ගේ යම් යම් අරමුණු ඉටු කර ගැනීමෙහි ලා මහත් වාසිදායක කාර්යයක් ම විය.

මෙම කාලය තුළ බටහිර ලෝකය පුරා ශ්‍රී ලංකාව පිළිබඳව පැතිර ගොස් තිබුණේ ලංකාව නොදියුණු රටක්ය යන ප්‍රතිරූපයයි. ලෝකය පුරා සියලුම යටත්විජිත රාජ්‍යයන් පිළිබඳව අධිරාජ්‍යවාදී රටවල් ගොඩනඟාගෙන තිබූ ප්‍රතිරූපය ද එයම ය. එබැවින් ශ්‍රී ලංකාවට ද ඉන් මිදීමට පුළුවන් කමක් තිබුණේ නැත.

එහෙත් ශ්‍රී ලංකාව අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ අත් කරගෙන තිබූ කීර්තිය එය නොවේ. මෙරට සියවස් ගණනක් පුරා අතිවිශිෂ්ට සංස්කෘතියක් හා සභ්‍යත්වයක් විකාශනය වී තිබූ රටකි. බටහිර ජාතීන් ම්ලේච්ඡත්වයෙන් මිදීමට බොහෝ කලකට පෙර පෙරදිග රටවල් අතරින් ශ්‍රී ලංකාව උසස් සභ්‍යත්වයක් ළඟා කරගෙන තිබුණි. එය අතීතයේ සේද මාවත ඔස්සේ අපරදිග ග්‍රීසිය, රෝමය ආදී ඇතැම් රටවල් අප රට සමග පවත්වන ලද විවිධ සම්බන්ධතා පිළිබඳ තොරතුරු හමුවීමෙන් පෙනී යයි.

මෙම කීර්තිමත් ඉතිහාසය යුරෝපයේ ජාතීන්ට අසන්නට දකින්නට ලැබුණේ නැතිවාට කුමක් කළ යුතුද? ඔවුහු බොහෝ යටත්විජිත රාජ්‍යයන් පිළිබඳව නිවැරදි රූපය දැකීමට හෝ පෙන්වා දීමට හෝ කැමැති නොවූහ. එහෙත් ඔවුන්ගේ වාණිජ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමේදී අහඹු ලෙස ඇතැම් රටවල නිවැරදි තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට පුළුවන් වූයේ නැත.

ශ්‍රී ලංකාව නව ආර්ථික වැවිලි ක්‍රමයක් යටතේ ආර්ථික සංවර්ධන හා වෙළෙඳ රටාවකට අනුගත කිරීම හා එය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමට ඔවුන් චිත්‍රපට කලාව යොදා ගැනීම නිසා අප රට පිළිබඳ වඩාත් උසස් අර්ථ නිරූපණයක් කරන චිත්‍රපටයක් ඔවුන් අතින් බිහි වී තිබේ. එය ලංකා ගීතයයි (Song of Ceylon). එහි මූලික අරමුණ වූයේ එකල ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ තේ කර්මාන්තය විසින් නිපදවන ලද තේ සඳහා යුරෝපයේ ඉල්ලුම වර්ධනය කරගැනීම පිණිස වෙළෙඳ ප්‍රචාරණයට අවශ්‍ය ප්‍රසන්නජනක හැඟීමක් ඒ රටවල ජනතාව තුළ ජනිත කරවීම යි. එහිදී ශ්‍රී ලංකාව සහ එහි ජනජීවිතයත් සාම්ප්‍රදායික ශිෂ්ටාචාරයත් උසස් එකක් බව කිව යුතු විය. එසේම උසස් සභ්‍යත්වයක් හිමිව තිබූ රටක් බව ද කීමට අවශ්‍ය විය.

යටත්විජිත පාලනය තුළ ලංකාව පිළිබඳව යළි කියවීමක් ලංකා ගීතය

මෙකී අරමුණු පෙරදැරි කරගෙන ලංකා ගීතය චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියේ වාර්තා චිත්‍රපට කලාවේ පුරෝගාමියකු වූ ජොන් ග්‍රියර්සන් නමැති නිෂ්පාදකවරයාය. තේ ප්‍රචාරක මණ්ඩලයේ ඉල්ලීමක් අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වෙළෙඳ මණ්ඩලය ලංකා ගීතය චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත. අනතුරුව චිත්‍රපටයේ සියලු කටයුතු අවසන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය මහ තැපැල් කාර්යාලය විසිනි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බැසිල් රයිට් නම් අධ්‍යක්ෂවරයෙකි. සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ජොන් ටේලර් ය. බැසිල් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලාංකිකයන් පිළිබඳවත් මෙරට බුදු දහම පිළිබඳවත් පොත්පත් පරිශීලනයෙන් මනා දැනුමක් ලබාගෙන සිටි බව ඔහු පිළිබඳව ඇති සමහර ලේඛනවල දක්නට ලැබෙයි.

1934 දී ලංකා ගීතය චිත්‍රපටය (Song of Ceylon) නිෂ්පාදනය අවසන් කර සංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේදී ය. මෙම චිත්‍රපටය ලෝකයේ මෙතෙක් බිහි වූ හොඳ වාර්තා චිත්‍රපට අතරින් සුවිශේෂ වාර්තා චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ පැසසුමට ද ලක් වී තිබේ. ලෝකයේ ප්‍රකට සිනමා විචාරකයකු වන රොජර් මැන්වෙල් ලංකා ගීතය වාර්තා චිත්‍රපටය පිළිබඳව හඳුන්වා ඇත්තේ එය බ්‍රිතාන්‍යය විසින් එතෙක් නිෂ්පාදනය කළ චිත්‍රපට අතරින් උසස්ම නිර්මාණය ලෙසයි.

ලංකා ගීතය චිත්‍රපටය නිපදවීමේ දී බැසිල් රයිට්ට අවශ්‍ය තොරතුරු සපයන ලද්දේ එවකට ලංකාවේ සිටි සුප්‍රකට කලාකරුවකු වූ ලයනල් වෙන්ඩ්ට් මහතාය. ඔහු සමග

ශ්‍රී ලංකාව පුරා ඇවිදිමින් බැසිල් හා ටේලර් යන දෙදෙනා අවශ්‍ය දර්ශන රූපගත කළහ.

ලංකා ගීතය චිත්‍රපටය මිනිත්තු 40ක ධාවන කාලයකින් යුතු වෙයි. එහි කොටස් හතරකින් යුතු වන අතර පළමු වැනි කොටස ‘ද බුද්ධ’ (The Buddha) යනු ය. එය ශ්‍රී පාද වන්දනාව අලළා සකස් කොට ඇති අතර සිංහල ජනතාව හා බුදු දහම අතර පවත්නා අවියෝජනීය බැඳීම ඉන් කියැවෙයි. දෙවැනි කොටසට ඇතුළත් වන්නේ මෙරට සාම්ප්‍රදායික ගැමි ජීවන ක්‍රමය පිළිබඳ කතාවයි. එය හඳුන්වන්නේ ‘ද වර්ජින් අයිලන්ඩ්’ (The Virgin Island) නමිනි. තෙවැනි කොටසේදී පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා සමාජයට බ්‍රිතාන්‍ය යටත්විජිත ක්‍රමය තුළ බලහත්කාරයෙන් පටවන ලද වැවිලි ආර්ථික ක්‍රමය විසින් ආරෝපණය කළ වාණිජ සමාජ රටාවට ජනයා එකතු වන ආකාරයයි. එම කොටසේදී එංගලන්තයේ කොමන් ගාර්ඩ් තේ වෙන්දේසියේ දී සිටිවන කතා බහ ආදිය පසුබිමින් ඇසේ. එය හඳුන්වන්නේ ‘ද වොයිස් ඔෆ් කොමර්ස් (The Voice of Commerce) යනුවෙනි. චිත්‍රපටයේ හතර වැනි කොටසින් ලංකාවේ ආගමික පසුබිම පිළිබඳව විමසුමක් කරයි. එය හඳුන්වා ඇත්තේ ‘ද ඇපරල් ඔෆ් ගොඩ්’ (The Apperal of God) යනුවෙනි.

යටත්විජිත පාලනය තුළ ලංකාව පිළිබඳව යළි කියවීමක් ලංකා ගීතය

චිත්‍රපටය නිපදවීමේදී මුලින් රචනා කරන ලද තිර පිටපතක් නැතිව දර්ශන රූ ගත කර පසුව ඒවා එංගලන්තයට රැගෙන ගොස් එහිදී සංස්කරණ මැදිරියක් තුළ දී අදාළ ආකෘතිය ගොඩනඟා ගෙන ඇති බව පෙනෙයි. චිත්‍රපටය පුරා ශ්‍රී ලංකාවේ සුවිශේෂ ස්ථාන හා දර්ශන සංකේතාත්මකව ඉදිරිපත් කිරීමක් දක්නට පුළුවන. පොළොන්නරුව ගල් විහාරය එහි ප්‍රමුඛ දර්ශනයකි.

චිත්‍රපටයේ පසුබිම් කථනය සපයන්නේ ලයනල් වෙන්ඩ්ට් විසිනි. එම කථනය සඳහා රොබර්ට් නොක්ස් විසින් ලියන ලද An Historical Realation of Ceylon නම් කෘතිය ඇසුරු කරගෙන ඇත. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වන්නේ වෝල්ටර් ලේ නම් විදේශිකයකු අතිනි. ඔහු ලංකාවේ විවිධ පළාත්වල ජන ගී ජන සංගීතය හදාරමින් ඒවා ඇසුරු කරගෙන ඇති බව පෙනේ. තවද විශේෂයක් නම් උඩරට සුප්‍රකට බෙර වාදකයකු වූ සුරඹා ගුරුන්නාන්සේ ප්‍රමුඛ බෙර වාදක කණ්ඩායමක් සහාය කරගෙන චිත්‍රපටයට රිද්ම සකස් කරගෙන තිබේ. එම අවස්ථාවේදී ගජගා වන්නම භාවිතා කර ඇති අතර එය ගායනා කර ඇත්තේ ප්‍රකට කලාකරුවකු වූ දේවාර් සූර්යසේනයන් ය. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කර ඇත්තේ ඇල්බර්ටෝ කැවලකන්ටි නම් සිනමාකරුවා ය. ඔහු පසුකලෙක ලෝකයේ විශිෂ්ට සිනමාකරුවන් අතරට එක්වූ අයෙකි.

මෙම චිත්‍රපටයට 1935 දී බ්‍රසල්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ප්‍රථම ස්ථානයට හිමි ත්‍යාගය ද ලබාගැනීමට හැකි විය. මෙම චිත්‍රපටය 2011 වසරේදී සංරක්ෂණය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නූතන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අනාගතයේ පර්යේෂකයන්ට හා සහෘදයන්ට රසවිඳීමේ අවස්ථා ඇති කරගත හැකි වන පරිදි සුරක්ෂණය කර තිබේ. එහි පුරෝගාමි මෙහෙවර මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ උපදේශකත්වයෙන් සිදු වී ඇත. බ්‍රිතාන්‍ය යටත්විජිත කාලපරිච්ඡේදය තුළ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනා එපාකම් අනුව සියල්ල සිදුවෙමින් තිබුණත් අහඹු සිදුවීමක් ලෙසින් ඔවුන්ගේ අවශ්‍යතාවට නිපදවන ලද ලංකා ගීතය චිත්‍රපටය තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ රුව ගුණ ලෝකයට හඳුන්වා දීමට පිළිවන් වී ඇති බව ඇතුගල මහතා පවසයි. ලංකාව මිනී මස් කන මිනිසුන් සිටින රටක්ය යන අදහස බටහිර ලෝකය පුරා පැලපදියම් කිරීමට ගත් උත්සාහය පරාජය කරමින් හා මෙරට යක්ෂ, නාග ආදී දියුණු ශිෂ්ටාචාරයක් ජීවත්වූ ජනකායක් සිටි විශිෂ්ට සංස්කෘතියක් ඇති රටක්ය යන අදහස ස්ඵුට කිරීමට මෙම චිත්‍රපටය මහත් අනුබලයක් වූ බව ද කියයි.

දැනට මෙම චිත්‍රපටයේ මුල් පිටපතක් හා එයින් ඩිජිටල්කරණයෙන් සංරක්ෂිත පිටපතක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිමිකම යටතේ පවතී.

විමල් රණතුංග

(1918දී මෙම ලේඛනය අපට සපයන ලද්දකි)

advertistmentadvertistment
advertistmentadvertistment