යතුරුපැදිය උස්සන්න ආ සීසර්ලාගේ තල්ලුවෙන් කාන්තාව රෝහලට

405

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ යතුරුපැදියක් සීසර්වරුන් පිරිසක විසින් රැගෙන යෑමට උත්සාහ කිරීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර සීසර්වරුන් දෙදෙනකු විසින් තල්ලු කිරීමෙන් මන්ත්‍රීවරිය ඇදවැටී රෝහල්ගත කළ බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව වාද්දුව පොලිසිය පවසයි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි ලසන්ති හේමමාලා මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර, කොරෝනා කාල සීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත.

මගහැරුණු වාරික වෙනුවෙන් වැඩි පොළී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වෙයි.

දඩ මුදල් එකතු කිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරියට මගහැරී ඇති බැවින් 30 වැනිදා පස්වරුවේ සීසර්වරුන් හත්දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යෑමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පළ කර ඇත. එහිදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නිශාන්ත සේනාරත්න, ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment