යතුරුපැදිවලින් පාසල් එන දරුවන්ට ලංකා ඔටෝමොබයිල් හෙල්මට් බෙදා දෙයි

128

යතුරුපැදිය අප රටේ සුලබ ප්‍රවාහන මාධ්‍යයක් බවට මේ වන විට පත්ව තිබෙන බව රහසක් නොවේ. බොහෝ දෙමාපියන් තම ආදරණීය දූ දරුවන් පාසල් වෙත කැඳවාගෙන යෑමටද යතුරුපැදි යොදා ගන්නා බව දැකිය හැකිය.

ආරක්‍ෂිත හිස් වැස්මක් (හෙල්මට් එකක්) පැළඳීමෙන් යතුරුපැදියක ගමන් කරන කෙනෙකු අනතුරකට ලක් වුවද ඉන් ආරක්‍ෂාවීමට හැකිය. පාසල් යන වයසේ පසුවන දරුවන් යතුරුපැදිවලින් පාසල් වෙත කැඳවා ගෙන එන බොහෝ වැඩිහිටියන් ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳීමට කටයුතු කරන නමුත් දරුවන්ට ආරක්‍ෂිත හිස් වැස්මක් පැළඳවීමට උනන්දු නොවන බව පෙනේ. මේ නිසා හදිසි අනතුරකදී වැඩිහිටියාට ආරක්‍ෂාවක් ලැබෙන නමුත් දරුවා අනාරක්‍ෂිතය.

මෙසේ වැඩිහිටියන් තමන්ගේ ආරක්‍ෂාව සඳහා ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ කුඩා දරුවන් ආරක්ෂිත හිස් වැසුම් රහිතව අනාරක්‍ෂිතව රැගෙන යෑම නිසා ඇති වන අවදානම ගැන සිය අවදානය යොමුකල ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් ආයතනයේ සභාපති ධම්මික ආටිගල මහතා හදිසි අනතුරකදී පාසල් දරුවන් මුහුණ දෙන අනතුරුදායක තත්ත්වය මගහැරවීම සඳහා පාසල් දරුවන්ට ආරක්‍ෂිත හිස් වැසුම් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. කඹුරුපිටිය පොලිස්ථානාධිපති නීතීඥ මනෝජ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණය යටතේ මෙම ව්‍යාපෘතියේ පළමු පියවර කඹුරුපිටියෙන් ඇරඹීමට කටයුතු කර තිබිණි.

යතුරුපැදිවලින් පාසල් එන දරුවන්ට ලංකා ඔටෝමොබයිල් හෙල්මට් බෙදා දෙයි

ආරක්ෂිත හිස් වැසුම් ලබාදෙන ව්‍යාපෘතිය සඳහා දරුවන් තෝරා ගැනීමේදී කඹුරුපිටිය මහ විද්‍යාලයට සහ නාරන්දෙනිය ජාතික පාසලට ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදිවලින් රැගෙන එන දරුවන් හඳුනා ගැනීම පොලිසියේ රථ වාහන අංශය මගින් සිදුකර තිබිණි. මෙලෙස තෝරා ගත් පාසල් දරු දැරියන් 50 දෙනෙකු සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් ලබාදීම පසුගියදා කඹුරුපිටිය සණස උත්සව ශාලාවේදී සිදුකෙරිණි. ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන සියළු පාසල් දරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුම් ලබාදී පාසල් දරුවන්ට ආරක්‍ෂාව ලබාදීම ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් ආයතනයේ බලාපොරොත්තුවයි.

මෙම අවස්ථාවට කඹුරුපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් කැන්දකැටියේ නන්ද හිමි, ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් ආයතනයේ සභාපති ධම්මික ආටිගල, ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරී පිරිසක් කඹුරුපිටිය දිවයින අළෙවි නියෝජිත හරිෂ් වීරතුංග, කඹුරුපිටිය මහ විද්‍යාලයේ විදුහල්පති චාමින්ද ලියනාරච්චි, කඹුරුපිටිය පොලිස්ථානාධිපති මනෝජ් ගුණවර්ධන, රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇලරික්ස් කාරියවසම් යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.

පී.එල්. ජයවර්ධන – කඹුරුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment