යථාර්ථවාදයෙන් ඔබ්බට ගිය මඩවලගේ නවකතා

2027

“යථාර්ථවාදය යනු මිනිස් විඥානය ඉදිරියේ ක්ෂය නොකළ හැකි සහ නිරන්තරයෙන් වෙනස් වන දෙයක් නිසා ‘යථාර්ථය’ යන වචනයටද ස්ථාවර අර්ථයක් තිබීමට කිසිම අවකාශයක් නැත. යථාර්ථවාදය යන වචනයේ බොහෝ ගැටලු තිබුණත් එහි ඇති එක් ගුණයක් නම් විචාරයේ සහ කලාවේ යම් කේන්ද්‍රීය ගැටලු හා පොරබැදීමෙහිලා අප මෙහෙයවීමට ඇති හැකියාවයි” ජෝර්ජ් ලෙවින් යථාර්ථවාදය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් ලියනගේ අමරකීර්ති සිය අමුතු කතාව කෘතියේදී දක්වා ඇත්තේ උක්ත අයුරිනි. තත්ත්වානූකූල ලෙසත් තර්කානුකූල ලෙසත් මිනිස් සමාජය නිරූපණය කරන යථාර්ථවාදයේ විවිධ ප්‍රභේද ඇත. රුසියාව හා චීනය ආදී රටවල අනුගමනය කළ සමාජවාදී යථාර්ථවාදය ඉන් එකකි. විවේචනාත්මක දෘෂ්ටියක පිහිටා මිනිස් ජීවිතය විවරණය කරන විචාරාත්මක යථාර්ථවාදය තවත් එකකි. යථාර්ථවාදයේ තවත් එක් ප්‍රභේදයක් වන්නේ මායා යථාර්ථවාදයයි. මායා යථාර්ථවාදය යනු සැබෑ ලෝකය හා මායා ලෝකය ඒකාබද්ධ කරමින් සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට අනුබල දෙන මෑතකදී තුන්වන ලෝකයෙහි රටවල විශාල ජනප්‍රියත්වයක් දිනා ගත් විචාර සංකල්පයකි.

ප්‍රබුද්ධ රසිකයන්ගේ පවා විශේෂ සම්භාවනාවට පාත්‍ර වී ඇති විචාරවාදයකි. ගාර්සියා මාර්කේස්, ටෝනි මොරිසන් ගුන්ටර් ග්‍රාස්, ඔක්ටාවියෝ පාස්, ඩෙරික් වෝල්කට් යන විශිෂ්ට සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ සැලකීමේදී ඒ බව තහවුරු වේ. සුප්‍රකට ජර්මන් ජාතික කලා විචාරක ප්‍රාන්ස් රෝ විසින් මායා යථාර්ථවාදය නමැති යෙදුම මුලින්ම හඳුන්වා දී ඇත. ඔහු හඳුන්වා දුන් එම සංකල්පය තවදුරටත් විස්තාරණය වූයේ ලතින් ඇමරිකානු ලේඛකයන් අතිනි. පශ්චාත් නව්‍යවාදී යථාර්ථවාදය”,රූපකාත්මක යථාර්ථවාදය, අද්භූත යථාර්ථවාදය යන අපර නාමවලින්ද මායා යථාර්ථවාදය හඳුන්වනු ලැබේ.

මායා යථාර්ථවාදී පරිස්ථිතියෙහි සිය නිර්මාණාත්මක කුසලතා ප්‍රකට කරමින් සහෘද පාඨක ජනතාව අතර වඩාත් ජනප්‍රිය අපේ කාලයේ නවකතාකරුවෙකු වශයෙන් මොහාන් රාජ් මඩවල හඳුන්වාදිය හැකිය. ආරම්භයේ සිටම මායා

යථාර්ථවාදී රීතියට අනුරූපී ලෙස නවකතාකරණයේ නියැළීමට ඔහු උත්සාහ දරා ඇත. ඔහු ලේඛන කලාවට පිවිසෙන්නේ බෝදිලිමා කෙටිකතාව රචනා කිරීමෙනි. මාගම් සෝලිය, ලොවිනා, ආදරණීය වික්ටෝරියා, රැජින, කලම්බෝ, ෂෘ හා නිල් කට්රොල් ආදී නවකතා ලාංකේය නවකතා ක්ෂේත්‍රයේ ඔහුගේ අනන්‍යතාව සටහන් කළ නවකතා නිර්මාණ වේ. මාගම්සෝලිය යනු එක්තරා ආකාරයකින්

ලිංගිකත්වය උත්කර්ෂයට නංවමින් ඒ ඔස්සේ ප්‍රබල ෆැන්ටසිමය තත්ත්ව නිර්මාණය කර ඇති අපූරු මායා යථාර්ථවාදී නවකතාවකි. 1809ත් 1819ත් අතර දශකයක කාල පරිච්ඡේදයේ ඌව වෙල්ලස්සේ ගම්මානයක සිදු වූ හා සිදු නොවූ සිදුවීම් සමූහයක් මෙම නවකතාවට වස්තු විෂය වී ඇත. “මාස දෙකක් හා දවස් නවයක් දිය පිසාසාවෙන් පෙළුණු සුදු බණ්ඩා” හෙවත් ඇබිත්ත උන්නාන්සේ පන්සලේ ලොකු හාමුරුවන් විසින් ගෙනවිත් දෙන ලද වතුරෙන් පිරුණු මැටි මඩක්කුව එක් හුස්මට බී ගෙන ගියේය…..

(මාගම සෝලිය, 13 හා 14 පිටු)

ව්‍යාකූල මනසක් ඇති පුද්ගලයෙකු ගේ චිත්ත ස්වභාවය විස්තර කිරීමට මෙවැනි ආශ්චර්යාද්භූත සිදුවීම් මඩවල භාවිත කළ බව සිතිය හැකිය. “ගොමරි විසින් බිහි කළ දරුවා යටිගිරියෙන් බෙරිහන් දීම හේතු කොට ගෙන ගෙයි මැටි බිත්තිවලින් සර සරගා වැලිකැට කඩා හැලෙන්නට වීමත් වහලේ ලී පරාල දෙදරන්ඩ වීමත් අදහාගත නොහැකි තරම්ය.” (මාගම සෝලිය, 42 හා 43 පිටු)

මේ අයුරින් නවකතාව පුරාම ආශ්චර්යජනක හා අද්භූතාත්මක ලෝකයක් නිර්මාණය කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. මඩවලගේ නවකතා කියවීමේදී සුරංගනා කතා, ගැමිකතා හෝ අද්භූත කතා සිහිවීම නිරුත්සාහිකවම සිදු වන්නකි. නමුත් කතුවරයාගේ අරමුණ වී ඇත්තේ සමකාලීන ඉතිහාසය හා බැඳි දේශපාලනය ගැඹුරින් විවරණය බව මාගේ විශ්වාසයයි. අනෙක් අතට මඬවල ස්වකීය නවකතා ඔස්සේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන විවිධාකාර දුක් ගැහැට පිළිබඳ පාඨකයා දැනුවත් කිරීමට ප්‍රයත්න දරා ඇත.

ලොවීනා නවකතාව රචනා කර ඇත්තේ පුන්නා හෙවත් පුන්නිගේ චරිතය වටාය. ඇගේ චරිතය බැලූ බැල්මට අසාමාන්‍ය අභව්‍ය චරිතයක් ලෙස දිස්වේ. එහෙත් සැබෑවටම එම චරිතය ඔස්සේද මායා යථාර්ථවාදී රීතියෙහි ලක්ෂණ ප්‍රකට වේ. විශේෂයෙන් පුරුෂ මූලික සමාජයක ගැහැනියට එල්ල වන පීඩනය” ලිංගික සූරාකෑම හා කුල පීඩනයද මෙම නවකතාවේ ගැඹුරින් නිරූපණය කර ඇත. මෙම නවකතාවේදී කතුවරයා මායාරූපී සිදුවීම් යොදා ගන්නේ යථාර්ථය විනිවිද දැකීමටය. “… නින්දෙන් කලබලව ඇහැරුණු දැරිය ළිං බැම්ම උඩ සිට ළිං පතුලට ඇද ගෙන වැටුණාය…” (ලොවීනා, 29 පිටුව)

මින් කතුවරයා අදහස් කර ඇත්තේ කාන්තාව වටා ඇති අනාරක්ෂිත බවයි. 2014 වසරේ ප්‍රකාශයට පත්වුණු ආදරණීය වික්ටෝරියා නවකතාවද 19 වන සියවසේ අවසාන භාගයේදී ලංකාවේ සමාජ” ආර්ථික හා අධ්‍යාපනික පරිසරය පාදක කර ගනිමින් විචාරශීලීව මායා යථාර්ථවාදී රීතිය යොදා ගනිමින් රචනා කර තිබේ. මෙහි නිරූපණය වන්නේ වික්ටෝරියා ගේ පවුලේ කතාවයි. මධ්‍යම පන්තිය බිහිවීම හා ආර්ථිකය වෙනස්වීම යන සමාජ යථාර්ථය මායා යථාර්ථවාදී රීතිය ඔස්සේ විශ්ලේෂණයට කතුවරයා ප්‍රයත්න දරා ඇත. මඩවල ගේ අනෙකුත් නවකතාවලට වඩා මෙම නවකතාව විශේෂයෙන් වෙනස් වේ. ලංකාවේ ජන ජීවිතය සමග බද්ධ වුණු අභිචාර විධි හා අධි මානසික තත්ත්ව අතිශෝක්තියෙන් යුතුව නිරූපණයට රචකයා උත්සාහ දරා තිබේ. ඉතිහාස කතා පුවත් අනුව දැඩි කාමභෝගී පවිටු ස්ත්‍රියක වශයෙන් ගරහන අනුලා දේවියගේ කතාව වෙනස්ම මානයක් ඔස්සේ උත්කෘෂ්ට අයුරින් ප්‍රතිනිර්මාණය කළ කතාවක් වශයෙන් රැජින නවකතාව සැලකිය හැකිය.

කථිකාචාර්ය ඉවන්තා සඳුනි ජයසේන
සිංහල අධ්‍යයන අංශය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
[email protected]


advertistmentadvertistment