යම රජු නැති අපාය – (ශ්‍රී ලංකාවේ හිර ගෙදර)

628

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවුම් ධාරිතාව හෙවත් තබාගත හැකි සිරකරුවන් සංඛ්‍යාව 13200 ක් වුවද මේ වනවිට 26000 ට වැඩි සිරකරුවන් පිරිසක් එම සිරගෙවල් තුළ තද බද වී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කරනු ලැබ ඇත. මෙම රැඳවියන් පිරිස අතරින් 13,300 ක්ම මත් ද්‍රව්‍යය චෝදනාවලට ලක්වූවෝ වෙති. කුඩු වික්ක අය, කුඩු ළඟ තබාගත් අය, ප්‍රවාහනය කළ අය, කුඩු ලංකාවට ගෙන්වන අය සහ කුඩු බෙදාහරින අය යනාදී වශයෙන් කොටස් කිහිපයක් ලංකාවේ සිටිති. මේ අය අතුරින් පාරිභෝගිකයා වන්නේ කුඩු ගහන කට්ටිය පමණි. සෙසු සියලුම දෙනා කුඩු ඉන්ඩස්ටි්‍ර එකට සම්බන්ධ කට්ටිය වෙති. ඉහත සඳහන් රැඳවියන් තොගය අතර මරණ දණ්ඩනය නියම වූ 1777 ක් ද අනිවාර්ය මරණ දණ්ඩනය නියම වූ කාන්තාවන් 12 ක් ඇතුළු 642 ක් ද වෙති. ලංකාවේ බන්ධනාගාර සියල්ලෙහි සිටින ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ගණන 500 කි. ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාර, රැඳවුම් කඳවුරු සහ විශෝධනාගාර සෑහෙන ගණනක් තිබේ. මේවා අතරින් වැලිකඩ හිර ගෙදරත්, බෝගම්බර හිර ගෙදරත්, මහර හිර ගෙදරත් අධි ආරක්ෂිත හිර ගෙවල්ය. මහර හිර ගෙදරට ලොකු ඉතිහාසයක් තිබේ. 1875 දී කොම්පඤ්ඤ වීදියේ හිර ගෙයක් තිබිණ. මේ හිර ගෙදර තදබදය වැඩිවීමට පටන් ගත්විට එම තත්ත්වය නිරවුල් කිරීම සඳහා මහර හිර ගෙදර සාදන ලදී. උතුවන්කන්දේ සරදියල් අප්පු මේ හිර ගෙදර සිටි රැඳවියෙකි. පසුව මරණ දණ්ඩනය සඳහා බෝගම්බර සිරගෙදරට යවන ලදී. ශ්‍රී ලංකාව තුළ රිමාන්ඩ් හිර ගෙවල් 17 ක් තිබේ. සිරකරුවන් සිටින work camp හෙවත් වැඩ කඳවුරු 6 ක් තිබේ. එසේම පල්ලෙකැලේ විවෘත හිර කඳවුර වැනි කඳවුරු 2 ක් තිබේ. මීට අමතරව නව යොවුන් අපරාධකරුවන් පුනරුත්තාපනය කරන මධ්‍යස්ථාන 2 ක්, එවැනි නව යොවුන් සිරකරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන මධ්‍යස්ථාන 1 ක් සහ lock-up 28 ක් තිබේ. මෙය සාමාන්‍ය ජනයා විසින් ‘ලකප්’ එක ලෙස වහරනු ලබන පොලිස් කූඩු වලට වඩා වෙනස් දැඩි ආරක්ෂාවක් සහිත කූඩු සමූහයකි. ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉතා වටිනා උධෘත පාඨයක් ඇත. Custody Care Corrections ලෙස හැඳින්වෙන මෙහි තේරුම භාරයට ගැනීම, බලාගැනීම සහ පුනරුත්ථාපනය කිරීම වේ. සේවකයෝ 6126 ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිති. අවුරුද්දකට රුපියල් බිලියන 8.6 ක් මේ රටේ හිරගෙවල් වෙනුවෙන් වියදම් කරනු ලැබේ.

මේ සියලුම බන්ධනාගාර පාලනය වෙන්නේ හද්ද පරණ ආඥා පනතක් වූ 1877 බන්ධනාගාර ආඥා පනත යටතේය. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාව තුළ මහා නගර නැත. තාර පාරවල් ද නැත. ගැමි ගැහැනුන් හැට්ට ඇන්දේ ද නැත. ගැමි පිරිමින් ස්වකීය ජනනේන්ද්‍රි කට්ටලය වසා ගත්තේ අමුඩයකිනි. රටේ ජනයාගෙන් 95% ක්ම ගමන් ගියේ දෙපයිනි. සමහරවිට එම ගමන කතරගම හෝ ශ්‍රී පාදස්ථානය වැනි කිලෝමීටර් සිය ගණනක ගමනකි. ඒ කාලේ හැදූ පනතකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාලනය කිරීම සමාන වන්නේ කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වෙන විවාහ මංගලෝත්සවයකට බර කරත්තයෙන් යෑමටය. වැඩිදෙනා නොදන්නවාට අදටත් ලංකාව පාලනය කෙරෙන්නේ බි්‍රතාන්‍ය ආණ්ඩු කාලයේ පැවති හද්ද පරණ නීති සමූහයකිනි. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍ය පාලනයෙන් ගලවමින් 1972 දී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද නමුදු රෝමානු ලන්දේසි නීතියෙන් බේරීමට අපට බැරිවිය. මිනිසුන් වැඩකරන හැටියට අද වනවිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස් රාජ්‍යයකි. ඒ අනුව අගමැතිගේ ගෙට පැනීම, ජනාධිපතිගේ ගෙට පැනීම යනාදියද මේ රටේ ජනයා කරති. එහෙත් ලංකාව අදටත් පාලනය වන්නේ බි්‍රතාන්‍ය නීතියට අනුව යටත්විජිතයක් ලෙසය. උපරිම දඩය රුපියල් 5 ක් වූ වැරදි අදටත් මේ රටේ තිබේ. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යනු වෙනම ලිවිය යුතු කතාවකි. ඒ ගැන තවදුරටත් කතා කරන්නට ගියොත් අපේ බන්ධනාගාර වැඩේ මිස්වීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සියල්ලම අපායක ශාඛා ලෙස හැඳින්වීමට පුළුවන. එහෙත් යම රජ්ජුරුවන් වෙනුවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් අපේ රටේ බන්ධනාගාර පාලනය කරන බැවින් ඒවා කෙළින්ම අපායක් ලෙස සැලකීමටද නුපුළුවන. මේ රටේ බන්ධනාගාර වාට්ටුවකට ඇතුළු වූ සැණින් දැනෙන විශේෂ ගඳක් තිබේ. ඒ වූකලී මුත්‍රා ගඳ ය. බන්ධනාගාරයේ රැඳවියන් ජීවත්වන්නේත්, කන්නේ බොන්නේත් මේ දුගඳ අතරය. 2021 සංඛ්‍යාලේඛන වලට අනුව මේ රටේ බන්ධනාගාර රැඳවියකු වෙනුවෙන් ආණ්ඩුව රුපියල් 151 ක් බැගින් වියදම් කරනු ලැබේ. පාන් රාත්තලක් රුපියල් 160 ක් වන අන්තිම ලාභ සුදු හාල් කිලෝවද රුපියල් 198 ක් වන මේ රටේ රුපියල් 151 න් මිනිහකුට කන්න දිය නොහැක. එහෙත් මේ රැඳවියෝ ජීවත්වීම උදෙසා හෝ ලැබෙන වෙනත් දෙයක් උදෙසා හෝ රුපියල් 151 න් තුන්වේලක් ශේප් කරගනිති. මෙහිදී මේ ළඟකදී හිරෙන් නිදහස්ව පැමිණි රන්ජන් රාමනායක කියූ කතාවක් මෙසේ සඳහන් කරමු. ළිපෙන් බාන ලද යෝධ පරිප්පු හැලියක් බන්ධනාගාරයේ කුස්සියේ තිබිණ. උතුරන පරිප්පු හැලියට උඩින් පූසෙක් පැන්න අතර අසරණ සතා ඉලක්කය වැරදී පරිප්පු හැලියට වැටී පිළිස්සී මළේය. මේ සිද්ධිය කිසිවෙක් දැක්කේ නැත. එබැවින් කෑම වෙලාවේදී රැඳවියන්ට පරිප්පු බෙදන ලදී. පරිප්පු හොද්ද අවසන් වීගෙන එනවිට පූසාගේ මළ සිරුර මතුවිය. මේ වනවිට රැඳවියන් සෑහෙන පිරිසක් පරිප්පු සමග බත් කා අවසන්ය. ආරංචිය පැතිර ගිය බැවින් පරිප්පු කෑ සියලු දෙනා වමනය දමන්නට පටන් ගත්හ.

බන්ධනාගාරය තුළ කිසියම් ආකාරයක ආර්ථිකයක් තිබේ. මුදල් ඇමැති කෙනෙක් හෝ මහ බැංකු අධිපතිවරයකු නැතත් එම ආර්ථිකය ක්‍රියාත්මක වෙමින් පවතී. ගංජා, අබිං, සිගරට්, සුරුට්ටු, බීඩි වැනි ඕනෑම දෙයක් හිරගෙදරින් ලබාගත හැකිය. හැබැයි රුපියල් 100 සිගරට්ටුවක් බන්ධනාගාරය තුළදී රුපියල් 500 කි. බීඩියක් රුපියල් 100 කි. බුලත් විටක් රුපියල් 200 කි. මේවාට පුරුදුව සිටින රැඳවියෝ කවර හෝ මිලක් යටතේ ඒවා ලබා ගනිති. මේ වෙළෙඳාම ඇතැම් බන්ධනාගාර නියාමකවරුන් හරහා සිදුකෙරේ. බන්ධනාගාරය තුළට මුදල් එන්නේ නියාමකවරුන් හරහාය. සිරකරුවෝද මනුෂ්‍යයයෝ යනුවෙන් කල්පනා කරන ඇතැම් බන්ධනාගාර නියාමකවරු සිරකරුවන්ගේ ගෙවල්වලට ගොස් ඔවුන්ගේ බිරියන් දිනාගෙන වෙනම පවුල් ජීවිතද ගත කරති. හිරේ සිටින සිය සැමියාට අවැඩක් වේය යන බියෙන් නියාමකතුමාගේ ආධිපත්‍යට යටත්වීමට බිරියට සිදුවේ. මේ රටේ හිරගෙවල් පිළිබඳ කතාව මෙවැනි කුණු අල ගොඩකි. සංවිධානාත්මක බන්ධනාගාර ක්‍රමය ලෝකයට හඳුන්වාදෙන ලද්දේ ප්ලේටෝ විසින් බව කවුරුත් නොදනිති. තමන් හඳුන්වාදුන් සංකල්පය ජනතාවගේ පරිහානියට තුඩුදෙන කුණු වළක් බව ප්ලේටෝට ඒ දිනවලම වැටහුනේ නම් ඔහු ස්වාභවික මරණයක් නොලබා ස්ථිර වශයෙන්ම සිය දිවි නසා ගන්නවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment