යලට වැපිරූ කුඹූරේ දළඹුවෝ

149

යල කන්නය ආරම්භයේදී තිබුණු අවිනිශ්චිතභාවය ගොවීන් වෙතින් තවමත් පහව ගොස් නැත. තම කුඹුර අස්වද්දනවාද නැත්ද යන්න පිළිබඳව ඔවුන් සිටියේ දෙගිඩියාවෙනි. ජලය නිසි කලට ලැබුනත් රසායනික පොහොර හා කෘෂිරසායනික ද්‍රව්‍ය ගැන තිබුණු සාධාරණ සැකය ඊට හේතුවයි. බලධාරීන් විසින් අලුතෙන්ම පවසන ලද්දේ සාමාන්‍යයෙන් යල කන්නයේදී වගා ඉලක්කය වන හෙක්ටයාර් ලක්ෂ පහක ප්‍රමාණය කෙසේ වෙතත් එයින් දෙකක්වත් මෙවර හරියට සපුරාගත හැකිවේද යන්න සැක සහිත වන බවයි. මන්දයත් දැන් ඔවුන් කියන්නේ රසායනික පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය සැපයීම අවිනිශ්චිත බවය. අදිටන් කරගත් යුත්තේ ගෙවී යන යල නොව ඊළඟ මහ කන්නයවත් සාර්ථක කරගත යුතු බවය. තත්ත්වය එසේනම් රට තුළ දැනට තිබෙන වී සංචිත අවසාන වෙත්ම උදාවෙනු ඇත්තේ මීටත් වඩා අමාරු කාලයකි. ඊට එරෙහිව ගතයුතු පූර්ව සූදානම පිළිබඳව මීට පෙරදී අප කීපවිටක් දනුවත් කිරීම්ද කර තිබේ.සිත තුළ අසීමිතව ගොඩනගාගත් ආත්ම ශක්තියෙන් යුතුව යල කන්නය වෙනුවෙන් කුඹුර අස්වැද්දූ ගොවියාට මුහුණ දෙන්නට සිදුවෙන අකරතැබ්බයක් ගැන දිවයිනේ පළාත් කීපයකින්ම වාර්තා වෙන්නට පටන්ගෙන තිබේ. ඒ ගොයම් කන දළඹු සමූහයක් පිළිබඳවයි. මේ ගතවන්නේ තීරණාත්මක වගා කන්නයක් නිසාත්, රට ආහාර අර්බුදයක් අබියස සිටිනා බවට තොරතුරු පැතිරෙන නිසාත්, භූමියේ තිබෙන වගාව රැකගැනීම නොවලහා කළයුත්තක් වේ.

දළඹු උවදුරට තම කුඹුර ගොදුරු වූ පසු එක්තරා ගොවි මහතෙක් පුවත්පතකට පවසා තිබුණේ බෝවී ඇති දළඹුවන් ගොයමේ මුල පටන්ම කා දමන බවයි. අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කෘමි විද්‍යාඥ, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්. ආර්. සරත්චන්ද්‍ර මහතා ගෙන්ය.

“මෙවැනි තත්ත්වයක් අපිට ත්‍රිකුණාමලය, මාතලේ, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලිනුත් වාර්තා වුණා. මෙතන තිබෙන්නේ දළඹු සංකීර්ණයක්. ඒ කියන්නේ දළඹු වර්ග තුනක් මෙතන ප්‍රධාන වශයෙන් ඉන්නවා. ඒ තමයි ගොඩවෙල්ලා, කියත්පණුවා සහ කරල් කපන දළඹුවා. මේ හැමෝම ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් සලබයින්ගේ පැටවුන්. මේ සලබ ගහනය වැඩිවෙන අන්දමේ පරිසර තත්ත්වයන් පසුගිය දිනවල තිබුණා. අඳුරු සහිත අහස, වැඩි වායුගෝලීය ආර්ද්‍රතාවය, අඩු පරිසර උෂ්ණත්වය වගේ. එතකොට සලබයින් ප්‍රජනකව සක්‍රිය වෙලා බිත්තර දමනවා. ඒකෙ ප්‍රතිඵල තමයි මෙවැනි හදිසි දළඹු ආක්‍රමණයකට හේතුව.”ඔහුගේ අදහස එසේවිය. ඊට අමතරව ගොවීන් අතින් සිදුවෙන අතපසුවීමක්ද හෙතෙම පැහැදිලි කරදෙන ලදී. ඉහත දැක්වූ ආකාරයේ පරිසර තත්ත්වයන් පවතිද්දී ගොවියා කුඹුරට යන්නේ අඩුවෙන්ය. ඔහු වැඩිපුර තම කුඹුර ගැන උනන්දු වන්නේ වතුර නැතිකම වැනි අහිතකර තත්ත්වයන් හමුවේ මිස ගොයමට හිතකර කාලගුණික තත්ත්වයන් යටතේ නොවීම පළිබෝධ මර්දනය පැත්තෙන් බැලූ කල අවාසියකි. මන්දයත් ගොවියාට නොදැනෙන්නට පළිබෝධකයා බෝවෙන්නේද මෙවැනිම තත්ත්වයන් යටතේ නිසාය. ඒ නිසා වඩාත් විමසිල්ලෙන් ගොයම දෙස බැලිය යුත්තේ මෙවැනි කාලගුණික තත්ත්වයන් පසුකරද්දී බව සිහි තබාගැනීම වටී. බැලීම යනු නියර දිගේ වට කීපයක් ගොස් ගෙදර යෑමද නොවේ. ගොයම් පඳුරු දහයකට වරක්වත් එකින් එක පරීක්ෂා කළ යුතුය. එවිට පළිබෝධ හානියේ තරම පැහැදිලිව තක්සේරු කරගත හැකිවේ.

“මීට අමතරව කොළ හකුලන දළඹුවා සහ කහ පුරුක් පණුවා වුණත් පසු අවස්ථාවේදී එන්න පුළුවන්. ඒ අයත් ඉහත දැක්වූ ගෝත්‍රයේම සලබ පැටවුන්”

සරත්චන්ද්‍ර මහතා තවත් තොරතුරු එකතුකරමින් කියා සිටී. ආරම්භක අවධියේදීම උවදුර හඳුනාගැනීම, පළිබෝධකයන් මර්දනය කිරීමේ පහසුම පිළිවෙතයි. කුඹුරට ලැබෙන සෙවන හැකිතාක් අඩුකළ යුතුය. මේ සඳහා අවට තිබෙන සෙවන ශාක ඉවත්කළ යුතුවේ. ජලය සීමාකාරී නොවේ නම් තිබෙන ජලය කපාහැරීමට කටයුතු කිරීම සුදුසුය. මීට අමතරව කුඹුරේ වල්පැළ ඉවත්කිරීම, නියර පවා හොඳින් සුද්ධකර පවත්වා ගැනීම වැදගත්ය. දළඹුවන්ගේ ස්වභාවික සතුරන් වන කුරුලු සමූහය කුඹුරට කැන්දාගැනීමට කටයුතු කළ යුතුය. මේ සඳහා කුඹුරේ තැන තැන පොල්පිති හෝ කුරුල්ලන් සඳහා ලැගුම් ස්ථාන පිහිටුවීම මැනවි. රාත්‍රී කාලයට ගිනිසිළු දල්වා ඒ වෙත ඇදෙන සලබයින් විනාශ කිරීම ගහන පාලනයේ තවත් පියවරකි. එසේම හිමිදිරියේදී අතංගුවක් ඇසුරෙන් සුහුඹුල් සලබයින් අල්ලා විනාශ කිරීමද කළහැකි අතර ඒ හරහා කුඹුරේ සිටින සලබයින් සංඛ්‍යාව පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීමටද හැකිවේ. මෙවැනි දැනීමක් අවශ්‍ය වනුයේ ඉදිරියේදී මුහුණදීමට සිදුවෙන දළඹු ආක්‍රමණයේ තරම පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමටයි. අනුගමනය කළයුතු පිළිවෙත් මනාව සංවිධානය කරගත හැක්කේ එවිටය.

යලට වැපිරූ කුඹූරේ දළඹුවෝ


ඉහත දැක්වූ පූර්ව ප්‍රතිකාර විධි අසාර්ථක වූයේනම් අවසන් පියවර වනුයේ රසායනික මර්දනයයි. අද දවසේ රසායනික ද්‍රව්‍යයන් සුලභව වෙළෙඳපොළේ නැත. තිබුණත් මිල ඉතාමත් අධිකය. මේ නිසා වඩාත් නුවණැති පියවර වන්නේ රසායනික භාවිතයක් කළයුතු තත්ත්වයට වගාව පත්කර නොගැනීමයි. ඒ සඳහා නිරන්තරයෙන් වගාව දෙස විමසිල්ලෙන් බලා පළිබෝධ ගහනය ගැන පූර්ව ඇස්තමේන්තුවක් සිහිතබා ගැනීමෙන් පළිබෝධනාශක භාවිතයක් කරා කුඹුර ගෙනයන්නේ නැතිව බේරාගැනීම පහසු වේ. යම් ලෙසකින් රසායනික මර්දනයකට යායුතු අවස්ථාවකට එළඹුණි නම්, නිර්දේශිත පළිබෝධනාශකය පළාතේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් විමසා දැනගෙන, වඩාත්ම සුදුසු නාශකය, නියම මාත්‍රාවෙන්, සුදුසුම වේලාවට කුඹුරට යෙදීම උචිතය. සුදුසුම වේලාව යනුවෙන් අදහස් කෙරුවේ දළඹුවා තම වර්ධක අවධිය තුළ ගතකරන වයසයි. බිත්තරයෙන් බිහිවූ අලුතදී රසායනික මර්දනය පහසුවෙන් සිදුවේ. මනාව වැඩුණු දළඹුවන් මර්දනය අපහසුය. අද දවසේදී කෘෂිරසායනික ද්‍රව්‍යයන්හි අධික මිල හේතුවෙන් ලාබයට බෙදාහරින අනවසර පළිබෝධනාශකද සුලභව ගොවීන් අතර ගැවසේ. කිසිවිටකත් මේවා භාවිතා නොකළ යුතුය. මර්දනය සිදු නොවනවා පමණක් නොව පරිසර හානියද, ඇතැම්විට භාවිතා කරන්නාට විෂ සහිත වීමද සිදුවිය හැකි බැවිනි.

“සමහර ගොවීන් රසායනික මර්දනයට පවා ගොහින් අවසානයේදී පැමිණිලි කරනවා වැඩක් වුණේ නෑ කියලා. අපි අවධාරණය කරන්නේ රසායනික ද්‍රව්‍ය යොදනවාට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමේ අනෙකුත් ක්‍රමවේදයන් පවා අනුගමනය කළයුතු බවයි. උදාහරණයක් හැටියට කුඹුරේ තිබෙන වැඩි වතුර කපාහැරීම. ඒවා නොකර පළිබෝධනාශකවලට පමණක් වැඩේ භාරදීම නොකළ යුතුයි. අනෙක් කරුණ තමයි නියම පළිබෝධනාශකයම භාවිතා කෙරුවාද කියන එක. අනුකරණ වර්ග ලාබෙට ගන්න තිබෙයි. හැබැයි ඇතුළේ මොනවා තියෙනවද කියලා ස්ථිර සහතිකයක් නෑ. ඉතින් ඒවයෙනුත් නියම මර්දනයක් වෙයි කියල හිතන්න අමාරුයි.”

සරත්චන්ද්‍ර මහතා තවදුරටත් පවසා සිටී. මේ වනවිට මහා වාරිමාර්ග කලාපයන්හි කුඹුරු පවතින්නේ ගොයමේ ආරම්භක අවධියේය. ඉතා සැලකිල්ලෙන් වගබලාගත යුත්තේ එම නිෂ්පාදන කලාපයන් වෙතට උවදුර පැතිරෙන්නට නොදී ආරක්ෂා කරගැනීමටයි.

සනත් එම් බණ්ඩාර

[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment