ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිඥවරුන් සමඟ පැවති හමුවකදී කියයි
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ නීතිඥවරුන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
පසුගිය වසර දෙක තුළ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. එහිදී රට ගැන සිතා වැඩ කරන කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කළා. ඒ නිසා අද විවිධ පක්ෂවලට අයත් අය වගේම කිසිදු පක්ෂයකට අයත් නැති අයත් මෙම ස්ථානයේ සිටිනවා. 2022 මැයි 09දා සිදුවීම පිළිබඳ මම අලුතින් සඳහන් කළ යුතු නැහැ. රටේ ජනතාව පීඩාවට පත්වීම නිසා උද්ඝෝෂණ ඇති වුණා. ඇතැම් අය එම උද්ඝෝෂණවලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. අවසානයේ සිදු වුණේ සාම්ප්‍රදායික පක්ෂවලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීමයි.
2021 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. රට තුළ ඉදිරියේදී ආර්ථික ගැටලුවක් ඇති විය හැකි බවත්, ඒ පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාට දැනුම් දෙන ලෙසත් එතුමිය මා සමඟ ප්‍රකාශ කළා. මම ඒ බව හිටපු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම ලෝක බැංකුවේ නියෝජිතයන් පැමිණි අවස්ථාවේදීත් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. ඒ සමඟම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළා. එහිදී හැම පක්ෂයක්ම විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා. ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණේ ද්‍රවිඩ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා පමණයි. එක්සත් ජාතික පක්ෂයෙන් සම්බන්ධ වුණේ මා පමණයි. විපක්ෂයේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහභාගී වුණේ නැහැ. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියැදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.
අප විටින් විට මෙවන් අභියෝගවලට මුහුණ දී තිබෙනවා. 1971 කැරැල්ල තිබූ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විපක්ෂ නායක ලෙස සිටිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට සහාය ලබා දුන්නා. එතුමාගේ පුතත් එක් අවස්ථාවක අත්අඩංගුවට ගත්තා. නමුත් ස්ථාවරය වෙනස් කළේ නැහැ. 1989 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ රත්වත්තේ මහතා පැමිණ රටේ නීතිය හා සාමය ඇති කිරීමට සහයෝගය ලබාදෙන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එවිට එම දෙදෙනාගෙන්ම හමුදාපතිවරයා ඇහුවා අපි මේ වැඩේ කරන්නම් පස්සේ අපට දොස් කියන්න එපා කියලා. දෙදෙනාම එකඟතාව පළ කළා. මේ ආකාරයට විවිධ අවස්ථාවල අප සාකච්ඡා කර කටයුතු කර තිබෙනවා.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඩඩ්ලි සේනානායක මැතිතුමා එකට කටයුතු කළා. අනෙකුත් වෙලාවට ගැටුම් තිබෙනවා, නමුත් එය ප්‍රශ්නයක් නොවෙයි. කොච්චර
ගැටුණත් ඡන්ද ප්‍රතිඵල අනුව බලය ජයග්‍රාහකයාට ලබාදී ඉවත්ව යන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. අධිකරණ නිදහස ගැන කොච්චර කතා කළත් අධිකරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණයි. ඉන්දිරා
ගාන්ධි මැතිණිය යටතේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වූ ප්‍රශ්න අප දන්නවා.
මම ජනාධිපති ධූරය භාර ගන්නා විට සෑම පක්ෂයකින්ම මට සහාය ලබා දුන්නා. ඒ වගේම සෑම පක්ෂයකින්ම මට විරුද්ධවත් ඡන්දය ලබා දුන්නා. පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විරුද්ධ පක්ෂයට ගියා. සජබෙ කණ්ඩායමක් මට ඡන්දය දුන්නා. අපි ආණ්ඩුවක් හැදුවා. හිටපු ඇමැතිවරු සමඟ මම වැඩ ආරම්භ කළා. මම ඒ කිසිවෙක් මාරු කිරීමට ගියේ නැහැ. ඇතැම් අය අයින් වුණා. ඒක වෙනම කාරණයක්. නමුත් මම කිසි කෙනෙක් මාරු කරන්න ගියේ නැහැ.දේශපාලන පක්ෂ
ගණනාවකට අයත් පිරිස එකතු වී රට වෙනුවෙන් වැඩ කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පක්ෂ බේදයෙන් තොරව තමන්ගේ සහාය ලබා දුන්නා. ඒ වගේම පිටිනුත් සහයෝගය ලැබුණා. එදා ඉඳලා අරුම පුදුම ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ඉදිරියට පැමිණියා. අද අප පක්ෂ බේදයෙන් තොරව එකට වැඩ කර මෙම ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මේ වන විට අපි බංකොලොත් භාවයෙන් ඉවත් වුණා විතරයි. දැන් ණය ගෙවීමට හැකි හැකි රටක් ලෙස අපව ලෝකය පිළිගෙන තිබෙනවා.
අපිට විවිධ පොරොන්දු දෙන්න බැහැ. තවදුරටත් පැරණි දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් නැහැ. අප එය වටහාගෙන තිබෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යනවා නම් රට තුළ ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ඉලක්ක කරගත් නවීන ආර්ථික රටාවකට ගමන් කළ යුතුයි. ඩොලර් බිලියන 85ක් වූ දළ දේශීය නිෂ්පාදනය 2048 වන විට ඩොලර් බිලියන 350ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. හරියට වැඩ කළොත් අපට එම ඉලක්කයට යන්න පුළුවන්. දැන් අපට තිබෙන්නේ රට ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමිණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු. රටට ස්ථාවර ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු සහ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.