91 වැනි “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට කහවත්ත මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එම්. යසිරු සමත් වූ අතර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල නියෝජනය කළ තරුෂී කරුණාරත්න දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්ව ජය ගැනීම සඳහා ප්‍රදර්ශනය කළ මීටර් 16.19 ක දක්ෂතාව පදනම් කර ගනිමින් යසිරු ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා ප්‍රදර්ශනය කළ තත්: 52.62 ක දක්ෂතාව පදනම් කර ගනිමින් තරුෂි ද අදාළ සම්මානයට නම් කෙරිණි.
දක්ෂතම ක්‍රීඩිකාව වූ තරුෂි කරුණාරත්නට මීටර් 400 දක්ෂතම ජවන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිරිනැමෙන සම්මානය හිමි වීම ද කැපී පෙනුණි.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ඩී. අනුහස් (මීටර් 2.10) දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර දක්ෂතම දුර පැනීමේ ක්‍රීඩකයාට හිමි සම්මානය ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ එච්. දිසානායක (මීටර් 7.24) ට හිමි විය.
මෙවර තරගාවලියේ බාලක සමස්ත ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 136) සමත් වූයේ තම අපරාජිත බව දෙවන වතාවට ද තහවුරු කර ගනිමිනි.
එකී අනු ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 82) සතු විය.
තම අපරාජිත බව තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මෙවර ද බාලිකා සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල (ලකුණු 190) නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එකී අනු ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 150) සතු විය.
මෙවර තරගාවලියේ බාලක තෙවැනි ස්ථානය ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 73) සතු වූ අතර බාලිකා තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 51) ට හැකි විය.
පිට පළාත් පාසල් තරගාවලියේ බාලක ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 73) ට හිමිවන අතර වාරයේ දී පිට පළාත් බාලිකා ශූරතාව සුමනා බාලිකා විදුහල (ලකුණු 51) දිනා ගත්තේය.
මෙවර සහාය දිවීමේ බාලක ශූරතාව ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 33) දිනා ගන්නා අතර වාරයේදී ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල (ලකුණු 35) ට එකී බාලිකා ශූරතාව හිමි විය.
බාලක සහ බාලිකා පිටිය තරග ඉසව් ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වන අතරවාරයේදී ජවන ඉසව් ආශ්‍රිතව බාලක ශූරතාව තහවුරු කර ගැනීමට කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල සමත් විය. බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලට හැකි විය. සිලෝන් බිස්කට් සමාගමේ “රිට්ස්බරි” අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලිය තුළ තරග වාර්තා 10 ක් වාර්තා විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර