යහපත් සුව සේවයක් සඳහා…

381

අපේ රටේ රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා ඇත. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අපරිමිත විශ්වාසයත් රෝහල්හි සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනෙකුත් සේවක, සේවිකාවන්ගේ කැපකිරීම් සම්බන්ධයෙන් මුළුමහත් රටටම ඇත්තේ ඉතාම ගෞරවණීය සහ ස්තුතිපූර්වක හැඟීමකි. ඇත්තටම ගතහොත් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය මෙරට ස්ථාපිතව නොතිබ්බේ නම් ශ්‍රී ලාංකීය ජාතියක් ගැන කතා කරන්නටද දෙයක් ඉතුරු නොවෙන්නට ඉඩ තිබේ.

කෙසේ වෙතත් රෝගියකු ප්‍රතිකාර සඳහා රෝහලකට පැමිණ ලබා ගන්නා බෙහෙත් හේත් වලින් ලැබෙන සුවය ගැන නම් අපට ඇත්තේ ගැටලු සහගත ස්වභාවයකි. අප හිතවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාද ඒ පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙන බව සඳහන් කොට තිබේ. ඔහු පවසන පරිදි වසරකට මිලියන 55ක් රජයේ රෝහල්වලටද තවත් එවැනිම ප්‍රමාණයක් පෞද්ගලික රෝහල්වලටද ගොස් විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගනිති. ඇත්තටම ගතහොත් අප ආසියානු කලාපයෙන් වැඩියෙන්ම රෝහල් කරා යන ජාතියක් බවට පත්වී අවසන්ය.

අපේ රටේ එක් පුරවැසියෙක් වසරකට අවම වශයෙන් හය වතාවක් ප්‍රතිකාර සඳහා රෝහල් කරා යන බවට වාර්තා වී ඇත. එහෙත් එලෙස ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් ගිය බොහෝ දෙනකුගේ රෝග සුවවන්නේ නැත. ඉන් තවත් පිරිසකට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කී ආකාරයට රෝහල් ඉදිරිපිට පවතින මල් ශාලාවල සේවය ලබා ගන්නට සිදුවේ. රෝහලින් ලබා දෙන ඖෂධ නිසා තවත් සියයට 20ක පමණ පිරිසකට නැවතත් රෝහල්ගත වීමට සිදු වේ.

එසේ නම් මෙහි ගැටලුව ඇත්තේ රෝග නිවාරණය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිකාර විය යුතුය. සරලවම කිවහොත් බාල බෙහෙත් වෙනුවට තත්ත්වයෙන් උසස් බෙහෙත් ලබා දීමෙන් අප කියන තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් පාලනයකට නතු කරගත හැකිවනු ඇත. රජය වසරකට විශාල ධනස්කන්ධයක් මෙරටට බෙහෙත් ගෙන්වීමට වැය කරනු ලබයි. එහෙත් එමගින් නියම ඵලදායිතාවයක් නොලැබෙන බව පෙනෙන්නට තිබේ. බෙහෙත් ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා නිමක් නොවන අතර ඒ පිළිබඳ අසන්නට ලැබෙන දේවල් ද පුදුම සහගතය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියගේ කාලයේ වටිනා බෙහෙතක් නිපදවන්නට අවසර දී තිබුණේ පළතුරු සහ කිරි නිෂ්පාදන යන්ත්‍ර සහිත සමාගමකට බව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ප්‍රධාන පුවතින් අනාවරණය කරනු ලැබීය. එම සමාගම කිසි දිනෙක බෙහෙත් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන යන්ත්‍රයක් මෙරටට ගෙනවා තිබුණේ නැති බව රේගුව විසින් තහවුරු කර තිබේ.

අපේ රටට ගෙන්වන බෙහෙත්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද සැක සංකා බොහොමයක් ඇත. එය අද ඊයේ හෝ පෙරේදා ඇතිවූ දෙයක් නොව. 1966 වසරේ ජුලි මස පැවැති සමස්ත ලංකා එක්සත් ආයුර්වේද වෛද්‍ය මහා මණ්ඩලය සමග සාකච්ඡාවකට එක් වෙමින් එවකට සෞඛ්‍ය ඇමැති එම්.ඩී.එච්. ජයවර්ධන මහතා කියා ඇත්තේ පිටරටින් ගෙන්වන ආයුර්වේද ඖෂධවල සුසුදු නුසුදුසු බව පරීක්ෂා කිරීම සඳහා රේගුවට ආයුර්වේද වෛද්‍යවරු කිහිප දෙනකු පත් කිරීමට කැමැත්ත පළ කරන බවය. මෙරටට ගෙන්වන බටහිර ඖෂධවලින් සිරුරට ඇති විය හැකි අහිතකර තත්ත්වය පිළිවඳව දැඩි ලෙස සැලකිල්ලක් දක්වන ලෙස ද ඔහු පවසා තිබූ බව අප මතකයට නැඟේ.

තත්ත්වය එසේ නම් අප සාකච්ඡාවට බඳුන් කරනු ලබන මෙම මාතෘකාව ඉතාම යල් පැන ගිය එකක් වන අතර එය අදටත් නිසි විසඳුම් නොලැබුණු එක තැන පල්වෙන තවත් එක් ගැටලුවක් වුවද එය තවදුරටත් එසේ විය යුතු නැති ජාතික ප්‍රශ්නයකි. එසේ නම් මේ පිළිබඳව පියවර ගත යුත්තේ කවුද? මේ ගැටලුව වසර ගණනක් තිස්සේ පවතින නිසාත් එය මෙතෙක් විසඳීමට කවර ආණ්ඩුවක් වුවද ක්‍රියා කර නැති බැවින් ඉදිරි ආණ්ඩුවකින් වත් මේ සඳහා විසඳුම් ලැබේ යැයි සිතිය නොහැක.

එසේ නම් මේ පිළිබඳව අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේ සඳහා වඩාත් සක්‍රීය ලෙස මැදිහත් විය යුතු බව අපේ හැඟීමය. ඔවුන් මැදිහත්ව අපේ රටේ රෝගීන්ගේ සුරක්ෂිතතාවය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තීන් සකසා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එපමණක් නොව එම ප්‍රතිපත්තීන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටත් එහිදී දේශපාලන අධිකාරියට යට නොවීමද වැදගත් බව අපේ හැඟීමය.

advertistmentadvertistment
advertistmentadvertistment