යහපත් සේවාවක් උදෙසා පොලිසිය ගොඩනගමු

486

පොලිස් සේවය ගෞරවනීය සේවයක් බවට පත් කිරීමේදී පොලිස් ස්ථානයක් බාරව කටයුතු කරන ස්ථානාධිපතිවරයා මානව කුසලතා වැඩි වශයෙන් හෙබවිය යුතු නිලදරුවෙක් විය යුතුය. පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් තුළද සහකම්පනය, කරුණාව ඇති කිරීමට සමත් ස්ථාන භාර නිලධාරීන් පත් කළ යුතුව ඇත. මහජන ආශීර්වාදය යන්න අවංකවම ලැබෙන්නේ එවිටය. බුදු දහමේ දේශනා කර ඇති ආකාරයට තම සංසාරයේ පෙර කුසල් මතු කර ගත හැක්කේ අවංක සේවයක් ලබාදීමෙනි.

 (සැප්තැම්බර් 3 වැනිදාට යෙදී තිබුණු පොලිස් දිනය වෙනුවෙන් පළවන ලිපියකි)

 පොලිසින් (Policing) යන යෙදුමෙහි සරල අර්ථය නම් මුර සංචාරය කිරීමයි. නූතන පොලිසියට සමරූපි සංවිධානගත හා මධ්‍යගත පාලනයකට යටත් පොලිස් හමුදාවක් මුල්වරට පිහිටුවනු ලැබුවේ 1667 වර්ෂයේ ප‍්‍රංශයේ 14 වන ලූවී රජු විසිනි. ලොව මුල්ම පොලිස් බළකායේ ප‍්‍රධානතම රාජකාරිය වූයේ එවකට යුරෝපයේ විශාලතම නගරය වූ පැරිස් නුවරට ආරක්ෂාව සැපයීමයි. තවද ලොව මුල්ම පොලිස් බළකාය ලූතිනන් ජනරාල්වරයෙකු යටතේ පාලනය විය. ඒ අනුව පොලිස් කටයුතු බාර ලූතිනන් ජෙනරල්වරයා නූතන පොලිස්පති තනතුරට බොහෝ දුරට සමාන තනතුරක් උසුලන ලදී.

 රටක පැවැත්ම රඳා පවතින්නේ නීතියේ ආදිපත්‍ය තුළය. පොලිස් රාජකාරි සේවාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ස්ථාපිත කෙරෙන්නේ මෙරට පැවති ඉංග‍්‍රීසි පාලන සමයේදීය ඉංග‍්‍රීසි පාලන ක‍්‍රම අතුරෙන් මේ රටට දායාද කරදුන් අගනා සේවාවක් ලෙස පොලිස් සේවය හැඳින්විය හැකිය. මෙසේ වසර 155ක් පමණ පැරණි රාජ්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා පොලිසියට නිශ්චිත වූ උසස්වීම් ක‍්‍රමවේදයක් නොමැති වීමත්, ක‍්‍රමවේදයක් තිබේ යැයි පැවසුවද එය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම නිසාත් එමගින් පොලිස් නිලධාරීන්ගේ මානසික පීඩනය දිනෙන් දිනම ඉහළ යෑමට බලපා ඇත.

 ශ‍්‍රී ලංකා පොලිසියේ සේවයේ දැනට නියුතු මෙන්ම විශ‍්‍රාමික පොලිස් නිලධාරීන්ගෙන් උසස්වීම් සම්බන්ධව විමසුවොත් අසාධාරණයට ලක් නොවූ පොලිස් නිලධාරියෙකු සොයා ගැනීම කිසිවකුත් නොමළ නිවසකින් අබ ඇටයක් සොයා ගැනීම තරම් දුෂ්කර වී ඇතැයි කීම නිවැරදිය. වර්තමාන විෂම දේශපාලන යාන්ත‍්‍රණය තුළ පොලිස් නිලධාරීන් කෙතරම් අසරණව ඇත්ද යන්න පොලිස් නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයෙන්ම වටහා ගත හැකි අතර පොලිස් නිලධාරීන්ගේ මානසික ආතතියද වැඩි වීමට එය බලපානු ලැබේ.

 මීට වසර 155කට පෙර ශ‍්‍රී ලංකා පොලිසිය ආරම්භ වූයේ බි‍්‍රතාන්‍ය පාලකයන් හා ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රමුඛ අරමුණින් වුවද 21 වන සියවසට පා තබා ඇති මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොලිසියේ අරමුණු වෙනස් වී ඇත. එම නිසා පොලිස් නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීමේදී උසස්වීම් නිර්නායකද පරිවර්තනීය වෙනස්කම්වලට ලක් විය යුතුව ඇත. පොලිස් නිලධාරියාගේ දක්ෂතා ඇගයීමේදී (Performance Evaluation) නිවැරදි වූ මිනුම් දණ්ඩක් නිර්මාණය කළ යුතු වේ. උදාහරණයක් ලෙස අපරාධ මැ`ඩලීම සඳහා සිදු කරන ලද දායකත්වය මැන බැලීමේදී සිදු කරන ලද වැටලීම් ගණන, අධිකරණයට ඉදිරිපත් කර පොලිසිය ජයග‍්‍රහණය කරන ලද නඩු ගණන වැනි දෑ සැලකිල්ලට ගත යුතුව ඇත. එමෙන්ම පොලිස් බල ප‍්‍රදේශයක රථවාහන අනතුරු කොතරම් දුරකට අඩු කර ඇත්ද යන්න ප‍්‍රමාණාත්මකව ගණනය කළ යුතුව ඇත. ප‍්‍රජා පොලිස් කටයුතුවල රාජකාරි නිරත වන පොලිස් නිලධාරීන් කොපමණ දුරකට නීතියේ රාමුවෙන් බැහැරව පැමිණිලි සමථකයට පත් කර ඇත්ද යන්න ගණනය කර (Key performance Indicators) ඔවුන්ගේ කාර්යපල මැනිය හැකිනම් එය කාලෝචිතය. පොලිස් සේවයේ ප‍්‍රාදේශීය කොට්ඨාසවලට අමතරව කාර්යයන් මත රාජකාරි වල නිරතවන නිලධාරීන්ගේ දක්ෂතාව මැනීමේදීද එක් එක් කොට්ඨාසවලට ප‍්‍රධාන කාර්යඵල නිරූපක තිබිය යුතුව ඇත. උදාහරණයක් වශයෙන් පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය මගින් කොපමණ පර්යේෂණ පත‍්‍රිකා පළ කරනු ලැබුවේද යන්න, පොලිස් ආධුනිකයන් බඳවා ගන්නා කොට්ඨාසයෙන් කොපමණ ගුණාත්මක අයැදුම්කරුවන් පොලිස් සේවය එකතු කර ගනු ලැබුවේද යන්න වැනි දෑ ඇතුළත් කළ යුතුව ඇත. විදෙස් සංචාරකයන් මෙරටට ගෙන ඒමේ වැඩ පිළිවෙළකදී විදේශිකයන්ගේ ආරක්ෂාවට ගත හැකි ක‍්‍රියාමාර්ග, නීත්‍යානුකුල මුදල් මාරු කර ගැනීමේදී සහාය වීම, දිගුකාලීන උපක‍්‍රම වැනි දෑ සංචාරක පොලිස් කොට්ඨාසයට ක‍්‍රියාත්මක කළ හැකිය. මේ අයුරින් එක් එක් කොට්ඨාසවලට ආවේණික වූ රැුකියා පිරිවිතර (Job Description) පැවතීම මහජනතාවට විශාල අස්වැසිල්ලකි.

 කාර්යයන් කිරීමට ඇති හැකියාව හෙවත් තාක්ෂණික කුසලතා (Technical skills) වලට අමතරව මානව කුසලතාද උසස්වීම් පිරිනැමීමේදී සැලකිල්ලට ගත යුතුව ඇත. පොලිස් නිලධාරියා යනු සිවිල් සමාජයේ පුද්ගලයන් සමග නිතර දෙවේලේ ගනුදෙනු සිදුකරන රාජ්‍ය නිලධාරියෙක් නිසා ඔවුන්ට මානව කුසලතා බහුල වශයෙන් පැවතිය යුතුව ඇත. ප‍්‍රජාව සමග හොඳ සම්බන්ධතා පවත්වා ගෙන යෑමට හැකියාවක් තිබීම පොලිසියේ දැක්ම වන අපරාධ සහ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීමට ඉවහල් වේ. එම නිසා මහජන පැසසුම් ලබා

 ගන්නා ප‍්‍රමාණයද පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක‍්‍රමවේදවලට ගත යුතුව ඇත. මෙය ඉතාමත් සාධාරණ වන්නේ සියලූම පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානවල රාජකාරිවලට කාලානුරූපීව අනුයුක්ත කර ගත හොත් පමණි. පොලිස් නිලධාරියා කොතරම් දුරකට මහජනතාවට ප‍්‍රියමනාප ද යන්න මෙමගින් දැන ගත හැකි වේ. පොලිස් නිලධාරියාගේ චිත්තවේග බුද්ධි මට්ටමද මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇත. විශේෂයෙන්ම ආවේගකාරී උද්ඝෝෂකයන් සමග ගැටීමේදී මෙම බුද්ධිය අත්‍යවශ්‍යක් බව පසක් වේ. උද්ඝෝෂකයන් සන්සුන් කරවා ගැනීමට පොලිස් නිලධාරීන් සතුව හැකියාවන් තිබිය යුතු වේ. පොලිස් උසස්වීම්වලදී තම සහෝදර නිලධාරීන් උසස්වීමක් ලබා ගන්නා විට එයට විරුද්ධව අනික් නිලධාරීන් නඩු පවරනු ලබන්නේ චිත්තවේග බුද්ධියේ ඇති අඩු මට්ටම නිසාවෙනි.

 පොලිස් සේවය ගෞරවනීය සේවයක් බවට පත් කිරීමේදී පොලිස් ස්ථානයක් බාරව කටයුතු කරන ස්ථානාධිපතිවරයා මානව කුසලතා වැඩි වශයෙන් හෙබවිය යුතු නිලදරුවෙක් විය යුතුය. පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් තුළද සහකම්පනය, කරුණාව ඇති කිරීමට සමත් ස්ථාන භාර නිලධාරීන් පත් කළ යුතුව ඇත. මහජන ආශීර්වාදය යන්න අවංකවම ලැබෙන්නේ එවිටය. බුදු දහමේ දේශනා කර ඇති ආකාරයට තම සංසාරයේ පෙර කුසල් මතු කර ගත හැක්කේ අවංක සේවයක් ලබාදීමෙනි.

 ලෝකය 21 වන සියවසට පා තබා ඇති මොහොතක ශ‍්‍රී ලංකා පොලිසියද විද්‍යාත්මකව ඉදිරියට පය එසවිය යුතුය. එම නිසා සෑම පොලිස් නිලධාරියෙකුම සංකල්පනාත්මක කුසලතා යම් මට්ටමකට පවත්වා ගෙන යා යුතුය. විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරී තනතුරු හා ඉන් ඉහළ තනතුරු හොබවන නිලධාරීන් මෙම කුසලතාව ප‍්‍රගුණ කර ගෙන තිබීම රටක මහජනතාවට ප‍්‍රයෝජනවත්ය. පොලිසියේ දැක්ම, මෙහෙවර අවබෝධ කරගෙන සමස්ත සංවිධානයක් ලෙස පොලිසිය ඉදිරියට රැුගෙන යෑමට මෙම කුසලතාව වැදගත් වේ. රොබර්ට් කැට්ස් පර්යේෂකයා පෙන්වා දෙන ආකාරයට සංවිධානයක සේවකයෙක් තම වෘත්තියේ ඉහළට යෑමේදී සංකල්පනාත්මක කුසලතා වැඩි දියුණු කර

 ගැනීමට වග බලා ගත යුතු වේ. පොලිසිය හා බැඳුනු අවට සාමාජීය, දේශපාලනික, ගෝලීය පරිසර වෙනස්කම් සම්බන්ධව, සුදුසු කණ්ඩායමක් අරමුණු ළඟා කර ගැනීමට නිර්මාණය කිරීම, වෙනසකට නායකත්වයක් ලබා දීම වැනි දෑ සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් වලදී සලකා බැලිය යුතු වේ. සාම්ප‍්‍රදායික ලෙස ජ්‍යෙෂ්ඨත්වය යන සාධකයට වැඩි අවධානයක් යොමු කිරීමට වඩා ශ‍්‍රී ලංකා පොලිසියෙන් දක්ෂයන් බිහි කර ගැනීමට නම් මෙවැනි දෑ ක‍්‍රියාත්මක කිරීම කාලෝචිත වේ.

 වර්තමානයේ පොලිසිය හා මහජනතාව අතර දුරස්ථභාවය සනාථ කිරීමට පෙන්වා දිය හැකි එක් කරුණක් වන්නේ පුද්ගලයෙකුට පොලිසිය හා සම්බන්ධ වීමේදී තෙවන පාර්ශ්වයක සහාය අවශ්‍ය වීම නිසාය. එම නිසා පැමිණිල්ලක් සටහන් කර ගැනීමට ගත කළ යුතු කාලයද සම්බන්ධවද අවධානය යොමු කළ යුතුව ඇත. මිනිසුන් තුළ පොලිසිය කෙරෙහි සුබවාදී ආකල්ප, විශ්වාසය ඇති කිරීමට වෘත්තිමය වශයෙන් වගවීම, විනය යන සාධක පැවතිය යුතුය. රටක මහජනතාව නියමිත පරිදි බදු මුදල් ගෙවන නිසා පොලිසිය නිදහසට කරුණු සැම විටම පැවසීම කළ යුතු දෙයක් නොවේ. උසස්වීම් ලබා දෙන පටිපාටවලට මහජන සේවයට කොතරම් දුරකට කාර්යක්ෂම සේවයක් ඉටු කරන්නේද යන්න ඇතුළත් කිරීම පොලිසියේ ගුණාත්මක බව ඉහළ යෑමට හේතු සාධක වේ. පොලිස් නිලධාරීන් කොතරම් දුරකට පොලිසියේ අගනාකම් වලට දායක වෙනවද යන්නද සැලකිල්ලට ගත යුතු වේ.

 විනීතභාවය (Polite), කීකරුකම  (Obedient), පක්ෂග‍්‍රහික වීම (Loyal), බුද්ධිමත්කම (Intelligence), ධෛර්යවන්තබව (Courtesy), කාර්යක්ෂම වීම (Efficient) වැනි ගුණාංග වලට පොලිස් සේවය සත්‍ය වශයෙන්ම යොමු කිරීමට නම් උසස්වීම් ලබා දීමේදී ඒවාට අවධානය යොමු විය යුතු කිරීම කාලෝචිතය.

යහපත් සේවාවක් උදෙසා පොලිසිය ගොඩනගමු

දසුන් රත්නායක
 කථිකාචාර්ය
 කළමනාකරණ අධ්‍යයන අංශය
 ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර
 බෞද්ධ විශ්වවිද්‍යාලය
 පල්ලෙකැලේ මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment