යළිත් අලි ඇතුන් ඇල්ලීම තවත් විනාශයකට හේතුවක්

220

ශ‍්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් ජීවත්වන සීමිත රටවල් සංඛ්‍යාවෙන් එකක් වන අතර මෙරට ජීවත්වන අලි විශේෂය ආසියානු අලින්ගේ මෙරටට ආවේණික උප විශේෂයක් (Elephas maximus maximus) ලෙස පරිණාමය වී තිබේ. අලි ඇතුන් ශ‍්‍රී ලංකාවේ පාරිසරික, සමාජාර්ථික හා සංස්කෘතික පද්ධතීන් සමග තදින් බැඳී සිටින සත්ත්ව විශේෂයක් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මෙරට වනාන්තර සහ ඒවායේ ජීවත්වෙන සතාසිව්පාවාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා අලි ඇතුන් ඉටුකරන පරිසර විද්‍යාත්මක කාර්යභාරය ඉතා සංකීර්ණ සහ විශාල එකකි. මෙම සතුන් මූලස්ථාන ජීවී විශේෂයක් ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. එසේම මෙරට ප‍්‍රධාන ආගමික විශ්වාස දෙක ලෙස හැඳින්විය හැකි බෞද්ධාගමේ සහ හින්දු ආගමේ ආගමික සහ සංස්කෘතික පද්ධතීන් සමග අලි ඇත්තු තදින් බැඳී සිටිති. අලි ඇතුන් ධජයධාරී ජීවී විශේෂයක් ලෙස හැඳින්වීමට එය ප‍්‍රධාන වශයෙන් බලපා තිබේ. එසේම ආර්ථික අතින් ගත්ත ද සංචාරක කර්මාන්තය වැනි මාර්ග ඔස්සේ අලි ඇතුන් මෙරටට හිමිකරදෙන ප‍්‍රතිලාභ අපරිමිතය. නමුත් මෙරට දේශපාලකයින් සහ ඇතැම් උසස් නිලධාරීන් අලි ඇතුන් දෙස බැලීමට පුරුදුවී සිටින්නේ ‘කරදරකාරයින්’ කොටසක් ලෙස වීම කනගාටුවට කරුණකි. ඔවුන්ගේ පටු අවස්ථාවාදී තීන්දු තීරණ හේතුවෙන් උත්සන්න වී ඇති අලි-මිනිස් ගැටුම පාදක කරගනිමින් මේ වෛරය හටගෙන තිබේ. ඒ වෛරය මේ වන විට කොතරම් ඔඩුදුවා ඇතිද යත් මෙරටට හිමි වටිනා සම්පතක් වන අලි ඇතුන් නොනිල ආකාරයට ඝාතනය කිරීමට අවශ්‍ය ඉඩකඩ සකසා දීමට එකී දේශපාලකයින් සහ උසස් නිලධාරීන් කටයුතු කර තිබේ.

මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ල වන වන අලින් අල්ලා ඉවත්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ සකස් කර ඇති නව කාර්ය පටිපාටිය මගින් මෙම හස්ති ඝාතන වියරුවේ ඉඟි ඉතා ප‍්‍රකට වේ. වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, එම අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු සහ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) යන අය විසින් සාකච්ඡා මාර්ගයෙන් මෙම කාර්ය පටිපාටිය සකස් කර තිබේ. අත්දැකීම් අඩු නිලධාරීන් අලි ඇල්ලීම සඳහා යෙදවීම, අල්ලාගනු ලබන අලින්ගේ ජීවිතවලට එල්ල විය හැකි තර්ජන නොසලකා එම සතුන් ඇල්ලීමට අවසර ලබාදීම සහ මෙවැනි අත්තනෝමතික සහ අසාධාරණ ක‍්‍රම හේතුවෙන් සිදුවිය හැකි අලි ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට ඇති ඉඩ ප‍්‍රස්ථා ඇහිරීම සඳහා මෙම නව කාර්ය පටිපාටියෙන් ඉඩ සලසා තිබේ.

*  පසුබිම

යළිත් අලි ඇතුන් ඇල්ලීම තවත් විනාශයකට හේතුවක්

මෙම හස්ති ඝාතන වියරුවේ ආරම්භය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පොතාන, කටුකැලියාව ප‍්‍රදේශයේ ජීවත්වූ වන අලියකු අල්ලා හොරොව්පතාන අලි රැුඳවුම් මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන යන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කිරීමය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම් දෙක මේ ආකාරයට වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප‍්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නියැලී සිටීමේ හේතුවෙන් උසස් නිලධාරීන්ට මෙම අලියා ඇල්ලීම සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ ගැටලූවක් මතු විය. මෙසේ හොරොව්පතාන හස්ති වධකාගාරයට අලි ඇතුන් අල්ලා ගෙනගොස් දැමීම වනජීවී නිලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක‍්‍රමවේදයක් බව ප‍්‍රත්‍යක්ෂ වී තිබීමය.

හොරොව්පතාන අලි රැුඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත් කළ අයිඊඑන්/එෆ්/ඞීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික‍්‍රමරත්න පෙන්වා දී තිබේ. හොරොව්පතාන අලි රැුඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුළ අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. පහළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර (එම මරණවලින් 10ක්ම මන්දපෝෂණය හේතුවෙන් සිදුවී ඇත.) ඉතිරි අලින්ට සිදු වූ දෙයක් නැත. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භ කර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පෙන්වා දෙති. ඒ අනුව අතුරුදන් ලේඛනය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධාරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලි වන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුළ අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුණු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප‍්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවත් නොකිවමනාය. ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිථ්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිලි වන්නේ දැනට මෙම මධ්‍යස්ථානවලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බැවිණි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප‍්‍රචණ්ඩ හැසිරීම් දැක්වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස් ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කනගාටුවෙන් නමුත් ප‍්‍රකාශ කළ යුතුය. ඒ බව දැන දැනත් තවදුරටත් අලි ඇතුන්ට එම ඉරණමම අත්කර දීමට වනජීවී නිලධාරීන් අකමැතිවීම සාධාරණය. නමුත් එම යථාර්ථයට ඇහුම්කන් නොදෙන විෂයභාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා දැන් සිදුකිරීමට යන්නේ අලි ඇතුනුත් වනජීවී නිලධාරීනුත් ජීවිත අවදානමකට ඇද දමමින් තම අභිමතාර්ථ ඉටුකර ගැනීමටය.

* වනජීවී නිලධාරීන්ගේ ජීවිත අනතුරේ

මෙතෙක් වන අලින් ඇල්ලීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් කණ්ඩායමක විශේෂ රාජකාරියක් ලෙස පැවතුනද එය සියලූම නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරියක් බවට මෙම කාර්ය පටිපාටිය මගින් පත්කර ඇත. එය හිතා මතාම වනජීවී නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමකි. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජකාරියේ යෙදී සිටියදී වනජීවී නිලධාරීන් ඝාතනය වූ අවස්ථා 81 ක් වාර්තා වී තිබේ. ඉන් 36 දෙනෙකු මරණයට පත්වී ඇත්තේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හේතුවෙනි. දෙවැනි වැඩිම නිලධාරීන් සංඛ්‍යාව වන 20ක් මරණයට පත්ව ඇත්තේ රාජකාරි අතරතුර සිදු වූ වන අලි පහරදීම්වලිනි. ඉදිරියේදී මෙම මරණ සංඛ්‍යාව තවත් සීග‍්‍රයෙන් ඉහළ යෑමට ඇමැතිවරයාගේ සහ ලේකම්වරයාගේ මෙම අත්තනෝමතික නියෝග හේතු විය හැකිය. එම තත්ත්වය තුළ නිලධාරීන්ගේ උනන්දුව වැඩි කිරීම සඳහා අලි ඇල්ලීමට සහභාගීවන වනජීවී නිලධාරීන්ට ලබාදෙන අනතුරු දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමට ඔවුන් යෝජනා කර තිබේ. තම ජීවිත පරදුවට තබා හෝ වනජීවී නිලධාරීන් කටයුතු කරන්නේ අලි-මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් සාක්ෂාත් කරගැනීමට නම් අපට හිත හදා ගැනීමට ඉඩ තිබුණි. නමුත් මේ සිදුකරන්නට යන්නේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණට කිසිදු සහයක් ලබා නොදෙන, වන අලි සංරක්ෂණය අතින් ඉතා අයහපත් නමුත් උසස් නිලධාරීන්ගේ උන්මාදයක් සුවකර ගැනීම සඳහා නිලධාරීන්ගේ ජීවිත බිල්ලට දීමය. නොඑසේ නම් බළලූන් ලවා කොස් ඇට බාවා ගැනීමකි.

* අලි ඇතුන්ගේ ජීවිත අනතුරේ

මිනිසුන් හෝ අලි ඇතුන් වැනි වන සතුන් හෝ නිර්වින්දනය කිරීම ඉතා අවදානම් කටයුත්තක් බව නොකිවමනාය. නමුත් ශල්‍යාගාර තුළ පූර්ව පරීක්ෂණ රැුසකින් පසු ආරක්ෂිත තත්ත්වය යටතේ මිනිසුන් නිර්වින්දනය කිරීම මගින් එම අවදානම අවම වේ. නමුත් වනාන්තරයේ ජීවත්වන අලියකු සම්බන්ධයෙන් එම තත්ත්වය වෙනස්ය. අල්ලා ගැනීමට බලාපොරොත්තු වන අලියා හඳුනාගැනීම ද අභියෝගයක් වන පසුබිමක අලි ඇතුන් තුළ ඇති ශාරීරික සහ සෞඛ්‍ය ගැටලූ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම ප‍්‍රායෝගික නැත. එසේම පශු වෛද්‍ය නිලධාරයා විසින් ඔහුගේ අභිමතය පරිදි අලියාගේ ස්කන්ධය තීරණ කරමින් අවශ්‍ය ඖෂධ මාත‍්‍රාව එන්නත්කරණය සඳහා කණ්ඩායම වෙත ලබාදීම සිදුකරයි. එය එම වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත තීරණය වේ. මාත‍්‍රාව වැඩි වීම අලියාගේ මරණයෙන් කෙළවරවේ. නිර්වින්දන ඖෂධ භාවිතයේ ඇති තවත් අවදානම් තත්ත්වයක් වන්නේ නිර්වින්දනය වූ වන අලියා බිම ඇදවැටීමේදී පපුව හිරවීමෙන්, හොඬය යට වීමෙන් සහ ජලය සහිත ස්ථානය වැටීමෙන් අකාලයේ මියයාමයි. මෙම අවදානම අවම කිරීමේ සහ අල්ලාගනු ලබන සත්වයාගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙතෙක් සිදු කෙරුණේ අලි ඇතුන් නිදිගන්වා රැුහැන් දැමීමය (Standing Sedation). නමුත් ඒ ආරක්ෂිත ක‍්‍රමය නව පටිපාටිය මගින් බලධාරීන් ප‍්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට බරපතල සංකූලතා සහ මරණය පවා අත්කරදිය හැකි ආරක්ෂිත නොවන නිර්වින්දන ඖෂධයක් වන ඉටොර්පීන් යොදාගෙන අලි ඇතුන් නිර්වින්දනය කිරීමට ඔවුන් අවසර ලබාදී ඇත. අප‍්‍රිකානු අලි සහ රයිනෝසිරස් සතුන් සඳහා නිර්මාණය කර ඇති මෙම නිර්වින්දන ඖෂධය ආසියානු අලින් සඳහා නිර්දේශ කර නැත. එම ඖෂධය යොදා නිර්වින්දනය කරන සතුන් දිගුකාලීනව වකුගඩු සහ අක්මා වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ගේ සංකූලතාවලට ලක්වීමට සහ/හෝ මරණයට පවා පත්වීමට පවා හැකියාව පවතී. එවැනි අන්තරායකර ඖෂධයක් යොදාගෙන අලින් ඇල්ලීම මගින් වනජීවී නිලධාරීන්ට යම්කිසි ආරක්ෂාවක් සැලසෙන නමුත් කිසිදු ප‍්‍රයෝජනවත් යමක් ඉටු නොවෙන කටයුත්තක් සඳහා බලධාරීන් මෙසේ අලි ඇතුන්ගේ ජීවිත අවදානමේ හෙළීම මගින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ මතය අලියා මියගියත් ගැටලූවක් නොවන බවය.

* නීතියේ පිහිට පැතීමට අවසර ලබා නොදීම

මෙසේ අලි ඇතුන්ට මෙන්ම වනජීවී නිලධාරීන්ට ජීවිත අවදානමක් ගෙන එමින් අලි ඇතුන් ඇලීමට නියෝග කරන උන්මන්තක වනජීවී බලධාරීන් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ හෝ පිහිට පැතීමට මෙරට සිවිල් පුරවැසියන්ට ඇති අයිතිය ද අවහිර කරයි. ඒ මෙසේ අවදානම් ආකාරයෙන් අලි අල්ලන අවස්ථාවල අලින් මරණයට පත් වුවහොත් ඒවා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද රාජකාරියකදී ඇතිවූ සිද්ධියක් ලෙස සලකා, තුන්වන පාර්ශ්වයකට ඊට මැදිහත් විය නොහැකි ආකාරයෙන් අධිකරණයේ කරුණු වාර්තා කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙමිනි.

බලධාරීන් මෙසේ ඉතා අත්තනෝමතික, අසාධාරණ සහ අනුවණ ආකාරයෙන් මෙරට වනජීවී සම්පත් විනාශ කිරීමට කටයුතු කරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න උභතෝකෝටිකයකි. ශ‍්‍රී ලංකාවේ පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවන් ආයුධ පෙන්වීමට රැුගෙන ගිය අවස්ථාවලදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම් අපට මතකය. එසේම වර්තමාන තත්ත්ව යටතේ මිනිස් ජීවිත සහ දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ලවන වන අලි ඇතුන්ට ද එකී ඉරණමම අත්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. එසේම මෙරට ඉතා පහසු සහ අවදානම් රහිත වනජීවී ජාවාරමක් වන අලි පැටවුන් ජාවාරම සඳහා ද මේ හරහා දොරටු ප‍්‍රවේශ වීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව ද සුළු පටු නැත. වනජීවී වැනි සංරක්ෂණ හා ආරක්ෂණ ප‍්‍රමුඛතා සහිත දෙපාර්තමේන්තුවකට ඊට සුදුසුකමක් නැති අමාත්‍යවරුන් සහ හමුදා ආකල්ප සහිත නිලධාරීන් සහ නිකරුනේ කශේරුකාව නැමෙන අධ්‍යක්ෂවරුන් පත්කරගෙන ආණ්ඩුව මේ සූදානම් වන්නේ මෙරට ජීවත්වෙන සීමිත අලි ඇතුන් සම්පත සමූලඝාතනය කිරීමට ද යන්න විමසිය යුතුය.

යළිත් අලි ඇතුන් ඇල්ලීම තවත් විනාශයකට හේතුවක්

සුපුන් ළහිරු ප‍්‍රකාශ්
කැඳවුම්කරු – ජෛවවිවිධත්ව
සංරක්ෂණ හා පර්යේෂණ කවය

advertistmentadvertistment