යළි කවදාවත් නොඑන ලෙස අතුරුදන් වූ බිලිඳු දරුවා

971

හෙලිකොප්ටර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් කෝටි 7ක් වංචා කරනු ලැබූ බව කියන විරංජිත් තාඹුගල නමැති ව්‍යාපාරිකයකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් රුපියල් කෝටි 30ක අල්ලසක් ඉල්ලන ලදැයි දැනගන්නට තිබේ. අන්තිමේදී මේ කෝටි 30 කෝටි 5ක් දක්වා අඩු වුණු බවත් ඉන් රුපියල් කෝටි 2ක් ඇඩ්වාන්ස් වශයෙන් අදාළ නිලධාරීන්ට ගෙවන ලද බවත් කියනු ලැබේ. අපි නම් මේ කතාව විශ්වාස නොකරමු. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඔය කියන නිලධාරීහු ඔය කියන තරම් හිඟන්නෝ නොවෙති. රුපියල් කෝටි 30ක මුදල රුපියල් කෝටි 5 දක්වා අඩු කිරීමේ කිසිදු වුවමනාවක් ඔය කියන නිලධාරීන්ට නැත. ඒ මිනිස්සු ඒ තරමට අවංකය. හරක් කටාට පැන යෑම සඳහා සීඅයිඩී ඇතැම් නිලධාරීන් විවිධ සපෝර්ට් දී ඇති බව හෙළිදරව් වී ඇති නමුදු ඒ සියල්ල මානුෂික හේතූන් මත නොමිලේ කරන ලද උදව් බව අපගේ මතය වේ.

කොටවිල දිස්ත්‍රික් රෝහලේ බලධාරීන්ට එරෙහිව විශාල චෝදනාවක් ගොනුවෙමින් පවතී. දරු ප්‍රසූතියක් සඳහා ගැබ්බර මාතාවක් පසුගියදා මේ රෝහලට ඇතුළු විය. එදා අලුයම 2.40ට ඇය දරුවකු බිහි කළාය. ඉන්පසු එම දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවසූ බවත් ඔවුන් තමන්ට නොපෙන්වාම දරුවා වළ දැමූ බවත් කියමින් අදාළ මව කොටවිල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දරුවා මියගිය බව දැන්වීමෙන් පසු එම මෘත දේහය තමන්ට ලබාදෙන ලෙස දෙමාපියන් දිගින් දිගටම රෝහල් බලධාරීන්ට ඉල්ලීම් කළ ද ඔවුන් එම ඉල්ලීම මගහරින ලද බව සිද්ධියට සම්බන්ධ මව කියයි. දරුවාගේ මරණය සම්බන්ධයෙන් රෝහල කියන දේවල් ගැන මවුපියන්ට කිසිදු පැහැදීමක් නැත. මේ නිසා ඉදිරි දින කිහිපයේදී කිසියම් අමාරු තත්ත්වයකට මුහුණ දීමට කොටවිල රෝහලට සිදුවනවා ඇත. බිලිඳු දරුවා මියගිය බවත් එම දරුවා කාට හෝ විකුණන්නට ඇති බවත් කියන පිරිසක් ද වෙති. මෙහිදී කළ යුතුව ඇත්තේ මිය යෑමෙන් පසු භූමදාන කරන ලද දරුවාගේ මෘත දේහය ගොඩගෙන එහි ඩීඑන්ඒ සාම්පලයක් ලබාගෙන දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමග සැසඳීමය. යම් හෙයකින් එම ඩීඑන්ඒ සැසඳුණොත් රෝහල විශාල අපවාදයකින් ගැලවෙනවා පමණක් නොව දරුවාගේ දෙමව්පියන් කළ චෝදනාව නිසා හටගත් අපකීර්තියට එරෙහිව නීතිය ඉදිරියට යෑමට පවා රෝහලට හැකියාව තිබේ. හැබැයි යම් විදියකින් ඩීඑන්ඒ සැසඳුණේ නැතිනම් රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවනුයේ පිස්සු හැදෙන තත්ත්වයට පත්වීමටය. මෙහිදී පිස්සු හැදීමෙන් පසු පිස්සු බම්ප් වීම සහ පිස්සු ගස් යෑම යන අභව්‍ය තත්ත්ව දෙකට ද මුහුණ දීමට රෝහලට සිදුවනවා ඇත.

රෝහල යනු රෝගියකුගේ පණ බේරා ගැනීමට තිබෙන එකම තැනයි. කිසියම් මනුෂ්‍යයෙක් ලෙඩ වූ කල්හි රෝහල්ගත වන්නේ එහි සිටින වෛද්‍යවරුන් සහ හෙදියන් ස්වකීය පණ ආරක්‍ෂා කර දෙනු ඇතැයි යන හැඟීමෙනි. දරු ප්‍රසූතිය සඳහා කොටවිල රෝහලට ඇතුළු වූ ගැබ්බර මාතාව අපේක්‍ෂා කළේ ද සිය දරුවා සමග යහතින් රෝහලෙන් පිටව යෑමටය. එහෙත් ඒ අම්මාට සිදුවී ඇත්තේ අලුත උපන් දරුවා නැතිව හිස් අතින් ගෙදර යෑමටය. මේ තත්ත්වයේ විභවය දැනගැනීම සඳහා අම්මා කෙනෙක් විය යුතුමය. ලංකාවේ රෝහල්වල ඕනෑ තරම් අත් වැරදි සිදුවෙයි. ඇතැම් සැත්කම්වලදී ශල්‍යාගාරයේ තිබෙන කතුරු, පිහි, ගෝස් යනාදිය කුස තුළටම දමා මැහුම් දැමීම සිදුකරනු ලැබේ. සාමාන්‍යයෙන් උදරය හෝ පපුව වැනි තැනක විවෘත සැත්කමක් කරන ලද කල්හි එම සැත්කමට අදාළ ආයුධ තබනු ලබන්නේ කුස තුළ හෝ පපුව තුළය. සැත්කම ඉවරවීමෙන් පසු එම බඩු ආපසු ඉවතට ගෙන රෝගියාට මැහුම් දමනු ලැබේ. සාමාන්‍යයෙන් සැත්කමක් කරන කුසක් තුළට ගෝස් රෙදි දැමූ විට ඒවා රුධිරයෙන් තෙත්වීම නිසා සිරුර තුළ ඇති රතු මස්වලින් වෙනස්වී හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට බැරි වෙයි. මේ ගෝස් කෑලි තුළ තබන සැත් කතුරු සහ සැත් පිහි යනාදිය ද රුධිරයෙන් පෙඟීමෙන් වෙන්කොට හඳුනා ගැනීමට බැරිවෙයි. මේවා සැබවින්ම අත් වැරදිය. සමහර සැත්කම්වලදී කැපිය යුතු දකුණු කකුල වෙනුවට වම් කකුල කපනු ලැබේ. කැපිය යුතු වම් අත වෙනුවට දකුණු අත කපා ඉවත් කරනු ලැබේ. මේවා භයානක අත් වැරදිය. එහෙත් දරුවකු ඉපදී ස්වල්ප වේලාවකට පසු එම දරුවා මළ බව කියමින් දෙමව්පියන්ට නොපෙන්වාම වළ දැමීම කිසිසේත්ම අත් වැරැද්දක් නොවන බව අපගේ විශ්වාසය වේ. මෙවැනි වැරැදි එල්ලුම් ගස් යන අත් වැරැදි ලෙස අප හඳුනා ගනිමු. එබැවින් අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් කර දරුවාට සිදු වූ දෙය දෙමාපියන්ට හෙළිකර දීමය.

advertistmentadvertistment
advertistmentadvertistment