යාන්ත‍්‍රිකව හිතන පතන සමාජය මාරාන්තිකයි, පරාජිතයි. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

448

උන්වහන්සේගේ මතය බවට පත්ව ඇත්තේ වත්මන් සමාජ පරිහානිය පිණිස මෙරට සාහිත්‍ය පරිහානිය ප‍්‍රබල ලෙස බලපෑමක් සිදු කළ බවය. ඒ පිළිබඳවත් වත්මන් සමාජ වටපිටාව තුල සිංහල භාෂාවට අත්ව පවතින ඉරනම පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමිපානන් සම`ග සිදු කළ සාකච්ඡුාවක් පහත පලවේ.

 ප‍්‍රශ්නය – භාෂාව කියන වචනය පිළිබඳව ඔබ වහන්සේගේ නිර්වචනය කුමක්ද?

 පිළිතුර- මානවයා විසින් නිපදවාගත් විවිධ දේ අතර භාෂාව කියන්නෙ විශිෂ්ට දෙයක්. එය දවසකින් දෙකනින් එහෙමත් නැත්නම් වසර ගනනාවකින් සොයා ගත්ත දෙයක් නොවෙයි භාෂාව කියන්නෙ. මානවයාගේ සමාරම්භයේ සිට ඔවුන්ගේ අවශ්‍යතාවය මත එකිනෙකා අතර අදහස්, තොරතුරු සන්නිවේදනය කිරීමේ උවමනාව පදනම් කරගෙන තමයි භාෂාව කියල දෙයක් නිර්මාණ්‍ය වෙන්නෙ. එයත් එකපාරම සිද්ධ වූ දෙයක් නොවෙයි. මුලින්ම කට හඩින් ශබ්ද පිට වෙනවා. ඊට පස්සෙ අංග චලනය මගින් ඒ දෙය සිද්ධ කරනවා. තවත් අවස්ථාවක රූප භාවිතයෙන් යම් යම් දේ පිළිබඳව සන්නිවේදනය සිද්ධ කරනවා. එහෙම විවිධ අවධීන් පසු කරපු ආදී කාලීන මිනිසා අවුරුදු දහස් ගණනක ප‍්‍රයත්නයකින් පසුව තමයි මේ උච්චාරණ ඉන්ද්‍රීය පද්ධතිය මහා අපූර්ව ලෙස සමර්පණය කරගෙන මහා ශබ්ද මාලාවක් නිර්මාණය කර ගන්නෙ. අනතුරුව එය සංකේත මාලාවක් බවට පත් කරගෙන භාෂණය හා ලේඛනය කියන භාෂාවේ ප‍්‍රධාන අංග දෙක නිර්මාණය කර ගන්න සමත් වෙලා තිබෙන්නෙ.

 ප‍්‍රශ්නය – භාෂා භාවිතයේ ප‍්‍රධාන කාර්යභාරය පිළිබඳව සරල හැදින්වීමක් සිදු කරනව නම්

 පිළිතුර – මම ඉහත සඳහන් කළ ආකාරයට සන්නිවේදනය තමයි භාෂාවක තිබෙන ප‍්‍රධාන කාර්යභාරය තමන්ගේ සිතතුළගොඩ නැගෙන විවිධ අදහස් තවත් කෙනෙකුට පැවසීම එහෙමත් නැත්නම් හුවා දැක්වීම,

 ලියා දැන්වීමට භාෂාව භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි භාෂාව පිළිබඳව කරන්න පුළුවන් සරලම හැඳින්වීම. නමුත් මුල්කාලයේ තිබුණෙ භාෂණය පමණයි. ඉන් අනතුරුව එහි දියුණු ස්වභාවය හැටියට තමයි ලේඛනය හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.

 අපේ රටේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූවොත් අවුරුදු 50000 කට පෙර පාහියන්ගල ලෙනෙහි ආදී මානවයා විසු බව සඳහන් වෙනවා. ඒත් එක්කම වසර 35000 ට පෙර බලංගොඩ මානවයා ජීවත් වූ බවට සාක්ෂි තිබෙනවා. බුද්ධ කාලයට පෙර රාවණ විසූ බව සඳහන් වෙනවා. මේ පිළිබඳව තොරතුරු ලබාගන්න ලිඛිත සාක්‍ෂි නෑ. නමුත් එදා වාචික සන්නිවේදනය දියුණු මට්ටමක තිබිලා තියෙනවා නැත්නම් ඒ තොරතුරු වර්තමානයට එන්නේ නැහැ. එතැනින් පස්සෙ තවත් වසර සිය දහස් ගණනකින් අනතුරුව ගොඩ නැංවුන අපේ නූතන භාෂාව ගත්තොත් එහි දියුණුවේ අඩිතාලම අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා. එකක් තමයි ක‍්‍රි. පූර්ව 06 වන සියවසේ සිදු වූ ආර්යයන්ගේ සංක‍්‍රමණය. ආර්යයන් ලෙස අපි කවුරුත් පිළිගන්න විජය ඇතුළු කණ්ඩායම මධ්‍යම ඉන්දියාවේ පැවතුන හොඳ වාචික සම්ප‍්‍රදායක් අපේ රටට රැුගෙන එනවා. ඉන් අනතුරුව ඒ වාචන සම්ප‍්‍රදාය අපේ රටේ වාසය කළ ස්වදේශිකයන් විසින් තමන්ගේ වාචික සම්ප‍්‍රදායන් එකක් සම්මිශ‍්‍රණය කරලා ඒ හරහා වඩාත් දියුණු වාචික සම්ප‍්‍රදායක් රට තුළ ගොඩනංවනවා. ඒ බව මහා වංශයේ ඩස වන පරිච්ජේදයේ සඳහන්. ඊළ`ගට වංග ජාතික ටැචර්ජි කියන පඬිවරයා කියලා තියෙනවා ආර්යයන්ගේ භාෂාව ව්‍යාප්ත වූ රටවල් ගත්තොත් ලංකාව තුළ එය පැතිරී ගියේ වෙනස්ම ආකාරයකට කියලා.

 දෙවැනි අවස්ථාව තමයි තමයි බෞද්ධ ධර්මදූතයන් මෙරටට පැමිණීම හරහා භාෂාවට සුවිසල් බලපෑමක් සිද්ධ වීම. විශේෂයෙන්ම භාරතීය සංස්කෘතිය මෙරටට එනකොට ඒ හරහා අක්ෂර මාලාවක් අපිට ලැබෙනවා. ඒ තමයි බ‍්‍රාහ්මීය අක්ෂර. එය කෝණක්ෂර නමින් හඳුන්වන්නත් පුළුවන්. තවත් කාලයක් ගියාට පස්සෙ බ‍්‍රාහ්මීය අක්‍ෂර ගෝලාක්ෂර බවට පත් වෙනවා. එහෙම ක‍්‍රමික විකාශණයක ප‍්‍රතිඵලයක් ලෙස 10 වන සියවස පමණ වන විට පූර්ණ අක්ෂර මාලාවක් අපි විසින් නිර්මාණය කර ගැනීමට සමත් වෙනවා. එය අපටම අනන්‍ය වූ දෙයක්.

 ප‍්‍රශ්නය – රටකට එහෙමත් නැත්නම් ජාතියකට තමන්ගේම වූ දියුණු භාෂාවක් පැවතීමේ වටිනාකම මොනවගේද?

 පිළිතුර – ජාතියකට අනන්‍ය වූ භාෂාවක් පවතිනව නම් ඒ භාෂාව මත තමයි ජාතිය රැුදිල තිබෙන්නෙ. සිංහලයන් විදිහට ඉදිරියේදී අපි සිංහල භාෂාව භාවිතා නොකොලොත් එදාට සිංහල කියල ජාතියක් නෑ. එදාටත් ජන වර්ග ජීවත් වේවි. නමුත් ඔවුන්ට සම්මිශ‍්‍රණය වූ භාෂාවක් කතා කරන්න සිද්ධ වේවි. එදාට වසර සිය දහස් ගණනක් තිස්සේ මේ රටේ ජීවත් වූ සිංහල කියන ජාතිය මේ රට තුළ තව දුරටත් සුරක්‍ෂිත නෑ. රාවණ පරපුරේ පටන් විවිධ අවධීන් පසු කරල මෑත කාලීන සාහිත්‍යධරයන් වනතුරු වැඩ ගත්ත සුරක්‍ෂිත කරල දුන්න දියුණු භාෂාවක් 21 වන සියවසේ මැද භාගය වන විට විනාශයට පත් කරන්න ඒ ජාතිය විසින්ම කටයුතු කරනවා නම් ඒක තමයි ජාතිය වනසා ගැනීමේ පළමු ඛේදවාචකය බවට පත් වෙන්නෙ. මේ දේ කරන්න වසර 500 ක් තිස්සේ සුදු ජාතිකයන් මහන්සි ගත්ත. විවිධ ජාත්‍යන්තර බලවේග ක‍්‍රියාත්මක වුණා. තවත් වරක් කොටි සංවිධානය ඒ දෙයම කරන්න උත්සාහ ගත්තා. නමුත් ඒ එකම බලවේගයකටවත් කරගන්න බැරි වූ විනාශයක් අපි විසින්ම මේ වෙද්දී සිද්ධ කර ගෙන යනවා. ඒක කනගාටුවට කරුණක්.

 ප‍්‍රශ්නය – ඔබ වහන්සේ සඳහන් කර සිටින ආකාරයට ඔය කියන විනාශය සිද්ධ වෙන්නෙ මොන ආකාරයෙන්ද?

 පිළිතුර – දියුණු භාෂාවක උරුමය අපි විසින් ළ`ගා කරගත්ත ආකාරය පිළිබඳව මම ඉහත විස්තර කලා. පසු කාලීනව අපේ මහා සාහිත්‍යකරුවන් ඒ භාෂාවෙන් වැඩ ගත්තා. ගුරුළු ගෝමී, විද්‍යා චක‍්‍රවර්ති, ධර්මසේන හාමුදුරුවො වැනි උසස් සාහිත්‍යවේදීන් තමන්ගෙ නිර්මාණ පිණිස මේ භාෂාව කපල කොටල ඔපමට්ටම් කරල ගත්තා. හෙල බස හෙළවහර කියන දෙය ලෝකයේ තවත් භාෂාවකට නොදෙවැනි ලෙස අද ජීවත් වෙන අපට ලැබුනෙ එහෙමයි. එතකොට බුත් සරණ, පූජාවලිය, කවි සිළුමිණ, මුවදෙව්දාවත වැනි මහා සාහිත්‍යයකින් පෝෂණය වූ මධූර, මිහිරි බසක් මේක. පසු කාලීනව ගත්තොත් කුමාරතුංග මුණිදාස, ඩබ්. ඒ සිල්වා, මාර්ටින් වික‍්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර ධර්මසිරි රත්නසූරිය, හෙට්ටිආරච්චි පඬිතුමා, කේ. එන්. ඕ. ධර්මදාස, ජී, බී. දිසානායක ඇතුළු උගතුන් විසින් තවදුරටත් ආරක්‍ෂා කරල දුන්න සම්භාවනීය භාෂාවකට අද මොකද වෙලා තිබෙන්නෙ. 1 ශ්‍රේණියේ ඉදල 13 ශ්‍රේණිය දක්වා ඉංග‍්‍රීසියෙන් දරුවන්ට උගන්වන්න රජය විසින් තීරණයක් අරන් තිබෙනවා. අධ්‍යාපන ඇමැතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ගත් මේ තීරණයට දැනටමත් විශාල වශයෙන් විරෝධය මතු වෙමින් පවතිනවා. නමුත් බලධාරීන් තමන්ගේ තීරණය අකුල ගන්න පාටක් පේන්න නෑ.

 මේ අනුවණ තීරණය පිළිබඳව රජය වගකිව යුතුයි. ජනාධිපතිතුමා කියනවා නම් එතුමා බලයට පත්වුනේ සිංහලයන්ගේ ඡුන්දයෙන් කියලා එතුමා මුලින්ම කරන්න ඕන දෙය තමයි සිංහල භාෂාව සුරක්‍ෂිත කරන්න කටයුතු කරන එක. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් කෙනෙක් අද නැහැ. මෑත කාලයේ භාෂාව පිළිබඳව පාර්ලිමේන්තුවෙ කතා කලානම් ඒ වගේම භාෂාවේ පැවැත්ම පිණිස යමක් කලානම් එහෙම දෙයක් කළේ දිවංගත වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිතුමා පමණයි.

 ප‍්‍රශ්නය – ඒ සඳහා විකල්ප වශයෙන් ඉදිරිපත් වන යෝජනා මොනවාද?

 පිළිතුර – අවම වශයෙන් 1 -10 දක්වා වත් පාසල් තුළ සිංහල භාෂාවෙන් අධ්‍යාපනය දිය යුතුයි. ඒකනෙ මව්බස. ඒකනේ චින්තනයේ භාෂාව, තමන් හිතන පතන දේ වඩාත්ම නිරවුල් නිවැරදි ලෙස ප‍්‍රකාශයට පත් කරන්න පුළුවන් මව් භාෂාවෙන් පමණයි. ඒ හින්දා තමයි එය චින්තනයේ බස බවට පත් වෙන්නෙ. සිංහලෙන් අධ්‍යාපනය ලබන ගමන් දෙවැනි, තෙවැනි භාෂාවන් ලෙස වෙනත් වෙනත් භාෂාවන් ඉගෙන ගන්නට කමක් නැහැ. නමුත් දැන් සිද්ධ වෙන්න යන්නෙ රජයේ පාසලත් ඉංග‍්‍රිසියට හරවා ගැනීමක්. යම් හෙයකින් ඉදිරියේදී ඉංග‍්‍රීසියෙන් පමණක් වැඩ කරන සමාජයක් බිහි වුනෙත් ඒ අය විසින් සිංහල කියන ජාතිය රකින්නෙ නෑ. සැළලිහිනියේ කවියක්, ගුත්තිලයේ කවියක් කියවල එහි රස මිහිර තනිව විදගන්න බැරි කෙනෙක් නම් ඔහු මේ සිංහල ජාතියෙ උපදින්නත් එපා. එහෙම අය මේ රටේ ඉන්න ඕනත් නෑ කියලා තමයි මගේ පුද්ගලික විශ්වාසය වෙලා තිබෙන්නෙ. ඒ හින්ද දැන්වත් මව් බසට ප‍්‍රමුඛතාවය දිය යුතුයි කියන මතවාදයක් වහ වහා සමාජය තුළ ඇති කල යුතුයි.

 ප‍්‍රශ්නය – වත්මන් ජනමාධ්‍ය හරහා එවැනි මතවාදයක් සමාජ ගත වෙනවද?

 පිළිතුර – ජනමාධ්‍ය කියන්නෙ අද දවසේ වැඩියෙන්ම ජනසමාජයට බලපෑම් කල හැකි තැනක්. නමුත් අද විද්්‍යුත් මාධ්‍ය ඇතුලෙ වටිනාකම් තිබෙන්නෙ මුඛරිකමට පමණයි. අඩුම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක් නිවේදක නිවේදිකාවන් බවට පත්වෙලා ඉන්නවා. පුවත්පත ගත්තොත් එතන නිර්මාණශීලී මිනිස්සු ඉන්න ඕන. එහෙම පිරිසක් වෙන්න නම් ඔවුන් භාෂාව ප‍්‍රගුන කළයුතුයි.

 දැනට වසර 50 ට පමණ පෙර භාෂාව මොකක්ද කියල ඉගෙන ගන්න නම් ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති අහන්න කිව්වා. ලේඛන ශෛලිය ඉගෙන ගන්න කෙනෙක් නම් පුවත්පත් කතු වැකි කියවන්න කියලා ඒ කාලේ හිටිය ප‍්‍රවීණයන් උපදෙස් දුන්නා.

 එදා තිබුණේ එහෙම තත්ත්වයක්. අද විද්්‍යුත් මුද්‍රිත මාධ්‍ය දෙකේම එහෙම යහපත් තත්ත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් ඇතුලෙ ජනමාධ්‍ය හරහා භාෂාව නගා සිටවීම පිණිස සැලකිය යුතු දායකත්වයක් ලැබෙයි කියලා විශ්වාසයක් තබා ගන්න බැරි තත්ත්වයක් තමයි අද දවසේ දක්නට ලැබෙන්නෙ.

 ප‍්‍රශ්නය – මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් මේ කියන සාහිත්‍ය පිරිහීම ඒ තුලත් දකින්නට ලැබෙනවා නේද?

 පිළිතුර – සරත්චන්ද්‍ර යුගය අවසන්. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන. දාර්ශනිකයන් බිහි වෙන්න නම් චින්තනයක් බිහි වෙන්න ඕන. එහෙම චින්තනයක් අද නැහැ. ඒ හින්ද තව දුරටත් වික‍්‍රමසිංහල බිහිවෙන්නේ නෑ. කුමාරතුංග මුණිදාසල බිහිවෙන්නේ නෑ. පරණවිතානල බිහිවෙන්නේ නෑ. විශ්වවිද්‍යාල ගුරුවරයෙක් විදිහට ඒ පිළිබඳව මා තුළ බරපතල විවේචනයක් පවතිනවා. විශ්වවිද්‍යාල ඇතුළෙ පැවතුන සම්භාවය අධ්‍යාපන ක‍්‍රම විනාශ කරල ළමයින්ට ලකුණු හඹාගෙන යෑමේ ක‍්‍රමයක් ඇති කලාට පස්සෙ තමයි මේ කඩා වැටීම සිද්ධ වුණේ. 90 දශකයේ අග භාගයේදී පමණ තමයි මේ ක‍්‍රමය හඳුන්වා දුන්නෙ. ‘පාඨමාලා ඒකක ක‍්‍රමය’ තමයි ඒකට දුන්න නම. අද නාට්‍යයක් බලන්න තරම්වත් කාලයක් තියෙන ළමයි සරසවිය ඇතුළෙ නෑ. මාස තුනෙන් තුනට විභාග පවත්වනවා. එතනදී සරසවි ශිෂ්‍යා පමණක් නොවෙයි ගුරුවරුන් පවා යාන්ත‍්‍රිකයි.

 ප‍්‍රශ්නය – සාහිත්‍යයේ උන්නතිය පිණිස පවත්වන සම්මාන උත්සව ආදිය හරහා රට තුළ යම් සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇති කිරීමට දරණ උත්සාහය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස.

 පිළිතුර – අපි මෙතනදී නවකතාව කියන සාහිත්‍ය ශානරය ගමු. අදත් අපි කතා කරන්නෙ දැනට වසර හැට ගානකට එපිට රචනා වූ විරාගය ගැන. එහෙම නැත්නම් ගම් පෙරළිය ගැන. ඒ ඇයි. එම කෘතීන් ගත්තොත් පිටුවෙන් පිටුව රසවත්. මාර්ටින් වික‍්‍රමසිංහ තමන්ගෙ නවකතාවක් පිටු 200 ට වඩා එහාට අරන්ගියේ නෑ. අද නව කතාවක් පිටු හය හත්සීයක් තිබෙනවා. නවකතාවක තිබිය යුතු පර්යේෂණාත්මක හැඩය අද නවකතාව ඇතුලෙ නෑ. ඒ හින්දම වෙන්න ඇති ගිය අවුරුද්දෙ සම්මානයට පාත‍්‍ර වන හොඳම නව කතාව මේ අවුරුද්ද වෙද්දි පාඨක මනසින් ගිලිහිල යන්නෙ. මේකෙ තවත් පැත්තක් තිබෙනවා. මේ කියන සම්මාන පොරය අස්සෙන් මතුවෙන තරමක් දුරට හෝ සාර්ථක කෘතියක් කියමු. ඒ පිළිබඳ කතා බහ කරන්න සංවාද මණ්ඩපයක් නෑ. එවැනි තත්ත්වයක් සාමාන්‍ය සමාජයේ මෙන්ම පාසල් පද්ධතිය තුළවත් දකින්නට නැහැ. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මාධ්‍ය හරහා ඒ සඳහා ඉඩක් නිර්මාණය නොවීම. අනික් කාරණය තමයි විචාර මුල ධර්මවලින් පොහොසත් විචාරකයන් අද දවසේ දකින්න නොලැබීම. එහෙම අය ඉන්නවා නම් ඒ අය කරන්නෙ නිර්මාණකරුව ව අල්ලලා පොළොවෙ ගහන එක පමණයි.

 ප‍්‍රශ්නය – ඔබ වහන්සේ පවසා සිටින ‘අ`දුරින්’මිදීම පිණිස ගතයුතු ක‍්‍රියා මාර්ග මොනවාද?

 පිළිතුර – මේ සඳහා විප්ලවීය සමාජ වෙනසක් අවශ්‍යයි. පරගැති මානසිකත්වයෙන් මිදුන පාලනයක් දැන්වත් අවශ්‍ය වෙනවා. එහෙම ආරම්භයක් හරහා පමණයි රටක් ලෙස අපට අ`දුරින් එළියට එන්න පුළුවන් වෙන්නෙ. එතනදී සාහිත්‍යයට ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද සාහිත්‍ය කියන්නෙ ජීවිතාවබෝධයට. එතනදී චමත්කාරය හා ප‍්‍රඥාව ලැබෙනවා.

 මානව විශේෂඥයන් කියන දෙයක් තමයි මිනිසුන්ගේ පෞරුෂය දියුණු වෙන්න නම් මොළය සහ හදවත කියන මිනිස් අවයව දෙකම දියුණු විය යුතුයි කියලා. අද පරම්පරාව ගත්තොත් හදවත දියුණු නෑ. හේතුව තමයි ඔවුන්ගෙන් සාහිත්‍ය ඈත් කර තැබීම. ඒ අය අද වැඩිපුරම කාලය වෙන් කරන්නෙ ස්මාර්ට් දුරකථනයට. ඒක ඇතුලෙ සෞන්දර්ය නෑ. ලාලිත්‍ය නෑ. ඒ හින්ද යන්ත‍්‍රානුසාරයෙන් හිතන පතන සමාජයක් පමණයි අද දකින්නට ලැබෙන්නෙ. එහෙම සමාජයක් මාරාන්තිකයි. පරාජිතයි. ඒ හරහා බිහි වෙන්නෙ යක්‍ෂයන් පමණයි.

සාකච්ඡා කළේ –  රුවන් ජයවර්ධන

advertistmentadvertistment