සත් ක්‍රියාවක් ලෙස යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වාට්ටුවේදී ඇස්වල සුද ඉවත් කොට නොමිලයේ කාච දැමීමේ සැත්කම් (cataract surgery) කඩාකප්පල් කිරීමට වෛද්‍ය සංගම්වලට රිංගා ගත් වෛද්‍යවරුන් කීප දෙනකු මේ දිනවල ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටිති.

වසර ගණනාවක සිට යාපනය ශීක්ෂණ රෝහල වෙතින් මෙම සමාජ සත්කාර වැඩසටහන සිදු කෙරෙන අතර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අක්ෂි රෝගීන් 30000 කට වඩා වැඩි පිරිසක් නොමිලයේ අක්ෂි කාච දමා ගෙන ඔවුන්ගේ අක්ෂි දෝෂ ඉවත් කරගෙන තිබේ.

උතුරේ අක්ෂි රෝගීන්ට පමණක් නොව උතුරු මද පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේද වයඹ පළාතේද අක්ෂි රෝගීන් යාපනයට පැමිණ මෙම නොමිලයේ සිදු කෙරෙන සේවාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනු ලබයි.

මේ නිසා දකුණේ රෝහල්වල වෛද්‍යවරු විසින් රුපියල් ලක්ෂ ගණනක් අයකොට සිදු කරනු ලබන අක්ෂි සැත්කම් ප්‍රමාණය අඩු වීමත් රෝගීන් යාපනය ශික්ෂණ රෝහලටම යෑමත් නිසා විශාල ආදායමක් අහිමි වී සිටින වෛද්‍යවරු දකුණේ වෛද්‍ය සංගම්වල සහය ලබා ගෙන යාපනය ශික්ෂණ රෝහලේදී නොමිලේ සිදු කෙරෙන අක්ෂි සැත්කම් නවතා දැමීමට පසුගිය සතිය මුළුල්ලේම ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කොට තිබේ.

දකුණේ සිංහල ජනතාව අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලටම යන්නේ මන්දැයි? ප්‍රශ්න කරන එම වෛද්‍ය සංගම් නියෝජිතයෝ යාපනය ශික්ෂණ රෝහලෙන් ද ඒ බව ප්‍රශ්න කොට තිබේ.

මේ තත්ත්වය උග්‍ර ජාතිවාදී ස්වරූපයකින් දකින දකුණේ වෛද්‍ය සංගම් ඒ බව සෘජුවම කියා සිටීමට නොහැකි නිසා යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කෙරෙන අක්ෂි ශල්‍යකර්මයන් නිසි ප්‍රමිතියට නොමැති බවත් යොදනු ලබන අක්ෂි කාච ඉතා බාල වර්ගයේ කාච බවටත් අසත්‍ය ආරංචි පතුරවමින් සිටියි.

නමුත් යාපනය ශික්ෂණ රෝහලේදී යොදනු ලබන්නේ ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් අක්ෂි කාච බවත් එම කාච ජාත්‍යන්තර වෛද්‍ය මණ්ඩලවලින් පවා අනුමත කොට ඇති බවත් මේ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණය වුණි.

යාපනය ශික්ෂණ රෝහල තුළදී ජාතිවාදය ඉස්මතු වන අවස්ථා කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර අක්ෂිකාච බද්ධ කිරීමේ සැත්කම් සිදු කරනු ලබන්නේ හුදෙක්ම සත් ක්‍රියාවක් වශයෙන් බවත් වසර කීපයක සිට සිදු කෙරෙන මෙම සැත්කම් දෙස බලන විට පෙනී ගොස් තිබේ.

යාපනයේ ඇස් රෝහල අන්ධ කරන්න හදන මිනිස්සු

යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කෙරෙන මෙම අක්ෂි ශල්‍ය කර්ම සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් හා වෙනත් ආයතනවලින් පුහුණුව ලැබූ යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසකගේ ද සහය ලැබෙන නිසා රෝහල තුළ කිසිදු අධීක්ෂණයකින් හා ප්‍රමිතියකින් තොරව ශල්‍යකර්ම සිදු කෙරෙන බවට කිසිවකුටත් චෝදනා කළ නොහැකි බව රෝහල් ප්‍රකාශකයෝ වැඩිදුරටත් කියා සිටියහ.

එමෙන්ම යාපනයේ සිට යුරෝපා රටවලට ගොස් සිටින ඉතා ඉහළ මට්ටමේ රැකියා කරන පිරිස් යාපනය ශික්ෂණ රෝහලට අවශ්‍ය රුපියල් කෝටි ගණන් වටිනා වෛද්‍ය උපකරණ නිරන්තරයෙන්ම පරිත්‍යාග කරන අතර කොරෝනා සමයේදී මෙම රෝහලේ භාවිතයට ගන්නා ලද්දේ එවැනි පරිත්‍යාගවලින් ලද උපකරණ හා ඖෂධ වර්ගයි.

අක්ෂි වාට්ටුවේ පමණක් නොව හෘද රෝග වාට්ටුවේදී ද රෝගීන්ට වෙනත් රෝහල්වලින් මුදල් අයකොට යොදනු ලබන ස්ටෙන්ට්ස් (Stents) යාපනය ශික්ෂණ රෝහලේදී යොදනු ලබන්නේ නොමිලයේය.

මේ නිසා යාපනය ශික්ෂණ රෝහලේ හෘද රෝග වාට්ටුව පිරී ඇත්තේ උතුරේ දෙමළ රෝගීන්ගෙන් නොව දකුණේ වෙන්නප්පුව, කුලියාපිටිය, හලාවත, පුත්තලම, මීගමුව, අනුරාධපුරය, කෑගල්ල වැනි ඉතා දුරබැහැර පළාත්වල රෝගීන්ගෙනි.

මේ තත්ත්වය පිළිබඳව ජාතිවාදී ස්වරූපයක් ගෙනහැර නොදැක්වීමට වග බලා ගන්නා කොළඹ වෛද්‍ය සංගම් අක්ෂි වාට්ටුවට පමණක් ලෙඩ අදින්නට පටන් ගෙන ඇත්තේ හෘද සැත්කම් හා ඒ හා සමාන හෘදය ප්‍රතිකාර රුපියල් ලක්ෂයකින් දෙකකින් ජනතාවට කර ගැනීමට නොහැකි නිසා අසරණ රෝගීන් පොරොත්තු ලේඛනයේම රැඳී සිටීම නිසාය.

නමුත් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම රුපියල් ලක්ෂ දෙකක් වැනි මුදලකට සිදු කර ගැනීමට හැකි නිසා වෛද්‍ය සංගම් දකුණේ වෛද්‍යවරුන් තෘප්තිමත් කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේදී නොමිලයේ සිදු කෙරෙන අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් කෙසේ හෝ නවතා දැමීමට උත්සහ දරමින් සිටිති.

වෙසක් පොසොන් වැනි බෞද්ධ ආගමික දිනයන්හිදී මෙන්ම මහා ශිව රාත්‍රී ඇතුළු අනෙකුත් ආගමික කාලවලදී යාපනය ශික්ෂණ රෝහලේදී ඇස්වල සුද ඉවත් කොට නොමිලේ කාච දැමීමක් සිදු වන අතර පසුගිය සතියේ එවැනි වැඩපිළිවෙළක් කඩාකප්පල් කිරීම නිසා දකුණේ සිංහල අක්ෂි රෝගීන් විශාල පිරිසකට හිස් අතින් ආපසු යෑමට සිදුවන සේ කඩාකප්පල්කාරීන් විසින් යාපනය ීශික්ෂණ රෝහල තුළ පරිසරය සකස් කොට තිබුණි.

මේ කාරණය සම්බන්ධයෙන් ජනධිපතිවරයාගේත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේත් සෞඛ්‍ය ලේකම්වරයාගේත් අවධානය යොමු වී අහිංසක ගොවි හා කම්කරු ජනතාවට යාපනය ශික්ෂණ රෝහලෙන් නොමිලේ ලැබෙන පහසුකම් ඒ ආකාරයටම භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙන ලෙස අක්ෂි රෝගීන් ඉල්ලා සිටිති.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment