යාපනයේ ස්වාධීන අපේක්‍ෂකයාගේ නිවසට මැර ප්‍රහාරයක්

29

එල්ලකළ යකඩ පොලු පහරින් අපේක්‍ෂකයාගේ පියා රෝහලේ

යාපනය දිස්ත්‍රික්කයට මෙවර ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන පුවනේස්වරන් වසන්තරාජා මහතාගේ යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ පිහිටි නිවසට පෙරේදා (12 දා) රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පුවනේස්වරන් වසන්තරාජා නමැති මෙම අපේක්ෂකයා යාපනය දිස්ත්‍රික්කයට අඹ ගෙඩිය සලකුණෙන් තරග කරනු ලබන්නේ ස්වාධීන කණ්ඩායමකිනි. යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඔහුහේ නිවසට බලහත්කාරයෙන් ඇතුලු වී එල්ලකළ ප්‍රහාරයෙන් අපේක්‍ෂකයාගේ පියා තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. නිවසට පහරදීමට යකඩ පොලු හා දඬු මුගුරු රැගෙන ආ පිරිස යකඩ පොල්ලකින් පහරදීම නිසා අපේක්ෂකයාගේ පියා බරපතළ ලෙස තුවාල ලබා ඇත. ප්‍රහාරකයන් නිවසේ භාණ්ඩ හා දොර ජනෙල්වලට පහරදී දැඩි අලාභහානි සිදුකොට ඇත. අපේක්‍ෂකයාට අයත් මෝටර් රථයකටද මෙම ප්‍රහාරයෙන් හානි සිදුව තිබේ.

පැමිණි පිරිස අපේක්ෂකයා කොහේදැයි විමසමින් මුලු නිවස පුරාම ඔහුව සොයා ඇතත් ප්‍රහාරකයන් පැමිණෙනු දැක ඔහු නිවසින් පලාගොස් සැඟව සිටීම නිසා ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැත. යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment