යාපනය රෝහලේදී බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරයි

472

දරුවා රෝහලේ දමා මව පලායයි

යාපනය ශික්ෂණ රෝහලේදී දරුවකු ප්‍රසූත කළ පහළොස් හැවිරිදි ළමා මවක් ප්‍රසූත කළ දරුවා රෝහලේම දමා පලා ගොස් තිබේ.

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ පදිංචි බවට ලිපිනයක් ලබා දී ඇති මෙම පහළොස් හැවිරිදි ගැබිනි දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත්තේ සිය මවද සමගය. ගැබිනි දැරියට පිරිමි දරුවකු ලැබෙන තුරු මවද එම දියණිය සමග රෝහලේම සිට ඇත.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව ඇය අඩු වයස් ගැබිනි මවක් වීමත් ඇය ළමා වයසේ පසු වන්නියක් නිසාත් පොලිසියට ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ.

ඊට කැමැත්ත පළ කළ එම ළමා මව වැසිකිළි ගොස් විනාඩි කීපයකින් අදාළ ස්ථානයට පැමිණෙන බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතත් ඇය පැමිණ නැත.

පසුව මේ ගැන විපරම් කොට බැලීමේදී අලුත උපන් දරුවා ඇඳ මත තබා ළමා මවත් ඇගේ මවත් රෝහලෙන් පලා ගොස් ඇති බව තහවුරු වී තිබේ.

වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. රෝහලට ඇතුළත් වීමේදී ඇය විසින් ලබා දී ඇති සෑම තොරතුරක්ම ව්‍යාජ තොරතුරු බවට පොලිසියට ඒත්තු ගැන් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලිසියත් යාපනය පොලිසියත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment