යාපනය හිරගෙදරදී රෝහණ විජේවීරට සෙල්ලයියාගෙන් රතු මලක්…

353

කලක් රටේ නමගිය අපරාධකරුවකු වූ රාජ් සෙල්ලයියා අවස්ථා හතරකදී සිර ගෙදරින් පැනගිය දරුණුගනයේ සිරකරුවකු ලෙස ද බන්ධනාගාර පොත පතෙහි නම සඳහන් පුද්ගලයෙක්ය. දශක කිහිපයකට පෙර ‘‘ සිර ගෙදර’’ දී ඔහු විසින් සිදුකළ දඩබ්බරකම් පිළිබඳ ලිපි මාලාවක් 2016 වසර ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි’ පළ විය.

සිරගෙදරින් නිදහස් වන සෙල්ලයියා නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසෙන අතර හේ දැනට දිවි ගෙවන්නේ වැලිකඩ බන්ධනාගාරයට අත පොවන මානයේ පිහිටි දැවැන්ත මාර ගස යටය. බන්ධනාගාර සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ එහි පවත්වාගෙන යන කුඩා කඩයක හිමිකරුවකු වන සෙල්ලයියා ඉකුත් දිනක නැවතත් ‘දිවයින’ ට මුණ ගැසුණු අතර එහිදී ඔහුත් සමග සිදු කළ කතාබහ අතරතුර ඔහු විසින් ‘අතීත මතක’ කිහිපයක් නැවතත් සිහිපත් කරන ලදී.

පහත පළවන්නේ ඉන් එක් සිද්ධියක්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරව යාපනය බන්ධනාගාරයේදී සෙල්ලයියාට මුණගැසුණු ආකාරයත් ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර සමීප ඇසුරුක් ඇතිවූ ආකාරයත් පිළිබඳවය.

‘‘මේ සිද්ධිය වෙන්නේ 1972 වර්ෂයේ එක්තරා දවසක. මට හරියටම දවස මතක නෑ. ඒ වෙද්දී මාව රඳවල තිබුණේ යාපනය බන්ධනාගාරයේ විශේෂ සිරි මැදිරියක. ඒක විශේෂ ගණයේ අපරාධකරුවන් වසා තබන වෙනම වාට්ටුවක්. මා ඇතුළු තවත් දරණු අපරාධකාරයන් කීප දෙනෙක්ම ඒ වාට්ටුවේ හිටියා. චීනා, ගම්පහ මුණිදාස, මරු සිරාගේ නඩුවේ ලයනල්, ගෝනවල සුනිල්ගේ අයිය ෂෙල්ටන්, ගාල්ලේ සමනලයා, ඔය වගේ දරුණුම ගණයේ අපරාධකාරයෝ පිරිසක් තමයි මගෙත් එක්ක ඒ වෙද්දී හිටියේ.

‘සෙල්ලයියා’ කිව්වම මාව නොදන්න කෙනෙක් ඒ කාලේ නෑ. ලකාවේ හැම බන්ධනාගාරයකම ඉන්න හිරකාරයෝ, නිලධාරි මහත්වරු ඇතුළු ඕනෑම කෙනෙක් මාව දන්නවා. ඒකට හේතුව තමයි මම කීප අවස්ථාවකම හිරෙන් පැන්න එක. ඒ හින්දා වැඩි දවසක් මාව එකතැන තියාගන්නෙ නෑ. කාලයක් මහර හිටියොත් තව මාස දෙක තුනකින් බෝගම්බරට යවනවා. එතනින් තව තැනකට. ඔහොම තමයි මගේ සිරගත ජීවිතය ගත වුණේ. එහෙම එක වතාවක් හිරෙන් පැනලා නැවත අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මට මේ කියන සිද්ධිය වෙන්නේ. යාපනයේ බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක අපි කීප දෙනෙක්ම වහල තියෙද්දී තමයි මේ සිද්ධිය වෙන්නේ. දවසක් බන්ධනාගාර ප‍්‍රධාන ජේලර් මහත්තයයි තවත් නිලධාරීන් කීප දෙනෙකුයි එක්ක විශේෂ සිරකරුවෙකුව අපි ඉන්න වාට්ටුවට අරන් ආවා. අලූතින් කෙනෙක් ගෙනාවට පස්සේ පරණ හිරකායන්ගේ පුරුද්දක් තමයි ඒ ආව කෙනා කවුද? නඩුව මොකක්ද? මොකක්ද අච්චුව කියන එක ගැන හොයල බලන එක. එදත් එහෙමයි. අපි හොයල බලනකොට දැනගන්න ලැබුණා ඒ ගෙනත් තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරව කියලා. විජේවීර මහත්තයාව එදා යාපනයට ගෙනත් තිබුණේ හැමන් හිල් සිරකඳවුරේ ඉඳලා. යාපනයට ගෙනාවට පස්සේ දරුණු ගණයේ අපරාධකරුවන්ගේ ලැයිස්තුව යටතේ විජේවීර මහත්තයාවත් යාපනයේ විශේෂ සිරමැදිරියක රඳවල තිබුණේ…’

එකල දරුණු ගණයේ අපරාධකරුවන් අතර නම් දරා සිටි චරිතයක් වන සෙල්ලයියා අදින් වසර 50 ට එපිට මතකයක් නැවත ආවර්ජනය කරන්නට වූවේ ඒ ආකාරයෙන්ය. නම් දරාපු අපරාධකරුවන් පිරිසක් අතරට හදිසියේම රෝහණ විජේවීරව රැගෙන ආ අයුරුත් එම අපරාධකරුවන් විසින් රෝහණ විජේවීරව හඳුනාගන්නා ආකාරයත් පිළිබඳ විස්තරයක් සිදුකළ ‘සෙල්ලයියා’ ඉන් අනතුරුව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහ බන්ධනාගාර සිරකරුවන් වූ සෙල්ලයියා ඇතුළු පිරිස අතර ගොඩනැංවුන මිත‍්‍රත්වය පිළිබඳවය.

ටික දවසක් ගතවෙද්දී විජේවීර මහත්තයා අපේ හොඳ මිතුරෙක් බවට පත්වෙනවා. පොඩි ඉඩක් ලැබුණ ගමන් අපි එයා ළඟට යනවා. අපි ආතක් පාතක් තිබුණු පිරිසක් නොවෙයි. ඒත් එතුමාගේ කතා අහන්න අපි හරි කැමතියි. ඒ ඇසුරත් එක්ක අපි නොදන්න බොහෝ දේවල් දැනගත්තා. විහිළු තහළුවෙන් තමයි නිතරම කාලය ගත කළේ. ඒ වගේම තමයි එතුමාගේ අත්අකුරු පුදුමාකාර ලස්සනක් තිබුණා.

යාපනය හිරගෙදරදී රෝහණ විජේවීරට සෙල්ලයියාගෙන් රතු මලක්…

ඔහොම ඉන්න අතරේ 1972 වසරේ මැද හරියේ දවසක් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අපිව රඳවලා තිබුණ වාට්ටුවට ආවා. ඒ ආවේ රෝහණ විජේවීර මහත්තයව ආපසු මැගසින් බන්ධනාගාරයට අරන් යන්න. එදා අපි හැමෝටම ලොකු දුකක් දැනුණ දවසක්.

විජේවීර මහත්තයව බලන්න ආව කෙනෙක් ගෙනත් දුන්න ඇඳුමක් තමයි එදා යාපනය හිරගෙදරින් එද්දී විජේවීර මහත්තයා ඇඳගෙන හිටියේ. ඒක අළු පාට කර වහපු කෝට් එකක් සහ කලිසමක්. චීනයේ හිටපු නායක මා ඕ සේතුං අඳින ඇඳුමට සමාන එකක් කිව්වොත් නිවරදියි. එතකොටත් විජේවීර මහත්තයා හිටියේ කොණ්ඬේ රැවුල වවාගෙන. අර ඇඳුම එහෙම ඇඳගෙන අපි ළඟට ඇවිත් අතට අත දීලා නැවත හමුවෙමු කියලා එයා පිටත් වෙන්න හදද්දී මම එතුමාගේ ඇඳුම දිහා හොඳට බැලූවා.

ඒ වෙලාවේ මට මොකක්දෝ අඩුපාඩුවක් පේන්න ගත්තා. මම ෆොටෝවල දැකල තිබුණ විදිහට විප්ලවවාදී නායකයන්ගේ ඇඳුම්වල රතු පාට ලාංඡුනයක් තියෙනවා. නමුත් විජේවීර මහත්තයාගේ ඇඳුමේ එහෙම එකක් නෑ. ඒක තමයි මම අඩුපාඩුවක් විදිහට දැකල තිබුණේ. ඔහුත් විප්ලවවාදී නායකයෙක් නිසා එහෙම සලකුණක් එතුමාටත් තිබුණොත් හොඳයි කියල මට හිතුණා.

මම පැනගිය සිරකරුවෙක් හින්ද මගේ සිර ඇඳුමේ ඉදිරිපසයි පිටුපසයි දෙපැත්තෙම රතුපාට රෙද්දෙන් රවුම් දෙකක් සටහන් කරලයි තිබුණේ. ඒ ඇඳුම ඇන්දට පස්සේ හිරගෙදර කවුරුත් දන්නව ඒ ඇඳුම ඇඳගෙන ඉන්නෙ හිරෙන් පැනල ගිය සිරකරුවෙක් කියල. ඒ කාලේ හිරේ හිටියත් හිතුන හිතුන දේ කරන්න පුළුවන් දඩබ්බර කමක් අපට තිබුණා. බයක් කියන දෙයක් ගෑවිලවත් තිබුණේ නෑ. ඒ පාර මම මොකද කරන්නේ මගේ ඇඳුමේ තිබුණ රතුපාට රෙදි කෑල්ල ඉරල අරගෙන ‘චීනට’ දෙනව. දීල කියනව මට ඉක්මනට රතු රෝස මලක් හදල දෙන්න කියලා. ඒ වගේ ඩෙකරේෂන් වැඩවලට චීන දක්‍ෂයා. විනාඩි පහක් ගියේ නෑ චීනා ලස්සන පුංචි රෝස මලක් හදල දෙනවා. දැන් මේක විජේවීර මහත්තයගේ කෝට් එකේ පළඳන්න ක‍්‍රමයක් නෑ. ඒකට කටුවක් අවශ්‍ය වෙනවා. ඒ පාර මොකද කරන්නේ ටිකක් කල්පනා කරලා බැලූවා. නිලධාරි මහත්වරුන්ගේ උරහිසේ බන්ධනාගාර ලාංඡුනය සහිත පළඳනාවක් තියෙනවනේ. ඒයින් එකක් ගලව ගත්තනම් අපේ වැඬේ සාර්ථක වෙනවා. ඒ පාර බලෙන් වගේ බැජ් එකක් ගලව ගත්තා. ඒ අරන් කටුව ගලවගෙන විජේවීර මහත්තයගේ කෝට් එකේ අර රෝස මල ගැහුවා. බලන්න ලස්සනයි.

ඊට පස්සෙ තමයි විජේවීර මහත්තයව යාපනය හිර ගෙදරින් අරන් ආවේ. මම දිගින් දිගට ම අච්චු වින්ද හින්ද ඊට පස්සෙ එතුමව
මුණගැහෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් එතුමව මරල දාල කියලා ආරංචිය ආපු දවසෙ ලොකු දුකක්, කනගාටුවක් දැනෙන්න ගත්තා. මම අදත් කියනව එයා තවදුරටත් ජීවත්විය යුතු මිනිසෙක් කියලා.

කලක් නමගිය අපරාධකරුවකු වූ සෙල්ලයියා මේ වනවිට 85 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක්ය. අතීතය පිළිබඳ බෙහෙවින් කම්පාවන ඔහු මේ වනවිට දැහැමි ජීවිතයක් ගත කරන අතර ඔහුගේ තනි නොතනිය පිණිස ‘හිර ගෙදර මතක’ තවමත් තනි රකිනවා වැනිය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment