යාපනේ සිංහල විදුහල දැන් හමුදා කදවුරක්

187

උතුරුකරේ පියසටහන්…

වලිකාමම්, තෙන්නමරච්චි හා වඩමාරච්චි යන ප‍්‍රධන භූමි කොටස් 03න් සමන්විත යාපනය අරධද්වීපය පුරා ම සැරිසැරීම මගේ මෙවර යාපනය සංචාරයේ ඉලක්කය විය.

ඉතා දුෂ්කර ඉලක්කයක් වුව ද එය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වීම මා ලැබූ විශාල ජයග‍්‍රහණයකි. ඒ සඳහා යුද හමුදාවෙන් හා නාවික හමුදාවෙන් ලැබුණ සහයෝගය අති විශාලය. යාපනයේ දින 26ක් ගතකරමින් මා යාපනය අර්ධද්වීපය පුරා යමින් කළ සංචාරයේ අත්දැකීම් ලිපියකින් දෙකකින් කිව නොහැකි ය. යාපනය නගරය ප‍්‍රමුඛ වලිකාමම් ප‍්‍රදේශයේ තොරතුරු රැසක් කීමට ඇත. තෙන්නමරච්චි හා වඩමාරච්චි ප‍්‍රදේශවල ද බොහෝ වැදගත් තොරතුරු රැසකි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඊනියා ඊළාම් සිහින රාජ්‍යයේ අගනගරය ලෙස පවත්වා ගෙන ගිය යාපනය නගරය 1995 වසරේ දෙසැම්බර් 05 වැනිදා අහිමිවී ගිය පසු අද වනවිට ශීඝ‍්‍ර සංවර්ධනයකට ලක්වී ජනාකීර්ණව පවතී. ඊට සාපේක්ෂව බලනවිට යාපනයේ සිට කන්කසන්තුරය දක්වා වලිකාමම් කොටස ද විශාල දියුණුවක් ලබා ඇත. පලාලි අධි ආරක්ෂිත කලාපයට පමණක් සීමා වී පලාලි යාපනය මාර්ගයේ වාස්විලාන් දක්වා පමණක් හමුදා පාලනය යටතේ පැවැතිය දී යාපනය නගරය අයත් වලිකාමම් කොටස ඇතුළු තෙන්නමරච්චි හා වඩමාරච්චි භූමි කොටස් ද හමුදා පාලනය යටතට ගත්තේ ‘‘රිවිරැස” 1,2,3 ක‍්‍රියාන්විත මගිනි. ඉන් ‘‘රිවිරැස 1” ක‍්‍රියාන්විතය ආරම්භ වූයේ 1995 ඔක්තෝබර් 17 වැනි දින පලාලි යාපනය මාර්ගයේ වසාවිලාන් ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ඉදිරි ගමන් අරඹමිනි.

මේජර් ජෙනරාල් නීල් ඩයස්ගේ 51 වන සේනාංකය, මේජර් ජෙනරාල් පී.ඒ කරුණාතිලකගේ 52 වන සේනාංකය හා මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ 53 වන සේනාංකය සහභාගිත්වයෙන් ආරම්භවූ ‘‘රිවිරැස 1” ක‍්‍රියාන්විතය කොටි ත‍්‍රස්තවාදීන් සමග සිදුකළ දරුණු සටන්වලින් පසුව යාපනය නගරය දක්වා බලය තහවුරු කරගන්නා ලදී. යාපනය නගරයේ බලය අත්කර ගත්තේ මේජර් ජෙනරාල් ජානක පෙරේරාගේ 53 වන සේනාංකය විසිනි. එවක ගජබා රෙජිමේන්තුවේ මේජර්වරුන් ලෙස සිටි වත්මන් ජෙනරාල් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දෙදෙනා ද මෙම ‘‘රිවිස 1” ක‍්‍රියාන්විතයේදී බළඇණි අණදෙන නිලධාරීන් ලෙස සහභාගි වූහ.

යාපනේ සිංහල විදුහල දැන් හමුදා කදවුරක්

1995 දෙසැම්බර් 05 වැනිදා යාපනය නගරයේ ජාතික කොඩිය ඔසවා රජයේ පාලනයට නතුවීම තහවුරු කළ පසු යුද හමුදාවේ ප‍්‍රමුඛ ආරක්ෂාව යටතේ ආරම්භ වූ යාපනය නගරය ප‍්‍රමුඛ වලිකාමම් කොටසේ ආරක්ෂාව, සමාජ සුබ සාධනය, සංවර්ධනය උදෙසා අදත් යුද හමුදාව විශාල මෙහෙයක් ඉටු කරයි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති යටතේ 51 වන සේනාංකාධිපතිගේ අණ දීම හා මෙහෙය වීම මත එම කටයුතු සිදුකෙරේ.

හමුදා රණවිරුවන් 408 දෙනකු දිවිපුදා 2906 දෙනෙකු තුවාල ලබා ‘‘රිවිරැස 1” ක‍්‍රියාන්විතය මගින් මුදාගත් වලිකාමම් කොටසේ මා කළ දින 03ක සංචාරයේදී මා මුලින්ම ගියේ බි‍්‍රගේඩියර් සුරේෂ් කුරේ බළසේනාධිපති (Brigade Commander) ධුරය හොබවන 512 වන බළසේනා මූලස්ථාන ප‍්‍රදේශයට යි. යාපනය නගරය ඇතුළු තදාසන්න ප‍්‍රදේශය ඊට අයත් වේ.

1983 ජූලි කලබල ඇරැඹී යාපනයේ සිටි සිංහල ජාතිකයන් යාපනයෙන් පන්නා දමන තුරු යාපනය නගරයේ තිබූ සිංහල මධ්‍ය මහා විද්‍යාලය පිහිටා තිබූ ස්ථානයේ අද 512 වන බළසේනා මූලස්ථාන කඳවුර තිබේ. මෙම මාධ්‍ය ආවරණ සංචාරයේදී වලිකාමම් ප‍්‍රදේශය පුරා මා සමග ගිය කපිතාන් එච්.ඒ.කේ දසනායක මට විශාල සහයෝගයක් දැක්වීය. 17 වන ගැමුණු හේවා බළඇණියේ ‘සී’ කණ්ඩායමේ නිලධාරි අණදෙන්නා වන ඔහු සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් මාහට ලබා දුන්නේය. විසිවන සියවසේ ආරම්භයේ සිට දශක 02ක් ගතවන තෙක් යාපනයේ ජීවත්වූ සිංහල දරුවන්ට තම මවු බසින් අධ්‍යාපනය ලබා ගැනීමට තැනක් නොවීය. ඔවුහු දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය පාසල්වලින් උගත්හ. 1930 වනවිට රජයේ සේවකයන් හා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් යාපනය හා අවට ගම්වල පදිචිව සිටිය හ. ඔවුන් එක්වී යාපනයේ තරුණ බෞද්ධ සංගමයක් පිහිටුවා ගෙන රජයට කරුණු දක්වා 1932 දී සිංහල විද්‍යාලයක් පිහිටුවා ගෙන ඇත.

යාපනේ සිංහල විදුහල දැන් හමුදා කදවුරක්

යාපනය රෝහල පාරේ අක්කර භාගයක පමණ ඉඩමක කුඩා ගොඩනැඟිල්ලක විදුහල පටන්ගෙන තිබේ. මුලින් ගුරුවරුන් දෙදෙනෙක් පමණක් සිටි අතර, ශිෂ්‍ය සංඛ්‍යාව 17 දෙනෙකි. එච්.පී.එම්.වයි විජේසිංහ මහත්මිය මුල්ම ගුරු තනතුර හෙබවූවා ය. ඇයගේ සැමියා වූ එම්.කේ අමරදාස මහතා විදුහලේ අනෙක් ගුරුවරයා විය. ප‍්‍රාථමික පන්ති පමණක් තිබූ පාසල එදා හැඳින්වූයේ යාපනය රජයේ පෝෂිත සිංහල මිශ‍්‍ර පාඨශාලාව නමිනි.

එය 1938 මැයි 01 වැනි දින සම්පූර්ණයෙන්ම රජයට පවරා ගෙන තිබේ. එවක කෘෂිකර්ම ඇමැතිව සිටි ඞී.එස් සේනානායක මහතා යාපනය සංචාරයකදී සිංහල විද්‍යාලයට පැමිණීමේ ප‍්‍රතිඵලයක් ලෙස විදුහලට ගුරු නිවාස ලැබී ඇත. යාපනය ආණ්ඩුවේ සිංහල මිශ‍්‍ර පාසල නමින් තිබූ විද්‍යාලය 1959 වසරේ යාපනය සිංහල මහා විද්‍යාලය ලෙස උසස් කරන ලදී.

1970 වසර වනවිට විදුහලේ සිසුන් සංඛ්‍යාව 1200ක් පමණවූ අතර, 1971 වසර වනවිට යාපනය දිස්ත‍්‍රික්කයේ සිංහල ජනගහනය 20402කි. 1983 වනවිට එම සංඛ්‍යාව 5648 දක්වා ශීඝ‍්‍රයෙන් අඩුවී තිබුණි. 1978 වසරේදී යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය බවට පත්වී ගුරු මණ්ඩලය 50කට අධික සංඛ්‍යාවක් සිට ඇති විදුහලේ 1981 දී ශිෂ්‍ය භට කණ්ඩායමක් ද සිට ඇත.

1932 වසරේ ඉතා කුඩා පාසලක් ලෙස ආරම්භ වී ඉතා ඉක්මනින් දියුණු වී සිංහල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වූ මෙම පාසල කිසිදු ජාති ආගම්වලින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, ආදී සියලූ ම ජාතීන්ට අයත් දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් පින්බිමක් ලෙස සැලකේ. අද සිංහල දරුවන් එක්කෙනෙක්වත් යාපනයේ පාසල්වල නැතත් දෙමළ දරුවන්ට උදව් කිරීමට යුද හමුදාව නිතර ම ඉදිරිපත් වේ. දරුවන්ට නිලඇඳුම් රෙදි, පාවහන්, පොත්, පාසල් උපකරණ, පා පැදි, ශිෂ්‍යත්ව මුදල් ඇතුළු බොහෝදේ යුද හමුදාව විසින් පිරිනමති. වැඩිහිටියන්ට ද බොහෝ උපකාර කරති. වෛද්‍යාධාර හා ගිලන් රථ සේවා ලබා දීම යුද සමයේ පටන් අදත් යුද හමුදාව විසින් සිදුකරන අතර අසරණ ජනතාවට නිවාස තනා නොමිලේ පරිත්‍යාග කිරීම ද සිදුකෙරේ. යුද්ධය නිසා සැමියා මියගොස් තම දූ දරුවන් සමග තනිවූ මවුවරුන් කීපදෙනකුට තනා දුන් නිවාස කීපයක් බැලීමට ද මට හැකි විය.

යාපනේ සිංහල විදුහල දැන් හමුදා කදවුරක්

කීරමලේ 513 වන බළසේනාධිපති බි‍්‍රගේඩියර් අබ්දුල් මොහොමඞ් ෆාරිස්ගේ බළසේනා ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට සාදා දුන් නිවාස 130කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද තිබේ. එම නිවැසියෝ යුද හමුදාවට ස්තුතිවන්ත වෙමින් අද එම නිවාසවල සතුටින් ජීවත් වෙති. විජයබාහු පාබළ රෙජිමේන්තුවේ දක්ෂ නිලධාරියකුවන බි‍්‍රගේඩියර් ෆාරිස් මුස්ලිම් ජාතිකයකු වුවද කිසිදු ජාති ආගම් භේදයකින් තොරව ශ‍්‍රී ලංකා වාසී සැමට සමානව සේවය කරන නිලධාරියෙකි. කීරමලේ, මානිප්පායි, චුල්ලිපුරම්, මාදගල්, චන්කානි, වඩුක්කොඩෙයි ඇතුළු 513 වන බළසේනාවට අයත් ප‍්‍රදේශවල දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් ලබා දෙමින් බි‍්‍රගේඩියර් ෆාරිස් මහතා රාජකාරිය සාර්ථකව ඉටුකරයි. මේජර් ජෙනරාල් චන්දන වික‍්‍රමසිංහගේ 51 වන සේනාංකයට අයත් තවත් වැදගත් බළසේනාවකි කන්කසන්තුරය 515 වන බළසේනාව. බි‍්‍රගේඩියර් අරුණ විජේකෝන් එහි බළසේනාධිපති ලෙස කටයුතු කරයි. උතුරු දුම්රිය මාර්ගයේ අවසානය කන්කසන්තුරය දුම්රිය ස්ථානය යි. යාපනයේ සිට කි.මී 18ක් දුරින් පිහිටි දුම්රිය ස්ථානාධිපති හා සහකාර දුම්රිය ස්ථානාධිපති ලෙස සිංහල ජාතික නිලධාරීන් දෙදෙනෙක් සේවය කරති. බී.එච්.එල්.එම් පීරිස් මහතා හා ටී.එල්.ආර් සමන්ජිත් මහතා ඔවුන් දෙදෙනා යි.

අච්චුවෙලි 511 වන බළසේනාධිපති බි‍්‍රගේඩියර් ජූඞ් ප‍්‍රනාන්දු යටතේ පවතින ප‍්‍රදේශ කීපයක් කලක් පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පැවැති අතර දැන් ඒවා එහි මුල් පදිංචිකරුවන් වෙත භාරදී ඔවුන් නැවත එහි පදිංචි කරවා ඇත. මෙම ප‍්‍රදේශය පාරම්පරික දේශීය වෙදකම ට ප‍්‍රසිද්ධය. පලාලි, යාපනය මාර්ගයේ ප‍්‍රබල කොටි මර්මස්ථාන ලෙස පැවැති උරුම්පිරායි, මරතනාමඩම්, කෝපායි, තිරුනවේලි ප‍්‍රදේශ අයත් වනුයේ ද මෙම 511වන බළසේනාවට යි. සිවිල් පරිපාලන කටයුතු දිසා ලේකම් ඇතුළු රජයේ නිලධාරීන් ද සිවිල් ආරක්ෂක කටයුතු පොලිස් දෙපාර්තමේන්තුව විසින් ද සාර්ථකව ඉටුකරද්දී යුද හමුදාව ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ජනතා සුබ සාධන ව්‍යාපෘති රැසක නිරතව සිටිති. අසරණ ජනතාවට නොමිලේ නිවාස තනා දීම ඉන් ප‍්‍රධාන ව්‍යාපෘතියකි.

ඒ යටතේ හිටපු ප‍්‍රබල කොටි සටන්කරුවකුට නිවසක් තනා දෙමින් සිටිනා යුරු දැක ගැනීමට හැකි විය. ඒ පලාලි කන්කසන්තුරය මාර්ගයෙන් හැරී මයිලඩි උතුර ප‍්‍රදේශයට ගිය විටදී ය. මා එහි යනවිට හමුදා සෙබළුන් නිවස තනමින් සිටියදී හිටපු කොටි සටන්කරුවා ද ඔවුනට අත් උදව් දෙමින් සිටියේ ය. ආර්. තබෝරූබන් නමැති ඔහුට ඉතා හොඳින් සිංහල කතා කළ හැකි ය.

‘‘මම මේ ගමේ ඉපිද හැදුණ කෙනෙක්. වයස අවුරුදු 28යි. මට අයියයි අක්කයි ඉන්නෙ. තාත්තා හිටපු විදුහල්පතිවරයෙක්. මේ ඉඩම තාත්තා මට දීලා තිබුණ ඉඩමක්. මම ඉගෙන ගත්තට පසු වයරින් වැඩ කළේ. කොළඹත් වැඩ කළා. ඊට පස්සෙ චුන්නාකම් ඇවිත් ඉන්නකොට එල්.ටී.ටී.ඊ. එකෙන් අපිව බලෙන් කිළිනොච්චියට ගෙනිහින් කැලේදී යුද පුහුණුව දුන්නා. එල්.ටී.ටී.ඊ එකෙන් මට දුන්න නම ‘කඩර්’. මුලතිව්වල අන්තිම සටනටත් අපිව දැම්මා. නන්දිකඩාල් කලපුවේදී මට වෙඩි වැදුණා. හමුදාවෙන් මාව වවුනියාවට යවලා සනීප කරලා වවුනියාව සරණාගත කඳවුරකට දැම්මා. එහෙදී පොලිසියෙන් මාව අත්අඩංගුවට අරන් නඩු දාලා හිරේ දැම්මා. අනුරාධපුරය බන්ධනාගාරෙ ඉන්නැද්දි ජනාධිපති සමාව ලැබිලා මම නිදහස් වුණා.

දැන් ගමට ඇවිත් වයරින් වැඩ කරනවා. හමුදාව හුඟාක් උදවු කරනවා. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සර් කලින් රුපියල් ලක්ෂයකුත් දුන්නා. දැන් මේ ගේ හදලා දෙනවා.

මට හුඟාක් අපල තිබුනලූ… දැන් මම දෙවියන්ට බාරයකුත් වුණා. ගේ හදා ගෙන විවාහයකුත් කරගෙන හොඳින් ඉන්නයි මගෙ බලාපොරොත්තුව” තබෝරූබන් මා සමග එසේ පැවැසීය.

යුද්ධය දිනා ගැනීමට අවියෙන් සටන් කළ යුද හමුදාව දැන් සාමාන්‍ය දෙමළ ජනතාව දිනා ගැනීමට අවියෙන් තොරව මනෝමූල සටනක යෙදී සිටිති. යාපනය අර්ධද්වීපයේ මෙය ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. මම එය ඉතා හොඳින් දැක ගතිමි.

ප‍්‍රභාකරන්ගේ උපන් ගමවන වැල්වැටිතුරෙයි ඇතුළු පේදුරුතුඩුව, නෙල්ලිඅඩි හා යාපනයේ සිංහලයන් වෙසෙන එකම ගමවන නාවක්කුලි ප‍්‍රදේශ ගැන මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

(මතු සම්බන්ධයි)

සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment