යාල වනරජදැහැන මැද සිත් සනසන පිංබිම සිතුල්පව්ව  රජමහ විහාරය

249

ආලෝක පූජාව 35වන වරටත් උපාලි සමූහ ව්‍යාපාරයෙන්

 හෙළ දනන්ගේ වන්දනීයත්වයටත් පූජනීයත්වයටත් බුද්ධාලම්භන ප්‍රීතියටත් නිතැතින් යොමුවන සිතුල්පව්ව බිමේ ප්‍රමුඛ පූජනීය නිර්මාණය ලෙසින් මහා සිතුල්පව්ව පර්වතයේ ඉදිකර ඇති තිස් රියන් උසැති ස්ථූපය හඳුන්වා දිය හැකිය. කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරන ලද මුල්ම ස්ථූපය ලෙසින් සැලකෙන්නේ සිතුල්පව්ව පර්වතය මුදුනේ ඇති ප්‍රධාන සෑයයි.

 සුවහසක් බොදු දනන්ගේ මසැසත් මනසත් අමන්දානන්දයට පත්කිරීමට සමත් අපරිමිත පුණ්‍ය භූමි අතළොස්ස අතරින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරින්ද ග්‍රාම නිලධාරි වසම තුළ සුන්දර යාල වන පියසේ කලාප අංක එක මධ්‍යයේ චිත්තාකර්ශනීය චිත්තල පබ්බත විහාරය හෙවත් සිතුල්පව්ව රජමහා විහාර පිංබිම පිහිටා ඇත. යාල වන රජදහන තුළ විරාජමාන ලෙස ස්ථාපිතව ඇති මෙම රජමහා විහාරය තුළ ඇත්තේ සිත දැහැන්ගත කරවන නිසල පරිසරයකි. එක් පසෙකින් විසල් වන පියසත්, අනෙක් පසින් ක්‍ෂිතිජය තෙක් දිවෙන මහා සමුදුරත් නිසා මේ මහා පුද බිම සොබාදම් මාතාවගේ අපූර්ව නිමැවුමක් බවට පත්ව ඇත. දොළොස් දහසක් වූ මහ රහතන් වහන්සේලාගේ අධ්‍යාත්මික දියුණුවේ මංපෙත විවර කර දීමට සිතුල්පව්ව තපෝවනය අතිශය මෙහෙයක් ඉටුකළ මහා පුද බිමකි.

 තිස්සමහාරාම නගරයේ සිට යෝධකණ්ඩිය ප්‍රදේශය හරහා කිලෝමීටර් විසිපහක් දුර ගෙවා ගනිමින් ද තවත් දිශාවකින් කතරගම සිට කිලෝ මීටර් 16 ක් දුර ගෙවාගෙනද සිතුල්පව්ව වන්දනීය පෙදෙසට ළඟා විය හැකිය. මුල් කාලීනව දුෂ්කර මං පෙතක ගමන් කිරීමට බොදු දනන්ට සිදුවුවද, වත්මන වන විට සිතුල්පව්වට ළඟා විය හැකි මාර්ග ඉතා මැනවින් නවීකරණය කර ඇත.

 ඉපැරැණි ආරණ්‍යවාසී සම්ප්‍රදායට සෘජු නෑකමක් දක්වන මේ පිං බිම තුළ විවිධ ප්‍රමාණයේ විචිත්‍රවත් පර්වත කිහිපයක් දැකගත හැකිය. මින් මහා සිතුල්පව්ව කන්ද අඩි

 413 ක් උස වන අතර කුඩා සිතුල්පව්ව අඩි 450 ක උසකින් සමන්විතය.

 අතීත පුරාවෘත්ත හා සාහිත්‍ය කෘති බොහොමයක් තුළ චිත්තල පබ්බත හෙවත් සිතුල්පව්ව විහාරය හා සම්බන්ධ තොරතුරු බොහෝ ප්‍රමාණයක් සනිටුහන්ව තිබීම වත්මන් පරපුරේ භාග්‍යයට කරුණක් වීම අතිශය සතුට දනවන්නකි. පූජාවලිය, සිංහල බෝධි වංශය, නිකාය සංග්‍රහය, මහා වංශය, ධාතු වංශය, පාලි ලළාට ධාතු වංශය, අට්ඨකතා යන ග්‍රන්ථවල ද සමහර අටුවාවල සහ සෙල්ලිපිවලද සිතුල්පව්ව හා සම්බන්ධ තොරතුරු ලියැවී ඇත. විහාර බිම තුළ ස්ථාපිතව ඇති විහාරාරංග කිහිපයක් මේ වකවානුව තුළද දැක ගත හැකිවීම සුවිශේෂ කරුණකි. ඒ අතර මහාසිතුල්පව්ව, ලෙන් විහාරය, ක්වන්ධ බුද්ධ ප්‍රතිමාව, අවලෝකිතේශ්වර බෝධි සත්ත්ව ප්‍රතිමාව, දෙවන ප්‍රතිමාව, බෝධිඝරය, උස් ගල් කණු ගොඩැල්ල, කුඩා සිතුල්පව්ව, අර්ධ චන්ද්‍රලෙන ආදී ස්ථාන ප්‍රධාන වෙයි.

 අප රට තුළ ආරණ්‍යවාසී හිමිවරුන් වැඩිම සංඛ්‍යාවක් වැඩ සිටි එකම ස්ථානය බවට සිතුල්පව්ව පත්ව ඇත. දොළොස් දහසක් පමණ වූ මේ විසල් හිමිවරුන් වෙනුවෙන් අවැසි බොහෝ මූලික පහසුකම් සිතුල්පව්ව පුද බිම තුළ තිබෙන්නට ඇතැයි විශ්වාස කරයි. සිතුල්පව්ව විහාර බිම සිට තවත් අක්කර ගණනාවක් පුරාවට විහාරස්ථ විහාරාරංග විසිර පවතින්නට ඇතැයි පුරාවිiාඥයන් විශ්වාස කරන අතර මෙතෙක් ගවේෂණයට ඇස යොමු නොවූ බිම්කඩද අපමණ බව ඔවුන්ගේ අදහසයි.

 හෙළ දනන්ගේ වන්දනීයත්වයටත් පූජනීයත්වයටත් බුද්ධාලම්භන ප්‍රීතියටත් නිතැතින් යොමුවන සිතුල්පව්ව බිමේ ප්‍රමුඛ පූජනීය නිර්මාණය ලෙසින් මහා සිතුල්පව්ව පර්වතයේ ඉදිකර ඇති තිස් රියන් උසැති ස්ථූපය හඳුන්වා දිය හැකිය. කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරන ලද මුල්ම ස්ථූපය ලෙසින් සැලකෙන්නේ සිතුල්පව්ව පර්වතය මුදුනේ ඇති ප්‍රධාන සෑයයි. පසුකාලීනව එය ගරා වැටී තිබී ප්‍රතිසංස්කරණය කර කොත් පළඳවා ලක්‍ෂ සංඛ්‍යාත දනන්ගේ ගෞරවාදරයට මේ වන විට පත්ව ඇත. ස්ථූපයේ මළුව කදිමට ගල් කොටස් යොදාගෙන නිර්මාණය කර තිබීම එදා විහාර කර්මාන්තයේ දියුණුව කියා පායි. විහාර බිම තුළ සැලකිය යුතු ගල්ලෙන් ප්‍රමාණයක් දැකගත හැකිය. එම ප්‍රමාණය මෙතෙක් සංඛ්‍යාත්මක ලෙසින් ගණනය කිරීම අපහසු වී ඇත. ඒ අතර ලෙන් 136 ක් පමණ තමනට හඳුනාගත හැකි වූ බව පුරාවිiා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති. කටාරම් නිර්මාණය කරමින් සහ සිතුවම් නිර්මාණය කරමින් සමහර ගල් ලෙන් නිමවා ඇති අතර තවත් සමහර ලෙන් තුළ මේ කිසිවක් දැකගත නොහැකිය. මහා සිතුල්පව්වේ නැගෙනහිර බෑවුම අසල සුවිශාල වූ ගල් ලෙනක් වෙයි. සිතුල්පව්ව පුද බිම තුළදී දැකගත හැකි විශාලම ලෙන මෙය ලෙසට සැලකෙයි. මෙය දිගින් අඩි 67 ක් වන අතර අඩි 30 ක් පමණ උසය. මෙම විසල් ලෙන තුළ අඩි 37 යි අඟල් 6 ක් පමණ වන ඔත් පිළිමයක් තිබී ඇති අතර, පසුකාලීනව විනාශ කර තිබූවද එය නැවත ප්‍රතිසංස්කරණය කර තිබීම සතුට දනවන්නකි. මෙම ලෙන තුළ බිතු සිතුවම්වල සටහන්ද තිබූ බව පුරාවිiා තොරතුරු කියාපායි.

 මෙරට කිරිගරුඬ ගලින් යැයි පැවසෙන අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇති ක්වන්ධ බුද්ධ ප්‍රතිමාව අමරාවතී කලා සම්ප්‍රදායට අනුව නිම කරනු ලැබූවකි. තිවංක ලක්‍ෂණවලින් සමන්විත ප්‍රතිමාවෙහි දැනට ඉදිරිව ඇත්තේ අඩි 5 ක පමණ කොටසකි. මහා සිතුල්පව්ව සේම සිතුල්පව්ව පුද බිම තුළ පිහිටි කුඩා සිතුල්පව්වට ද හිමිවන්නේ ගෞරවනීය ස්ථානයකි. කඳු වැටිය මුදුනේ පැවැති ස්ථූපය කාලයත් සමඟ ගරාවැටීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සුදුවෙන් පෙන බුබුලක් සේ ඈතට දිස්ව පෙනීමෙන් හද තුළ ඇති කරන්නේ නිම කළ නොහැකි බැතිමත් සතුටකි.

 හෙළයේ අතීත උරුමකරුවන් විසින් නිර්මාණය කරන ලද වන්දනීය පූජනීය ස්ථාන අතරින් විහාර කර්මාන්තයේ

 නන් විධ අංගයන්ගෙන් සමන්විත විහාරස්ථාන කිහිපය අතරින් රුහුණේ සිතුල්පව්වට හිමිවන්නේ රජරට සිද්ධස්ථානයන්ට නොදෙවැනි වූ ස්ථානයකි. සියලු අංගයන්ගෙන් සපිරිව මනා ලෙස ස්ථානගතව ඇති මේ විහාරාරංග සිතුල්පව්ව බිම මතද විසිර පවතී. ඒ අතර බෝධිවංශයේ පවා සඳහන් වන බෝධිඝරයද ප්‍රතිමාලයද අර්ධ චන්ද්‍රලෙනද සුවිශේෂ නිර්මාණ ගොන්න අතරට එක්වෙයි. සෙල් ලිපි හෙවත් ලෙන් ලිපිවලින් පිරීගිය සිතුල්පව්ව තුළින් ඈත හෙළදිව තොරතුරු අපිට හඬගා කියන්නේ එදා සමාජ සංස්කෘතික හා ආගමික පරිසරයේ බැඳියාවය. ප්‍රමාණවත් ලෙන් ලිපි තුළින් මහා සංස්කෘතික හා ආගමික පුනරුදයේ තොරතුරු

 සොයාගැනීමට ලෙන් ලිපිවලින් ලැබී ඇති පිටිවහල ද මිල කළ නොහැකිය.

 සීමා මායිමක් නොපෙනෙන මහා යාල වන පියස තුළ අලි ඇතුන් හා කොටි වලසුන්ගෙන් ගහන බිමක් තුළ එදා සිට මෑතක් දක්වා දහසක් අඩුපාඩු මධ්‍යයේ කඨෝර දිවි පෙවෙතක් ගතකරමින් සසුනේ චිරස්ථිතිය පිණිසත්, ආගමික පුනර්ජීවය උදෙසාත් අති මහත් කැපකිරීම් කරමින් සිතුල්පව්ව පුදබිම රැකගත්

 යෝගාවචරයන් වහන්සේලාත් මෑත දශක කිහිපය තුළ නොමඳ කැපකිරීමක් කළ හිමිවරුද නිරන්තරයෙන් ස්මරණය කළ යුතුය. වන පියසින් වැසී ලෝ බොදු දනන්ගේ නෙත් හා සිත් මානයෙන් ඈත්ව පැවැති සිතුල්පව්ව බුද බිම නැවත වරක් බොදු ජනතාවගේ ආගමික ඇසුරක් ලැබීමට පෙර මඟ සකසමින් මහා කැප කිරීමක් සිදුකළ සිතුල්පව්ව රජමහා විහාරස්ථ ආදි කර්තෘ හිමිවරුන් සිහිපත් කළ යුතුය. 1918 වසරේදී වනදහන සමඟ තරග වදිමින් විහාරස්ථානයට අනගි මෙහෙවරක් ඉටුකළ කවි කුලතිලක කළහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ ඉළුක්පිටියේ සිරි රතනසාරාභිධාන හිමියන්ද උතුම් ශාසනික මෙහෙවරක නිරත විය. ඉන් අනතුරුව විහාරාධිපති උනවටුනේ රතනජෝති හිමියන්ගෙන් ලද විහාරස්ථ ආලෝකය අපමණය.

 අද වන විට සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙසින් විහාරස්ථානයටත්, රෝහණ දේශයටත්, සමස්ත දිවයිනට සේම මුළු මහත් බුදු දහම සඳහාම අපරිමිත මෙහෙයක් ඉටුකරනු ලබන්නේ පූජ්‍යපාද ආචාර්ය මැටරඹ හේමරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේය.

 ගෞරවනීය විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා සහ මඟපෙන්වීම මත සියලු විහාරාරංගයන්ගෙන් සපිරි ආකර්ශනීය විහාරස්ථානයක් බවට සිතුල්පව්ව විහාරය පත්ව තිබීම බොදු දනන්ගේ සතුටට කරුණකි.

 සේයා සහ සටහන – වීරවිල –
 එල්. එච්. කුසුම් ප්‍රියන්ත
 ආචාර්ය මැටරඹ හේමරතන නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment