දැන හඳුනා ගන්නවා කියන්නේ යහළුකමේ මූලාරම්භය. පුද්ගලයන් නම් වශයෙන් හඳුනා ගත්ත ද ඒ සුහදත්වය පවත්වා ගත්තට ඒක යහළුකම නෙමේ. ඒ තමයි යහළුකමේ ආරම්භය. දැන හඳුනා ගත්තකම ඉක්මවා ගිය තැන තමයි යහළුකම ඇති වන්නෙ. එතැන් සිට වැඩිපුර ටිකක් ආශ්‍රය කරනවා. යහළුවෝ වගේම අඹ යහළුවෝ කියලා කොටසකුත් ඉන්නවා. එකටම ඉන්න, එකටම ගමන් බිමන් යන, එක විදිහකට හිතන පතන අය තමයි අඹ යහළුවෝ වෙන්නෙ. අඹ යහළුවෝ කියලා කියන්නෙ යුගලයකට කියන හැඟීමකුත් තියෙනවා. ඉලංගරත්න සූරීන්ගේ නවකතාවේ සුනිල්, නිමල් වගේ. ඒත් අඹ යහළුවෝ ‘පොකුරක්’ ඉන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම.
කල්‍යාණ මිත්‍රයෝ කියලා කොටසකුත් සිටිනවා. එය ධාර්මික පදයක්. ඒක විග්‍රහ කරන්න වෙන්නෙ ධර්මයෙන්. සිඟාලෝවාද සූත්‍රයේ මිත්‍රයන් ගැන මෙහෙම සඳහන් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් සතර දෙනෙකි. කරදරයකදී පිටු නොපාන මිතුරා (උපකාරක), සැප දුක් දෙකෙහිම සමාන ගති පැවතුම් ඇති මිතුරා (සමාන සුඛ දුක්ඛ), අයහපතෙන් වළක්වා යහපතෙහි යොදවන මිතුරා (අත්තක්කායී), අනුකම්පාවෙන් කටයුතු කරන මිතුරා (අනුකම්පක) වශයෙන් .
තවද පාප මිත්‍රයන් සතරදෙනෙකු ගැනත් සදහන් වෙනවා.
ඉස්සර හිටියෙ පෑනේ මිතුරන්. කාලය අනුව මිත්‍රකම් සදහා ද අලුත් දේවල් එකතුවෙලා. දැන් එෆ්.බී. මිතුරනුත් ඉන්නවා.
සගයා කියන්නේ මිත්‍රයා කියන පදයේ සමාන පදයක්. හැබැයි ගමන් සගයා වුණහම යම්කිසි අරමුණකට සම්බන්ධයක් දක්වනවා. එක දේශපාලන සම්බන්ධයක්, ව්‍යාපාර සම්බන්ධයක් හෝ වෙනත් අරමුණක සම්බන්ධයක් විය හැකිය. ඒ අය යහළුවන් හෝ අඹ යහළුවන් හෝ කල්‍යාණ මිත්‍රයන් නොවන්නට පුළුවන්. දේශපාලන , දර්ශනවල, කලා ගුරුකුලවල එහෙම ගමන් සගයෝ ඉන්න පුළුවන්.
දැන් මගේ ගමන් සගයා තමයි බයිසිකලය. මොකද මම අව්වට පිච්චෙනකොට බයිසිකලයත් උණුසුම් වෙනවා. මම වැස්සට තෙමෙන විට බයිසිකලයත් තෙමෙනවා. බයිසිකලය වළකට වැටෙන විට මටත් දැනෙනවා. මාත් එක්ක මගේ අරමුණුවලට (සංචාරය) එක්ක යන්න ළඟින්ම එන්න කෙනා තමයි බයිසිකලය. කොච්චර බයිසිකලයට ආදරය කරනවාද කියනවා නම් මගේ රිද්මය බයිසිකලයට අහුවෙලාදෝ, බයිසිකලයේ රිද්මයට මට අහුවෙලාදෝ කියලා හිතෙනවා. ඒ තරමටම බයිසිකලය මට අනුගත වෙලා.
මම හැදී වැඩුනෙ කඩවතට ආසන්න පරිසරයක. චරිත් කියන්නේ මගේ මිත්‍ර පොකුරේ, එක් අඹ යාළුවෙක්. එකට පාසල් ගිය, එකට සෙල්ලම් කරපු, තවත් යාළුවො කීප දෙනෙක් තමයි දළුගම ප්‍රදේශයේ ජනක්, ශෛලෙන්ද්‍ර, සුරවීර. අපි විවිධ රැකියාවල නිරත වෙන, අවුරුදු 55 පැනපු අය.
ශෛලෙන්ද්‍ර මීට අවුරුදු දහයක කාලයක ඉඳලම බයිසිකල් පදිනවා. අපි බයිසිකල් පිළිබඳ උපදෙස් ලබා ගන්නේ ඔහුගෙන්. අපේ මේ කණ්ඩායමේ නායකයා කිව්වොත් හරි. අපි පුළුවන් හැම සෙනසුරාදා හෝ ඉරිදා දිනකම ටිකක් දුර ගමනක් පදිනවා. මේ සැරේ අපිට හිතුනා වැඩි දුරක ගමනක් යන්න. අපි ගාල්ලට යන්නට තීරණය කළා.
පසුගිය එකොළොස් වැනිදා පාන්දර 4.00 ට දළුගමින් පිටත් වුණා. අපිට මූලිකවම ශෛලෙන්ද්‍රගෙන් උපදෙස් ලැබුණේ පැය දෙකක් පමණ එක දිගට පදින්න ඕන කියලා. (උදේ පාන්දර වාහන අඩුයි. අව්ව නෑ. මහන්සිය අඩු නිසා වැඩි දුරක් පදින්න පුළුවන්) ඉන්පසු තමයි විවේක ගන්නෙ. අපි පස්දෙනාගේම පිටුපස ගමන් මලුවල මේ වගේ ගමන්වලට අවශ්‍ය සියලු දේ ගෙනැවිත් තිබුණා. කොස්වත්ත, දියවන්නාව, කෝට්ටේ, ගම්සභාහන්දිය පහුකරගෙන පැපිලියාන හන්දියටත් ආවා. අපි පස් දෙනා ඉදිරියට පදින විට පිටුපසින් පැමිණි ජනක්ට අපේ පාර වැරදි ගිය නිසා අපිට විනාඩි පහක පමණ කාලයක් ගාලු පාරේ මැලිබන් හන්දියේ විවේක ගන්න පුළුවන් වුණා. උදේ 6.20 පමණ වනවිට පානදුර පහු කරලා ටිකක් දුර ගිහින් තේ එකක් බොන්න නතර කළා. විනාඩි 20 ක් පමණ විවේකයෙන් අරගත්තා.
අපි පාරේ එක පෙළට බයිසිකල් පහ කළුතර බෝධිය දක්වා පැද්දා. හැබැයි මම ටිකක් ඉක්මනින්ම කළුතර පාලම ළඟට ගිහින් බයිසිකල් පැදගෙන එන මාගේ සගයන්ගේ ෆොටෝ ටිකක් ගත්තා. කළුතර බෝධිය ළඟ නතර කරලා පඬුරුත් දාලා බෝධියටත්, චෛත්‍යයටත් නමස්කාර කරලා නැවත පදින්න පටන් ගත්තා.
ශෛලෙන්ද්‍ර සමහර වෙලාවට ඉදිරියෙනුත් සමහර වෙලාවට පිටුපසිනුත් පැද්දා. ඊට අනුගත වෙමින් චරිත්, මම, ජනක් සහ සුරවීර පිළිවෙළට පැද්දා. උදේ 8ට පමණ අපි බේරුවල නගරය පහු කළා. බෙන්තොට පාලම ළඟට නතර වුණේ ‘බෙන්තොට’ නම සඳහන් කරපු බෝඩ් එක ඉදිරියේ අපි බයිසිකල් සමග සිහිවටන ඡායාරූපයක් ගත්තා. දැන් උදේ කෑමේ අවශ්‍යතාව අපි හැමදෙනාටම දැනෙන්න පටන් ගත්තා. බෙන්තොට පාලම පහු කරපු ගමන් වම්පැත්ත කඩේ නතර කළා. උදේට සැහැල්ලු ආහාරයකින් සෑහීමකට පත් වුණ අපි නැවත ගමන පටන් ගත්තා. පැයක පමණ ගමනින් පසු තාර පාරට රේල් පාර සමාන්තරව වැටී තිබුණ තැනක අපි නතර වෙලා රේල් පාරේ ඉඳගෙන විඩාව ටිකක් සමනය කළා. කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය,
අම්බලන්ගොඩ පහුකරලා කහවට එන විට ඉර මුදුන් කරලා. අව්ව හරිම සැරයි. ඉරට හැතැක්මයි වගේ. දැන් දැන් මහන්සිය දැනෙන්න පටන් අරන්. මගේ බයිසිකලයේ ඉදිරි රෝදයේ හුළං මදි බව දැනුනා. ඉදිරියෙන් දැක්ක වින්කලයට ගිහින් හුළං ටිකක් ගහලා බයිසිකලයට ගොඩ වුණා. අපේ අය පේන තෙක් මානයේ නැහැ. අපි පැයට කිලෝමීටර් විස්සක පමණ වේගයෙන් පැද්දෙ. අපේ කණ්ඩායම අල්ල ගන්න තවත් වේගයෙන් පැද්දා. තිබහ තදින්ම දැනුන නිසා කුරුම්බා ගෙඩියක් බොන්න තිබුණ නම් මරු කියලා හිතුන අවස්ථා තිබුණා. ඒත් මම පිටුපසින් නිසා කණ්ඩායමට එක්වෙන්න තව තවත් වේගයෙන් පැද්දා.
අපේ කණ්ඩායම කුරුම්බා තැඹිලි කඩයක් ළග නතරවෙලා ඉන්නවා දැක්කාම සතුටක් ඇති වුණා. අපේ බයිසිකල් ටික පාර අයිනේ නතර කරලා තිබෙනවා දැකපු ජපන් ජාතික සංචාරක බයිසිකල්කරුවෙක්, ඔහුත් නතර කළා. ඔහු ගාල්ලේ ඉඳලා කොළඹට පදිනවා. රටරටවල බයිසිකලයෙන්ම සංචාරය කරන්නෙක්. වයස අවුරු 72 කිව්වට අවුරුදු 60 වත් පෙනුමක් තිබුණේ. ඔහු කුඩා අවධියේ කම්මැලි අධ්‍යාපනයට දක්‍ෂතාවයක් නොපෙන්නු පුද්ගලයෙක්ලු. ඔහු ඒ සම්බන්ධයෙන් සතුටට පත්වන්නෙක් . “මම හොඳට ඉගෙන ගෙන ලොකු රැකියාවක් කළා නම් මම කාර්යාලයක පුටුවක ඉදගෙන වැඩකරයි. එහෙමනම් මේ වනවිට මම මියගොස් හෝ අසනීප තත්ත්වයකින් පෙලෙන්නෙක්. මම සාමාන්‍ය රැකියාවක කරමින් බයිසිකල් පදින්න පුරුදු වුණා. මා දැන් ලෝකයේ ගොඩක් රටවල බයිසිකලයෙන් සංචාරය කරමින් යනවා. මම නිරෝගී පුද්ගලයෙක්.මම ගොඩක් සතුටින් තමයි ජීවත් වෙන්නේ. මට වයස ඉලක්කමක් විතරයි” යනුවෙන් පැවසුවා. අපිට සමු දුන් ඔහු කොළඹ දෙසට ගමන් කරා. අපි වෑවර ගෙඩියක් බීලා විනාඩි 15 පමණ විවේක අරගෙන ගමනාන්තය දෙසට පැද්දා.
කහව, පෑරැලිය පහු කරනකොට දහවල් 12.20 ට පමණ ඇති. වියළි කරදිය සුළඟ අපේ ගමන් වේගය අඩු කරන්න උත්සාහ කළා. හරියටම පොළොවට කෙලින්ම හෙවනැල්ල වැටිලා. තාර පාරත් රත්වෙලා රස්නය යටිනුත් දෙනවා.
එකිනෙකාට මහන්සිය විවිධ මට්ටමින් දැනෙන නිසා දැන් දැන් බයිසිකල් අතර මීටර 200, 500 පමණ පරතරයකුත් ඇති වෙලා. සීනිගම හරියෙ පලතුරු කඩයක් ළඟ මුල්න්ම ගිය ජනක් නතර කරලා තිබුණා. විනාඩි කීපයක් ඇතුළත පස්දෙනාම බයිසිකල් ටික නතර කරලා ඉඳ ගත්තා. පස්දෙනාම සීතල ලෙමන් බීමට කැමති වුණා. පළමු සීතල ලෙමන් උගුර, උගුරෙන් පල්ලෙහාට වැටෙන කොට පපුවට කුඩයක් ඇල්ලුවා වගේ දැනුනෙ. විනාඩි පහළොවක් පමණ විවේක අරන් හික්කඩුව පහු කරන විට සුරවීර, චරිත්, මම, ජනක් සහ ශෛලෙන්ද්‍ර එක පිළිවෙළකට ඉදිරියට ඇදුනා. දහවල් 1.50 ට පමණ වනවිට අපි ගාල්ලට ආවා. අපේ හිතේ ටික දවසක පටන් තිබුණ හීනයක් සපුරා ගත්තා වගේ දැනුනා.
අප ආ ගමනේ නවාතැන් දාගෙන තිබුණේ උණවටුනට. උණවටුනට තවත් කිලෝමීටර් පහ හයක් යන්න තිබුණත් ගාලු කොටුව පසුබිම කරගෙන ඡායාරූප කිහිපයක් ගත්තා. දහවල් 2.10 ට පමණ වනවිට උණවටුනෙ අපේ නවාතැනට පැමිණියා. උණවටුන විදේශිකයන්ගෙන් පිරිලා. හරියට අපේ රටේ පාරක් නොවේ වගේ. ලස්සනට සරසපු වෙළෙඳ කුටි, හෝටල්. උණවටුන සංචාරක පාරාදිසයක්. පවුල් පිටින් පැමිණි සංචාරකයන්ගෙන් පිරී ගිය පාර මෙන්ම, අවන්හල් ද අලංකාරයි.
මේ පිළිබඳ විස්තර ටිකක් හොයන විට අපිට හඳුනා ගන්න ලැබුණා චන්දනව. චන්දන උණවටුනෙ ප්‍රසිද්ධ ‘පොඩි මද්දු’ කියලා. එයාටත් පොඩි පහේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා.
“මේ දවස්වල සැලකිය යුතු සංචාරක පිරිසක් ඇවිල්ලා සිටිනවා. මේ පේන සේරම රුසියානු ජාතිකයෝ. මාස දෙක තුනකට හෝටල් වෙන් කරලා නැවතිලා ඉන්නෙ. කෑමට බීමට හොඳට සල්ලි වියදම් කරනවා. මාර වැඩේ කියන්නෙ යුරෝපයේ ඉඳන් ආපු සංචාරකයෝ මෙහෙට එන්නෙ නැතුව අහංගම පැත්තට ගිහිල්ලා. ඒ උණවටුනේ රුසියානු සංචාරකයෝ ඉන්න නිසා. මම හිතන්නේ රුසියන් – යුක්‍රෙන් යුද්ධය තමයි මේකට බලපලා තියෙන්නෙ.” පොඩි මද්දු එහෙම කියද්දි ස්කුටි බයික්වල නැගී රුසියන් ජාතිකයන් විස්සක් පමණ එක දිගට ආවා. මේ සමහර අයට ජාත්‍යන්තර ලයිසන් නැහැ. ඒත් පදිනවා. මෙයාලා උණවටුන කේන්ද්‍ර කරගෙන රට ඇතුළට දවස් දෙක තුනේ ගමන් යනවා. ඇල්ල, යාල වගේ දුරටත් යනවා.
තවත් කාරණයක් තමයි මෙහෙ වෙළෙඳාම් කරන අයට සහ හෝටල් කරන අපිට රුසියානු භාෂාව බැහැ. ඒක අපිට ලොකු අඩුපාඩුවක්.
රුසියානු සංචාරක කණ්ඩායමක් ඉන්නවා එයාලා මෙහෙ වෙනම ගෙවල් අරගෙන බිස්නස් කරනවා. නවාතැන් දෙනවා. අපෙන් ස්කුටි බයික් අරගෙන එයාලා රුසියන් අයටම ගානක් තියාගෙන කුලියට දෙනවා. එයාලා ඩොලර් එහෙමත් මාරු කරනවා. ගාල්ලෙ රත්තරන් බඩු සාප්පුවලට එක්ක ගිහිල්ලා 30% ක ඩිස්කවුන්ට් එකත් ගන්නවා. අපිට භාෂාව බැරිව එකෙන් එයලා ප්‍රයෝජනය ගන්නවා. දැන් මේකට විසඳුමක් වශයෙන් අපිට රුසියානු භාෂාව අනිවාර්යයෙන් ඉගෙන ගන්න වෙනවා. දැන් දැන් රුසියානු ජාතිකයෝ මෙහි අවන්හල් පවා කරනවා.
උණවටුනෙ සාමාන්‍යයෙන් ඩොලර් 70 සිට ඉහළට කාමර පහසුකම් විදේශිකයන්ට දෙනවා. කාමරයේ “වීව්” එක අනුව මිල වෙනස් වෙනවා. රුසියානු ජාතිකයෝ ඉස්සෝ දැල්ලෝ වගෙ “සී ෆුඩ්” වලට වඩාත් කැමැතියි. අපි අහපු ප්‍රශ්නවලට පොඩි මද්දු එක දිගට උත්තර දීගෙන ගියා.
අපි රුසියානු ජාතිකයකු සමග කතාවට වැටුණා. ඉංග්‍රීසි භාෂාව ඔහුට පුළුවන්. මොස්කව්වල ඉඳන් ඇවිත් තියෙන්නෙ. ශ්‍රී ලංකාව ගැන විශාල සතුටකින් කතා කළා. ලංකාවේ සත්තු වර්ග ගොඩක් පාර තොටේ, ගෙවල් අවට, මුහුදු අවට දකින්න පුළුවන්ලු. මොස්කව්වල මෙහෙම සත්තු දකින්න සත්තු වත්තකටම යන්න ඕනෙ. අපි මාලදිවයිනට ගිය අවුරුද්දෙ ගියා. මෙහෙ වගේ නැහැ. මාලදිවයිනේ මුහුද විතරයි. මිල අධිකයි. ශ්‍රී ලංකාව පාරාදිසයක් වගේ. පරිසරය ලස්සනයි. මිනිස්සුත් සුහදයි. පැය කිහිපයක් තුළ විවිධ කාලගුණය සහිත ප්‍රදේශ වල සුව විඳින්න පුලුවන්. අපි නැවත යන්නෙ මැයි මාසයේ. ඇල්ල සීගිරිය මහනුවර සිංහරාජය, ශ්‍රී පාදය, නුවරඑළිය වගේ ප්‍රදේශ වලටත් සංවාරය කරන් බලාපොරොත්තු වෙනවාලු. කතා බහ අවසානයට ඔහු අපිට පැවසුවේ ලෝකයේ අඩුවෙන්ම සංචාරක කරන්න පුළුවන් රටක් තමයි ශ්‍රී ලංකාව කියලා. මම ඔහුගෙන්
රුසියා – යුක්‍රෙන් යුද්ධය ගැනත් ඇහුවා. යුද්ධයට ඔහු කිසිම කැමැත්තන් නැතිබවත්, එයින් විනාශවන්නේ රටක් හෝ ගොඩනැගිලි පමණක් නෙවෙයි අහිංසක මිනිසුන්ගේ ජීවිත බව පැවසුවේ කනගාටුදායක මුහුණක හැඩහුරුව පෙන්වමිනි.
සවස 3ට විතර අපිත් උණවටුන මුහුදු වෙරළ පැත්තට ගියා නාන්න. පැයක පමණ “සී-බාත්” එකක් දාලා ඉක්මනට නවාතැනට ආවා බඩගින්න නිවා ගන්න. දැන් හතරටත් ළඟයි මහන්සියට පොඩි නින්දකුත් දැම්මා. නැගිටින විට 6.30 පමණ වෙලා. ලස්සන සින්දුවක් ඈතින් ඇහෙන නිසා ජනක් උඩ ජනෙලෙන් එළියට බැලුවා. ලස්සන කානිවල් වගේ ස්වරූපයක් තමයි මුහුදු වෙරළ දැක්කෙ. විවිධ වර්ණයෙන් යුත් බල්බ දල්වා එළි කරලා. මුහුදු වෙරළ පැත්තට වෙන්න සංගීත මුසු වූ අඩ අන්ධකාරය සංචාරකයන් මත් වෙමින් සතුට විඳිනවා පේනවා. අපි වෙන රටක ඉන්නවා වගේ දැනුනේ. ඒ තරමට සංචාරකයින් සමග වර්ණවත් පරිසරයක්. අපිත් ඒ අඬ අඳුරට එකතු වෙන්න හෙමින් හෙමින් ලක ලෑස්ති වුණා. ශෛලෙන්ද්‍ර අපිට උපදෙස් දුන්නෙ රෑ 10.00 වෙනකොට නැවත එමු කියලා. මොකද පහුවදා උදේ නැවත කොළඹ එන්න තියෙන නිසා.
හර්ෂණ ජයතිලක